2. කුක්කුර ජාතකය (22)
“යෙ කුක්කුරාති” යන මේ ජාතක දේශනාව බුදුරදුන් දෙව්රම් වෙහෙරෙහි වසන සේක්, ඤාති සංග්‍රහය අරබයා දෙසූහ. එය දොළොස් වැනි නිපාතයෙහි භද්දසාළ ජාතකයෙහි එන්නේය. ඒ කථා පුවත පදනම් කොට අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසතාණෝ එබඳු කර්මයක් නිසා සුනඛ යෝනියෙහි ඉපිද නොයෙක් සිය ගණන් සුනඛයන් පිරිවරා මහ සොහොන් බිමෙහි වසත්. ඉක්බිති එක් දවසක් රජු සුදු සෛන්ධව අසුන් යෙදූ සියලු අලංකාරයෙන් යුත් රථයට නැඟී උයනට ගොස් දවල් කාලය එහි ක්‍රීඩා කොට හිරු බැස යන කල්හි නුවරට පිවිසියේය. රජුගේ රථය වරමදු රැහැන් සමග බැඳුණු ලෙසින් ම රජ මිදුලෙහි තිබිණි. එදින රැයෙහි වැසිවට කල්හි රථය තෙමිණි. උඩුමහලෙහි සිටි උසස් ගණයෙහි සුනඛයෝ බැස අවුත් රථයෙහි සම් ද රැහැන් ද කෑහ. දෙවන දවස්හි රජුට සැල කළහ. දේවයිනි, වතුර නික්මන කාණුවෙන් සුනඛයෝ අවුත් රථයෙහි සම් ද රැහැන් ද කෑහ. රජ සුනඛයන්ට කිපී දුටු දුටු තැන සුනඛයන් මරවු යි කීය. මරනු ලබන්නා සොහොනට ගොස් බෝසතුන් සමීපයට ගියහ.
බෝසත්හු උඹලා බොහෝ දෙනෙක් රැස්වූයේ කුමන කරුණක් නිසාදැ යි විමසූහ. නගරය ඇතුළත සුනඛයන් විසින් සම් රැහැන් කන ලද බැවින් කිපුණු රජ සුනඛ වධය පැනවීය. බොහෝ සුනඛයෝ විනාශයට පත්වෙති. මහත් බයක් උපන් බව කීහ. බෝසතාණෝ සිතූහ. රැකවරණ යොදා ඇති පෙදෙසින් පිටත සුනඛයන් ඉඩක් නැත. රජමැදුර තුළ කොලෙය්‍යක (වංසවත්) සුනඛයන්ගේ ක්‍රියාවක් වන්නේය. දැන් සොරුන්ට කිසිවක් නැත. නො සොරු මරණය ලබත්. මම හොරුන් රජුට පෙන්වා මගේ නෑ පිරිසට ජීවිත දානය දෙන්නේ නම් මැනවි යි හේ බෝසත් ඤාතීන් අස්වසා ඔබලා බය නො වෙනු. මම ඔබ හැමට අභය ගෙනග එන්නෙමි යි රජු හමුවන තුරු මෙහිම සිටිවු යි පෙරුම් දම් සිහිකොට මෛත්‍රී භාවනාව පෙරදැරි කොට මා මතට ගල්මුගුරු හෙළීමට කිසිවෙක් උත්සාහ නො කරත්වා යි අධිෂ්ඨාන කොට හුදෙකලාව ඇතුළු නුවරට පිවිසියහ. බෝසතුන් දැක කිසිවකු කිපී බලන්නේ පමණකුදු නො වීය. රජ සුනඛ ඝාතනය අණ කොට තෙමේ විනිසුරු අසුනෙහි හුන්නේ විය. බෝසත්හු එතැනට ම ගොස් පැන රජුගේ අසුන යටට ගියහ. ඉක්බිති රාජ පුරුෂයෝ ඔහු බැහැර කිරීමට උත්සාහ කළහ. රජ ඒ වැළකීය.
බෝසත්හු මඳ වේලාවක් ගිමන් හැර අසුන යටින් එළියට අවුත් රජුන් වැඳ ඔබ වහන්සේ සුනඛයන් මරවන්නේදැ යි ඇසූහ. එ සේය. මම වෙමි. මහරජ ඔවුන්ගේ වරද කුමක් ද? සුනඛයෝ මාගේ රථයෙහි සම් සහ රැහැන් කෑවාහුය. මහරජ කෑ සුනඛයන් ඔබ දන්නේ ද? නො දනිමි. දේවයිනි, සම් කෑ සොරුන් හරිහැටි නො දැන ම දුටු දුටු තැන සුනඛයන් මරා දැමීම සුදුසු නො වේ. රියෙහි සම් සුනඛයන් විසින් කන ලද බැවින් දුටු දුටු තැන සුනඛයන් මරව යි සුනඛ වධය පැනවීමි. ඔබතුමාගේ මිනිස්සු සියලු සුනඛයන් මරත් ද? නැතහොත් මරණය නො ලබන්නෝත් ඇත් ද? එසේ ඇත. අප රජ මැදුරෙහි කුලවත් සුනඛයෝ මරණය නො ලබත්. මහරජ, දැන් සුනඛයන් රථ සම් කෑ නිසා සියලු ම සුනඛයින් මරණ වධය පැනවූ බව කීවා නො වේ ද? දැන් ඔබ අප ගෙදර කුලවත් සුනඛයන් මරණය නො ලබන බව කියයි. එ සේ නම් එය ඡන්‍ද ආදී වශයෙන් නො මඟ යෑමක් නො වේ ද? අගති ගමන වනාහි යුක්ති සහගත නො වේ. රාජ ධර්මයන් ද නො වේ. හේතු සොයන්නකු විසින් තුලාවක් මෙන් වීම වටී. දැන් කුලවත් සුනඛයෝ මරණය නො ලබත්. දුබල සුනඛයෝ ලබත්. මෙසේ ඇතිකල මේ සියලු සුනඛ ඝාතනයක් නො වේ. දුර්වලයන් ඝාතනයකි. මෙසේ පැවසූ බෝසත්හු මිහිරි ස්වරය පතුරමින් මහරජ, ඔබ යමක් කරයි නම් එය දහමක් නො වේ යි රජුට දම් දෙසමින් මේ ගාථාව කීහ.