3. භෝජාජානීය ජාතකය (23)
“අපි පස්සෙන සෙමානො” යන මේ ජාතකය බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අත්හළ වීර්යය ඇති භික්ෂුවකු අරබයා දෙසූහ. එකල්හි බුදුරදහු ඒ භික්ෂුව අමතා මහණ, පෙර නුවණැත්තෝ අස්ථානයෙහි පවා වීර්යය කළහ. පහර ලැබුවාහු ද පසු නො බැස්සහ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු භෝජාජානීය සෛන්ධව කුලයෙහි ඉපිද සියලු අබරණින් යුතුව රජුගේ මංගල අශ්වයා විය. ඔහු ලක්ෂයක් විනා රන් තැටියෙහි නොයෙක් අග්‍ර රසයෙන් යුත් තුන් වස ඇල් සහලේ බොජුන් අනුභව කරයි. සිව් ගන්ධයන්ගෙන් පිරිමදින ලද බිම සිටියි. ඒ පෙදෙස රත් පළස් තිරයකින් වට කරන ලද්දේය. උඩ, රනින් කැටයම් කළ රෙදි වියනි. එල්ලෙන සුවඳ මල් දම් ඇත්තේය. ඉවත් නො කළ සුවඳ තෙලින් දැල්වෙන පහන් ඇත. බරණැස් රාජ්‍යය නො පතන කිසි ම රජකු නැත. එක් කලෙක සත් රජවරු බරණැස වටකොට රාජ්‍යය අපට දෙනු, නැත්නම් යුද්ධ කරනු යි, බරණැස් රජුට අසුන්පත් යැවූහ. රජ ඇමැතියන් රැස් කරවා එපුවත කියා දරුවනි, දැන් කුමක් කරමුදැ යි විචාළේය. දේවයිනි, පළමුකොට ඔබතුමා යුද්ධයට නො යා යුතුය. අසවල් නම් ඇති අසරුවා යවා යුද්ධ කරවනු මැනවි. ඔහුට නො හැකි වුවහොත් පසුව දැන ගන්නෙමු යි රජ ඒ අසරුවා ගෙන්වා දරුව, සත් රජුන් සමග යුද්ධ කරන්න හැකිදැ යි ඇසීය. දේවයිනි, භොජාජානීය සෛන්ධවයා ලැබෙන්නේ නම් සත් රජුන් නොව දඹදිව සියලු රජුන් සමග වුව ද යුද්ධ කිරීමට හැකි වන්නෙමි. දරුව, භෝජාජානීය අසු හෝ කැමැති අන් අසකු ගෙන යුද්ධ කරව.
දේවයිනි, මැනවැ යි රජුන් වැඳ පහයෙන් බැස භෝජාජානීය සෛන්ධවයා ගෙන්වා ගෙන මනාකොට සන්නද්ධ ව අශ්වයා පිට නැඟී නගරයෙන් නික්ම විදුලිය මෙන් හැසිරෙමින් පළමු බල කොටුව බිඳ එක් රජකු ජීවග්‍රහණයෙන් ගෙන අවුත් නුවර බලකායට බාරකොට නැවත ගොස් දෙවැනි බල කොටුව බිඳ දෙවැනියකු ද වශයෙන් පස්වැනි රජුත් ජීවග්‍රහණයෙන් ගෙන සවැනි බලකොටුව බිඳ සවැනි රජු ගත් කල්හි භෝජාජානීය අසු අවි පහරක් ලැබුවේ, ලේ වැගිරේ. වේදනාව බලවත් ව පවතී. අසරුවා, අසුට පහර ලදබව දැන සෛන්ධවයා රජ දොරටුව අබියස හොවා යුධ ඇඳුම ලිහිල්කොට වෙනත් අයකු සන්නද්ධ කිරීමට පටන් ගත්තේය. බෝසත්හු පහසු අතට හැරී නිදා සිටියේය. ඇස් ඇර බලන්නේ, අසරුවා දැක මේ අසරුවා අන් අයකු සන්නද්ධ කරයි. මේ අසූ හත්වැනි බල කොටුව බිඳ සත්වැනි රජු ගැනීමට සමත් නො වේ. මා කළ දෙය ද විනාශ වන්නේය. අනෙකකු හට සමාන කළ නො හැකි අසරුවා ද නසින්නේය. රජු ද සතුරන් අතට යන්නේය. මා හැර වෙනත් අශ්වයෙක් සත්වැනි බල කොටුව බිඳ සත්වැනි රජු ගැනීමට සමත් නො වන්නේය. වැද හොත්තේ ම අසරුවා කැඳවා, යහළුව, සත්වැනි බල කොටුව බිඳ සත්වැනි රජු ගැනීමට මා හැර වෙනත් අශ්වයකු නැත. මම මා කළ දෙය නො නස්වමි. මා ම නැඟිටුවා සන්නද්ධ කරන්නැ යි කියා මේ ගාථාව කීහ.
