8. මතකභත්ත ජාතකය (18)
“එවං චෙ සත්තා ජානෙය්යුන්ති” යන මෙය බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩ වසමින් මතක බතක් අරබයා දෙසූහ. ඒ කාලයෙහි මිනිස්සු බොහෝ එළු, බැටළුවන් මරා මැරුණු නෑයන් උදෙසා මළ බත් දෙති. භික්ෂූහු එසේ කරන මිනිසුන් දැක බුදුරදුන්ගෙන් විමසූහ. ස්වාමීනි, මෙකල මිනිස්සු බොහෝ ප්‍රාණීන් මරා මළබත් නම් දානයක් දෙත්. ස්වාමීනි, මෙහි යහපතක් තිබේ ද? මහණෙනි, මළ බත් දෙමු යි පර පණ නැසීමෙන් කිසිම යහපතක් නම් නැත්තේමය. මහණෙනි, පෙර පඬිවරු අහසෙහි හිඳ දම් දෙසා මෙහි ආදීනව කියා සියලු දඹදිව වැසියන්ගෙන් මේ පාප කර්මය අත්හැර වූහ. භවයෙන් වැසීගිය නිසා නැවතත් පහළ වීයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි තුන් වේදයෙහි පරතෙරට ගිය දිසාපාමොක් බ්‍රාහ්මණ ගුරුතුමන් මතක බතක් දෙන්නෙමැ යි බැටළුවකු ගෙන්වා අතවැස්සනට කීය. දරුවනි, මේ බැටළුවා ගඟට ගෙන ගොස් නහවා හෙළ මල් දමකින්වට කොට පසැඟිලි සලකුණු කොට සරසා ගෙන එවු. ඔවුහු ද මැනවැ යි පිළිගෙන ගඟට ගෙන ගොස් නහවා සරසා ගංතෙර තැබූහ. ඒ බැටළුවා තමාගේ පෙර අකුසල කර්මය දැක මෙවන් දුකින් අද මිදෙමි යි සතුටු ව කළයක් බිඳින්නාක් මෙන් මහත් සිනාවක් පා නැවත මේ බමුණා මා මරා මවිසින් ලබන ලද දුක ලබන්නේයැ යි බමුණා කෙරෙහි කරුණා සිත් උපදවා මහත් හඬින් හැඬීය.
ඉක්බිති මානවකයෝ විචාළහ. යහළු බැටළුව, ඔබ මහ හඬින් සිනාසී හැඬුවෙහිය. කවර කරුණකින් සිනාසුණේ ද? කවර කරුණකින් හැඬුවෙහි ද? ඔබලා මේ කරුණ තමන්ගේ ගුරුතුමා ඉදිරියේදී අසනු. මානවකයෝ බැටළුවා රැගෙන ගොස් ගුරුතුමාට සැල කළහ. ගුරුතුමා ඔවුන්ගේ වචනය අසා බැටළුවාගෙන් විචාළේය. යහළු බැටළුව, ඔබ සිනාසුනේ ඇයි? හැඬුවේ ඇයි? බැටළුවා තමා කළ පව්කම පෙර ජාතිය දක්නා නුවණින් සිහි කොට බමුණාට කීය. බමුණ, මම පෙර ඔබ මෙන් ම මන්ත්‍ර උගන්වන බමුණෙක් වී මතක බතක් දෙමි යි බැටළුවකු මරා මළ බත දුනිමි. ඒ මම එක බැටළුවකු මැරූ බැවින් සාරසිය අනූනවයක් අත්බැව්වල හිස් සිඳුම්වලට ලක්වීමි. මේ මගේ කෙළවර ම වූ පන්සිය වැනි අත්බවයි. අද මම මෙබඳු දුකින් මිදෙමි යි සොම්නස් වීමි. මේ කරුණින් සිනාසීමි. හැඬුවේ වනාහි, මම එක බැටළුවකු මරා පන්සියයක් ආත්මවල හිස සිඳුම් දුකට පත් අද ඒ දුකින් මිදෙමි. මේ බමුණා මා මරා මා මෙන් පන්සියයක් ආත්මවල හිස් සිඳුම් දුක ලබන්නේය. ඔබ කෙරෙහි කරුණාවෙන් හැඬීමි. බැටළුව, බිය නො වෙනු. මම ඔබ නො මරමි. බමුණ කුමක් කියහි ද? ඔබ මා මැරුවත් නො මැරුවත් අද මට මරණින් මිදෙන්න නො හැකිය. බැටළුව, බිය නො වන්න. අද මම ඔබ රැකගෙන ඔබ සමග ම හැසිරෙන්නෙමි. බමුණ, ඔබගේ ආරක්ෂාව ඉතා සුළුය. මවිසින් කරන ලද පාප කර්මය ඉතා බලවත්ය.
