9. ආයාචිතභත්ත ජාතකය (19)
“සචෙ මුඤ්චෙ” යන මේ ජාතකය බුදුරදහු දෙව්රම් වෙහෙර වසමින් දේව කන්නලව් බිලි පූජාවක් අරබයා දේශනා කළහ. එදවස මිනිස්සු වෙළඳාම් පිණිස යන්නාහු, සතුන් මරා දෙවියන්ට බලිපූජා කොට අපි අනතුරක් නැතිව බලාපොරොත්තු ඉටුකර ගෙන අවුත් නැවත ඔබට බලිපූජාවක් කරන්නෙමු යි භාරහාර වී යත්. අනතුරක් නැතිව අර්ථ සිද්ධියට පත්ව ආවාහු, දේවානුභාවයෙන් මෙය සිදුවූයේයැ යි පිළිගන්නාහු, බොහෝ සතුන් මරා භාරයෙන් මිදීම සඳහා බලිපූජා කරත්. භික්‍ෂූහු ඒ දැක ස්වාමීනි, මෙයින් යහපතක් ඇත්දැ යි බුදුරදුන්ගෙන් ඇසූහ. උන්වහන්සේ අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර කසීරට එක් කුඩා ගමක කෙළෙඹියෙක් ගම්දොර තිබුණු නුග රුකෙහි දෙවියාට බලිපූජාවක් කරන බවට පොරොන්දු වී අනතුරකින් තොරව අවුත් බොහෝ සතුන් මරා භාරයෙන් මිදෙන්නෙමියැ යි රුක් මුලට ගියේය. රුක්දෙවියා ගස් දෙබලෙහි සිට මේ ගාථාව කීය.
“සචෙ මුඤ්චෙ පෙච්ච මුඤ්චෙ මුච්චමානො හි බජ්ඣති,
නහෙවං ධීරා මුච්චන්ති මුත්ති බාලස්ස බන්‍ධනන්ති”
“මිදෙනු කැමැත්තේ නම් පරලොවින් මිදෙන්නේය. මිදුණෝද බැඳෙයි. නුවණැත්තෝ එ සේ නො මිදෙත්. මෝඩයාගේ මිදීම බැඳීමකි.”
එහි “සචෙ මුඤ්චෙ පෙච්ච මුඤ්චෙ” පින්වත් පුරුෂය, ඉදින් ඔබ මිදෙනු කැමැත්තේ නම් පරලොවින් මිදෙන්නේය. පරලොවින් බැඳෙන්නේ නම් “මුඤ්චමානො හි බජ්ඣති” ඔබ මෙසේ සතුන් මරමින් මිදෙන්න කැමැති නම්, එ සේ මිදෙන්නේ ද පවින් බැඳේ. එනිසා “නහෙවං ධීරා මුච්චන්ති” නුවණැත්තේ ගිවිසුමෙන් මෙසේ නො මිදෙත්. කවර හෙයින් ද යත් “මුත්ති බාලස්ස බන්‍ධනන්ති” මේ සතුන් මැරීම කොටමිදීම නම් නුවණ නැත්තන්ගේ බැඳීම ම වේයැ යි දහම් දෙසීය. එතැන් පටන් මිනිස්සු මෙබඳු පාණාතිපාත කර්මයෙන් මිදී ධර්මයෙහි හැසිර දේව නගරය පිරවූහ.
බුදුරදහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. මම එසමයෙහි රුක්දෙවියා වීමි.