“අපි පස්සෙන සෙමානො සල්ලෙහි සල්ලලී කතො,
සෙය්යොව වළවා භොජ්ජො යුඤ්ජ මඤ්ඤවෙ සාරථීති”
සෙය්යොව වළවා භොජ්ජො යුඤ්ජ මඤ්ඤවෙ සාරථීති”
“සිරුර එක්පසකට සිටින සේ නිදන්නේ නමුත් හුල්වලින් විදින ලද්දේ නමුත් වළවා නම් කුඩා අසුන්ට වඩා භොජාජානීය අශ්වයා උතුම්ය. අසරුව, මා ම යුද්ධයට යොදවන්න.”
එහි “අපි පස්සෙන සෙමානො” එක පසකින් හොන්නේ නමුත් “සල්ලෙහි සල්ලලී කතො” හුල්වලින් විදින ලද්දේ නමුදු “සෙය්යොව වළවා භොජ්ජො” එහි වළවා නම් සින්ධව කුලයේ නො උපන් කුඩා අශ්වයෝය. භොජ්ජා නම් භොජාජානීය කුලයෙහි උපන් අශ්වයෝය. හුල්වලින් විදින ලද්දේ නමුත් වෙනත් කුලවල අසුන්ට වඩා සින්ධවයා ම උසස්ය. උතුම්ය. “යුඤ්ජ මඤ්ඤෙව සාරථී” මෙබඳු තත්ත්වයේ සිටිය ද මම ම සුදුස්සෙක් වෙමි. ඒ නිසා මා යොදන්න. යුද්ධයට සන්නද්ධ කරන්නැ යි කියයි.
අසරුවා බෝසතුන් නැඟිටුවා වණය බැඳ මනාකොට යුද්ධයට සරසා ඔහුගේ පිට හිඳ සත්වැනි බල කොටුව බිඳ සත්වැනි රජු ජීවග්‍රහණයෙන් ගෙන රාජ බලකායට පාවාදුන්නේය. බෝසතු අසු ද රජ දොරටුව වෙත ගෙන ආවේය. රජ ඔහු දක්නා පිණිස නික්ම වන්නේය. බෝසත්හු රජු අමතා, මහරජ, සත් රජවරුන් නො නසන්න. ගිවිස්වා යවන්න. මට ද අසරුවාට ද දියයුතු සියලු යසඉසුරු අසරුවාට දෙනු මැනවි. සත්රජුන් අල්ලා දුන් යෝධයා ආරක්ෂා කිරීම සුදුසු වේ. ඔබ ද දන් දෙන්න. සිල් රකින්න. දැහැමින් සෙමෙන් රජ කරන්න. මෙසේ බෝසතුන් රජුට අවවාද දුන්කල්හි අසුගේ සන්නාහය මිදුවේය. සන්නාහය මුදද්දී ම බෝසත්හු මිය ගියහ. රජ අසුගේ සිරුරු කිස අවසන්කොට අසරුවාට බොහෝ සම්පත් දී සත් රජුන් ද මතු තමාට සතුරු නො වන බවට සපථ කොට සිය රටවලට ම යවා දැහැමෙන් සෙමෙන් රාජ්‍යයකොට දිවි කෙළවර කම් වූ පරිදි මියපරලොව ගියේය.