1. කුරුඞ්ගමිග ජාතකය (21)
“ඤාතමෙතං කුරුඞ්ගස්සාති” යන මේ දම් දෙසුම බුදු රජුන් වේළුවනයෙහි වැඩවසමින් දෙව්දත් අරබයා දේශනා කළහ. එක් සමයෙක්හි දම්සභාවට රැස්වූ භික්‍ෂූහු ඇවැත්නි, දෙව්දත් බුදුන් නසනු පිණිස දුනුවායන් යෙදවීය. ගලක් පෙරළීය. ධනපාල ඇත් විහිදවීය. හැම අයුරින් ම බුදු රදුන් නැසීම සඳහා උපක්‍රම කෙරේ යි දෙව්දත්ගේ නුගුණ කියමින් හුන්හ. බුදුරදුන් වැඩ පනවනලද අසුනෙහි වැඩහුන් සේක්, මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාළ සේක. ස්වාමීනි, දෙව්දත් ඔබවහන්සේ නැසීමට උපක්‍රම කරයි. ඔහුගේ නුගුණ කථාකරමින් හුන්නෙමු. මහණෙනි, දෙව්දත් මා නැසීමට උපක්‍රම කරන්නේ දැන් පමණක් නො වේ. පෙරත් කළේය. එහෙත් නසන්න නො හැකි වීයැ යි ඉකුත් වන ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණෝ තිත්මුවෙක්ව එක් වනයට ගෙඩි කමින් වෙසෙයි. එක් කලෙක ඔහු ජලයෙන් පිරුණු ඇත්දෙමට ගසක ගෙඩි කයි. එකල ගම්වැසි, අටළුවල සතුන් මරන වැද්දෙක් ගෙඩි ඇති ගස්මුල්වල මුවන්ගේ පියසටහන් පිරික්සා කොට ගස මත අටල්ලක් බැඳ එහි හිඳ ගෙඩි කෑමට ආ මුවන් අඩයටියෙන් විද ඔවුන්ගේ මස් විකුණමින් ජීවිකාව කළේය. දිනක් ඔහු ඒ ගසමුල බෝසතුන්ගේ පා සලකුණු දැක ඒ දෙමට ගසෙහි අටල්ලක් බැඳ උදෙන් ම කා අඩයටිය ගෙන වනයට පිවිස ඒ ගසට නැඟී අටල්ලෙහි හුන්නේය. බෝසත්හු ද අලුයම වසන තැනින් නික්ම දෙමට ගෙඩි කන්නෙමි යි අවුත් වහා ම රුක්මුලට නො පිවිස අටළු වැද්දෝ ගස්වල අටළු බඳිත්. එවැනි අනතුරක් ඇත්දැ යි විමසමින් පිටත සිටියේය.
වැද්දා බෝසතුන් නො එන බව දැන අටල්ලෙහි හුන්නේ දෙමටගෙඩි කඩා ඔහු ඉදිරියෙහි හෙලුවේය. එවිට බෝසතුන්, මේ ගෙඩි අවුත් මා ඉදිරියෙහි වැටෙයි. ගස උඩ වැද්දකු සිටීදැ යි නැවත උඩ බලන්නාහු, වැද්දා දැක නො දුටුවාක් මෙන් සිට එම්බා ගස, පෙර තෝ ලඹය හෙලන්නාක් මෙන් එක එල්ලේ ගෙඩි හෙලුවේය. අද තෝ ගසෙහි රුක් දහම අත්හළෙහිය. මෙසේ තා විසින් රුක් දහම අත්හළ කල්හි මම අන් ගසක් මුලට එළඹ මගේ අහර සොයා ගන්නෙමි යි කියා මේ ගාථාව කීවේය.