10. නළපාන ජාතකය (20)
“දිස්වා පදමනුත්තිණ්ණං” යන මේ ජාතක දේශනාව බුදුරදහු කොසොල් දනව්වෙහි චාරිකාවෙහි වඩින්නාහු නළකපාන නම් ගමට වැඩ නළකපාණ පොකුණ අසබඩ දුනුකේ වනයෙහි වැඩවසන සේක් බටදඬු අරබයා වදාළහ. එදවස භික්‍ෂූහු නළකපාණ පොකුණින් නා ඉඳිකුලා (ඉඳිකටු දමන පෙට්ටිය) සඳහා හෙරණුන් ලවා බට දඬු ගෙන්වාගෙන ඒවා මුල සිට අගට එක ම සිදුරක් බව දැක බුදුරදුන් වෙත එළඹ ස්වාමීනි, අපි ඉඳිකුලා සඳහා බටදඬු ගෙන්වා ගතිමු. ඒවා මුලසිට අගට එකම සිදුරක් ඇත්තේය. මේ කිමෙක්දැ යි විමසූහ. මහණෙනි, පෙර බවයක මගේ අධිෂ්ඨානයකැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර ඒ වන ලැහැබ ඝන වනාන්තරයක් විය. මේ පොකුණෙහි හිඳිනා ජල රකුසෙක් බට බට ප්‍රාණීන් කයි. එදවස බෝසත්හු හෝලු මුවෙක් පමණ වඳුරු රජෙක් ව අසූදහසක් පමණ වඳුරන් පිරිවරන ලදුව රැළ රැක ගනිමින් ඒ වනයෙහි වෙසෙයි. ඔහු වඳුරු රැළට අවවාද දුන්නේය. දරුවනි, මේ වනයෙහි විස සහිත ගස් ද අමනුස්සයන් අරක්ගත් පොකුණු ද ඇත. තොපි පෙර නො කෑවිරූ ගෙඩි කන්නාහු නම් හෝ පෙර නො පීවිරූ ජලය බොන්නාහු නම් හෝ මගෙන් විමසනු. ඔවුහු ද මැනවැ යි පිළිගෙන, පෙර නො ගිය පෙදෙසකට ගියහ. ඔවුහු දවසෙහි බොහෝ වේලාවක් ඔබිමොබ හැසිර ජලය සොයන්නාහු එක් පොකුණක් දැක පැන් නො බී බෝසතුන්ගේ පැමිණීම බලමින් හුන්හ. බෝසත්හු පැමිණ දරුවනි, තොපි පැන් නො බොන්නාහදැ යි ඇසූහ. අපි ඔබතුමන්ගේ පැමිණීම බලමින් සිටියෙමු යි කීහ. මැනවි දරුවනි, බෝසත්හු පොකුණ සිසාරා බලා පොකුණට බට පිය මිස නැගි පිය නො දුටහ. ඒකාන්තයෙන් මේ පොකුණ අමනුස්ස අධිගෘහිතයැ යි දැන දරුවනි, පැන් නො බීමෙන් තොප කළ දේ මැනවි. මෙහි නම් අමනුෂ්‍යය අධිගෘහිතය.
දියරකුසා ද ඔවුන් පොකුණට නො බස්නා බව දැක නිල්වන් බඩ, සුදු මුහුණ හා රන්වන් අත්පා ඇතිව පිළිකුල් දැකුමෙන් යුතුව දිය දෙබෑකොට පිටතට අවුත් බලා සිටින්නේ ඇයි? පොකුණට බැස පැන් බොවු යි කීය. ඉක්බිති බෝසත්හු, මෙසේ ඇසූහ. ඔබ මෙහි උපන් ජල රකුසා ද? එ සේය. මෙහි බට කුඩා කුරුල්ලකුගේ සිට කිසිවකු නො මුදමි. තොප හැම දෙනකු මම කන්නෙමි. බෝසත්හු, අපි කෑම නො දෙමු. එ සේ නම් පැන් නො බොන්නේ ද? පැන් ද බොන්නෙමු. එහෙත් ඔබගේ වසඟයට නො ගන්නෙමු. එ සේ නම් පැන් බොන්නේ කෙසේ ද? පොකුණට බැස පැන් බොතැ යි ඔබ සිතුවෙහි ද? අපි අසූදහස ම පොකුණට නො බැස එක් එක් බටදඬුවක් ගෙන උපුල් නළයකින් පැන් උරා බොන්නාක් මෙන් ඔබගේ පොකුණින් පැන් බොන්නෙමු. එවිට අප ඔබට කෑමට නො හැක්කේයැ යි දැන බෝසත්හු බුදු වී මේ ගාථාවෙහි පළමු පද දෙක වදාළහ.
“දිස්වා පද මනුත්තිණ්ණං දිස්වා නොතරිතං පදං,
නළෙන වාරිං පිවිස්සාම නෙ ව මං ත්‍වං වධිස්සසීති”
පොකුණින් නො නැඟණු පිය සටහන් දැක දියට බට පිය සටහන් දැක මම බට නළයෙන් පැන් බොමි. ඔබ මා නො නසන්නෙහිය.
මෙහි අර්ථය නම්: මහණෙනි, ඒ වඳුරු රජ ඒ පොකුණෙන් ගොඩ නැගීමක් පිය සටහනක් නුදුටුවේය. ජලයට බසින පිය ම දැක්කේය. මෙසේ බට පිය දැක නැගි පිය නො දැක මේ පොකුණ ඒකාන්තයෙන් අමනුෂ්‍යයන් අරක්ගත් බව දැන ඔව්හු සමග කථා කරමින් වඳුරු පිරිස සමග ම මෙසේ කීය.