බමුණා බැටළුවා මුදා හැර කිසිවකුටත් මරන්න ඉඩ නො දෙමි යි අතවැස්සන් ගෙන බැටළුවා සමග ම හැසිරුණේය. බැටළුවා අත්හළ මොහොතෙහි ම ගල්තලාවක් ළඟ වැඩුණු ලැහැබක ගෙල ඔසවා කොළ කෑමට පටන්ගත්තේය. එකෙණෙහි ම ඒ ගල මතුපිට හෙණයක් වැටිණි. එයින් එක් ගල් පතුරක් ගැළවී බැටළුවාගේ එසවූ ගෙල මත වැටී හිස සිඳී ගියේය. මහජනයා රැස්වූහ. එදවස බෝසත්හු එහි රුක් දෙවියෙක් ව උපන්හ. ඔහු මහජනයා බලා සිටිද්දී ම දේවානුභාවයෙන් අහසෙහි පළඟින් හිඳ මේ සත්ත්වයන් මෙසේ පව් ඵලවිපාක දැන පර පණ නැසීමක් නො කරන්නේ නම් මැනවැ යි මිහිරි ස්වරයෙන් දම් දෙසමින් මේ ගාථාව කීහ.
“එවං චෙ සත්තා ජානෙය්යුං දුක්ඛායං ජාති සම්භවො,
න පාණො පාණීනං හඤ්ඤෙ පාණඝාතී හි සොචතී ති”
න පාණො පාණීනං හඤ්ඤෙ පාණඝාතී හි සොචතී ති”
“ඉදින් සත්ත්වයෝ මේ ආකාරයෙන් ඉපදීම හා වර්ධනය දුකයැ යි ද ප්‍රාණඝාතී පුද්ගලයා ශෝක කරන්නේයැ යි ද දන්නාහු නම් ප්‍රාණීන්ගේ ප්‍රාණය නැති නො කරන්නාහුය.”
එහි “එවං චෙ සත්තා ජානෙය්යුං” යි මේ සත්ත්වයෝ මෙසේ දන්නාහු නම්, කෙසේ ද? “දුක්ඛායං ජාති සම්භවො” යනු ඒ ඒ තැන්වල ඉපදීම ද උපන්නාහට වැඩීම නම් වූ සම්භවය ද මහලුවීම, ලෙඩවීම, මරණය, අකැමැති අය හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අත්පා සිඳීම් ආදී වූ දුක්වලට හේතු බැවින් ජාතිය දුකක්යැ යි දන්නාහු නම් “න පාණො පාණිනං හඤ්ඤෙ” මෙරමාහට ශාරීරික වද දෙන්නේ සත්ත්වයකු සත්ත්වයකු නො මරන්නේ යන අර්ථයි. කවර හෙයින් ද යත්, “පාණඝාතී හි සොචතී” යනු යම්හෙයකින් තමා අතින් මැරීම ආදී සවැදෑරුම් උපක්‍රමයකින් මෙරමා දිවිපෙවෙත සිඳ දමන පුද්ගලයා අටමහ නිරයෙහි ද සොළොස් උස්සද නම් පරිවාර නිරයන්හි ද විවිධාකාර තිරිසන් සත්ත්ව ගණයෙහි ද ප්‍රේත ලෝකයෙහි ද අසුර ලෝකයෙහි ද යන මේ සතර අපායන්හි මහත් දුක් විඳිමින් බොහෝ කාලයක්, ඇතුළත පැසෙන ලක්ෂණය වූ ශෝකයෙන් ශෝක කරයි. යම් සේ මේ බැටළුවා මරණ බියෙන් ශෝක කළේ ද එමෙන් බොහෝ කලක් ශෝක කරත්. දැන දැන කිසිම සතෙක් අන් සතකු නො නසන්නෝය. පාණාතිපාත කර්මය නො කරන්නෝය. මෝහයෙන් මුලාවූවෝ අවිඳු අඳුරින් අන්ධවූවෝ මේ ආදීනවය නො දැන පරපණ නසත්.
මෙසේ බෝසත්හු අපාය බයින් තැතිගන්වා දහම් දෙසූහ. මිනිස්සු ඒ දම් දෙසුම අසා අපා බයින් තැති ගෙන පර පණ නැසීමෙන් වැළකුණහ. බෝසත්හු ද දම් දෙසා මහජනයා සීලයෙහි පිහිටුවා කම් වූ පරිදි මියපරලොව ගියෝය. මහජනයා ද බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා දානාදී පින්කම් කොට දෙව්ලොව පිරවූහ. බුදුරදාණෝ මේ දම් දෙසුම ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමවූශ. මම ඒ කාලයෙහි රුක්දෙවි වීමි.