“ඤාතමෙතං කරඞ්ගස්ස යං ත්‍වං සෙපණ්ණි සෙය්‍යසි,
අඤ්ඤං සෙපණ්ණිං ගච්ඡාමි න මෙ තෙ රුච්චතෙ ඵලන්ති”
“එම්බා දෙමට ගස, තෝ යම් කරුණකින් ඉදිරිය ගෙඩි විසුරුවන්නෙහි ද, ඒ කාරණය තිත් මුවාට පැහැදිලිය. මම වෙනත් දෙමට ගසක් වෙත යමි. තගේ ගෙඩි මට රුචි නො වේ.”
එහි “ඤාතං” ප්‍රකට විය. “එතං” මේ කරුණ, “කුරුඞ්ගස්ස” තිත්මුවා හට, “යං ත්‍වං සෙපණ්ණි සෙය්‍යසි” එම්බල දෙමට ගස, තෝ පෙරට ගෙඩි විසුරුවන්නෙහිය, වඩා වඩාත් විසුරුවන්නෙහි ද? මේ කරුණු සියල්ල තිත්මුවාට ප්‍රකට විය. “න මෙ තෙ රුච්චතෙ ඵලන්ති” මෙසේ ගෙඩි දෙන කල්හි තගේ ගෙඩි මට රුචි නො වේ. තෝ සිටු මම වෙන තැනකට යන්නෙමි යි, ගියේය.
ඉක්බිති, වැද්දා අටල්ලෙහි සිට ම අඩයවිය දමා ගසා යව, එය වරදවා ගනිමි යි කීය. බෝසත්හු නැවතී සිටි කීහ. එම්බා පුරුෂය, දැන් තට වැරදුනා විය හැකිය. තට අට මහ නිරය, සොළොස් පිරිවාර නිරය හා පස් වැදෑරුම් බැඳුම් ද හා දුක් කම්කටොළු ද නො වරදින්නේමැ යි කියා පලා ගොස් කැමැති පරිදි ගියේය. වැද්දා ද බැස කැමැති සේ ගියේය.
මහණෙනි, දෙව්දත් මා නැසීමට තැත් කරනුයේ දැන් පමණක් නො වේ. පෙර ද තැත් කළේය. නැසීමට නො හැකි වීයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතක කථාව නිමවූහ. එදා අටළු වැද්දා නම් දෙව්දත්ය. තිත් මුවා නම් මම ම වීමි.
2. කුක්කුර ජාතකය (22)
“යෙ කුක්කුරාති” යන මේ ජාතක දේශනාව බුදුරදුන් දෙව්රම් වෙහෙරෙහි වසන සේක්, ඤාති සංග්‍රහය අරබයා දෙසූහ. එය දොළොස් වැනි නිපාතයෙහි භද්දසාළ ජාතකයෙහි එන්නේය. ඒ කථා පුවත පදනම් කොට අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසතාණෝ එබඳු කර්මයක් නිසා සුනඛ යෝනියෙහි ඉපිද නොයෙක් සිය ගණන් සුනඛයන් පිරිවරා මහ සොහොන් බිමෙහි වසත්. ඉක්බිති එක් දවසක් රජු සුදු සෛන්ධව අසුන් යෙදූ සියලු අලංකාරයෙන් යුත් රථයට නැඟී උයනට ගොස් දවල් කාලය එහි ක්‍රීඩා කොට හිරු බැස යන කල්හි නුවරට පිවිසියේය. රජුගේ රථය වරමදු රැහැන් සමග බැඳුණු ලෙසින් ම රජ මිදුලෙහි තිබිණි. එදින රැයෙහි වැසිවට කල්හි රථය තෙමිණි. උඩුමහලෙහි සිටි උසස් ගණයෙහි සුනඛයෝ බැස අවුත් රථයෙහි සම් ද රැහැන් ද කෑහ. දෙවන දවස්හි රජුට සැල කළහ. දේවයිනි, වතුර නික්මන කාණුවෙන් සුනඛයෝ අවුත් රථයෙහි සම් ද රැහැන් ද කෑහ. රජ සුනඛයන්ට කිපී දුටු දුටු තැන සුනඛයන් මරවු යි කීය. මරනු ලබන්නා සොහොනට ගොස් බෝසතුන් සමීපයට ගියහ.