7. මාලුත ජාතකය (17)
“කාළෙ වා යදි වා ජුණ්හෙ” යන මෙය බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් වයසට ගොස් පැවිදිවූවන් දෙදෙනකු අරබයා වදාළහ. ඔවුහු කොසොල් දනව්වෙහි එක් වනගත සෙනසුනක වෙසෙත්. එක් නමක් කාල නම් තෙර වූ අතර එක්නමක් ජුණ්හ නම් තෙර වූහ. එක් දවසක් ජුණ්හ තෙරණුවෝ කාළ තෙරුන්ගෙන් ස්වාමීනි, සීතල ඇතිවන්නේ කවර කාලයෙහිදැ යි ඇසීහ. අප පසෙහි යි කීහ. තවත් දවසක දී කාළ තෙරණුවෝ ජුණ්හ තෙරුන්ගෙන් සීතල කවර කලෙක වේදැ යි විමසූහ. ඔහු පුර පසදී සීතල ඇති වෙතැ යි කීයේය. මේ දෙදෙනා ම මේ සැකය සිඳීමට නොදන්නාහ. බුදුරදුන් වෙත ගොස් වැඳ ස්වාමීනි, සීතල ඇතිවන්නේ කවර කාලයකදැ යි විචාළහ. බුදුරදහු ඔවුන්ගේ කථාව අසා මහණෙනි, ඔබ දෙදෙනා ම පෙර භවයක දීත් මේ ප්රශ්නය කීමි යි භවයෙන් ගෙවී ගිය බැවින් නො සලකා හැරයහුද වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර එක් පර්වත පාදයක සිංහයෙක් හා ව්යාඝ්රයෙක් යාළුවෝ ලෙසින් එක ම ගුහාවක වසත්. බෝධිසත්ත්වයෝ ද තවුස් වෙසින් පැවිදි ව ඒ පර්වත පාදයෙහි ම වෙසෙති. එක් දවසක් යහළුවන් දෙදෙනාට සීතල පිළිබඳ විවාදයක් ඇතිවිය. ව්යාඝ්රයා කළුවර අවපස සීත ඇති වේයැ යි කීය. සිංහයා පුර පසෙහි සීත ඇතිවන බව කීය. දෙදෙනා ම මේ සැකය සිඳින්න නො හැකි ව බෝසතුන්ගෙන් විමසූහ. එතුමෝ මේ ගාථාව කීහ.
“කාළෙ වා යදි වා ජුණ්හෙ යදා වායති මාලුතො,
වාතජානි හි සීතානි උභොත්ථමපරාජිතාති”
වාතජානි හි සීතානි උභොත්ථමපරාජිතාති”
“කළුවරපස හෝ පුරපස හෝ යම් කලෙක සුළඟ හමයි ද ඒ සීතල වාතයෙන් හටගන්නකි. මෙහි දී දෙදෙනා ම අපරාජිතයන්ය.”
එහි “කාළෙ වා යදි වා ජුණ්හෙ” යනු අවපස හෝ පුරපසය. “යදා වායති මාලුතො” යම් කලෙක පෙර දිසාව ආදී වශයෙන් සුළඟ හමයි ද එවිට සීත ඇති වේ. මක්නිසා ද යත් “වාහජානි හි සීතානි” සුළඟ හමන කල්හිම සීත ඇතිවන හෙයිනි. අවපස කියා හෝ පුරපස කියා හෝ ප්රමාණ නො වේයැ යි කියන ලදි. “උභොත්ථමපරාජිතාති” තොප දෙදෙනා ම මේ ප්රශ්නයේ දී පරාජය වූවෝ නො වෙති. මෙසේ බෝසත්හු යහළුවන් දෙදෙනා දැනුවත් කළහ.
බුදුරදහු ද මහණෙනි, පෙරත් මා විසින් මේ ප්රශ්නය කියනු ලද්දේයැ යි මේ ධර්ම දේශනය ගෙනහැර දක්වා වදාරා සිව්සස් දෙසූහ. තෙරවරු දෙදෙනා ම සෝවාන් ඵලයෙහි පිහිටියහ. බුදුරදහු අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළහ. එදා ව්යාඝ්රයා කාළ තෙරය. සිංහයා ජුණ්හ තෙරය. ප්රශ්නය විසඳුන තවුසා මම ම වීමි.
8. මතකභත්ත ජාතකය (18)
“එවං චෙ සත්තා ජානෙය්යුන්ති” යන මෙය බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩ වසමින් මතක බතක් අරබයා දෙසූහ. ඒ කාලයෙහි මිනිස්සු බොහෝ එළු, බැටළුවන් මරා මැරුණු නෑයන් උදෙසා මළ බත් දෙති. භික්ෂූහු එසේ කරන මිනිසුන් දැක බුදුරදුන්ගෙන් විමසූහ. ස්වාමීනි, මෙකල මිනිස්සු බොහෝ ප්රාණීන් මරා මළබත් නම් දානයක් දෙත්. ස්වාමීනි, මෙහි යහපතක් තිබේ ද? මහණෙනි, මළ බත් දෙමු යි පර පණ නැසීමෙන් කිසිම යහපතක් නම් නැත්තේමය. මහණෙනි, පෙර පඬිවරු අහසෙහි හිඳ දම් දෙසා මෙහි ආදීනව කියා සියලු දඹදිව වැසියන්ගෙන් මේ පාප කර්මය අත්හැර වූහ. භවයෙන් වැසීගිය නිසා නැවතත් පහළ වීයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි තුන් වේදයෙහි පරතෙරට ගිය දිසාපාමොක් බ්රාහ්මණ ගුරුතුමන් මතක බතක් දෙන්නෙමැ යි බැටළුවකු ගෙන්වා අතවැස්සනට කීය. දරුවනි, මේ බැටළුවා ගඟට ගෙන ගොස් නහවා හෙළ මල් දමකින්වට කොට පසැඟිලි සලකුණු කොට සරසා ගෙන එවු. ඔවුහු ද මැනවැ යි පිළිගෙන ගඟට ගෙන ගොස් නහවා සරසා ගංතෙර තැබූහ. ඒ බැටළුවා තමාගේ පෙර අකුසල කර්මය දැක මෙවන් දුකින් අද මිදෙමි යි සතුටු ව කළයක් බිඳින්නාක් මෙන් මහත් සිනාවක් පා නැවත මේ බමුණා මා මරා මවිසින් ලබන ලද දුක ලබන්නේයැ යි බමුණා කෙරෙහි කරුණා සිත් උපදවා මහත් හඬින් හැඬීය.
ඉක්බිති මානවකයෝ විචාළහ. යහළු බැටළුව, ඔබ මහ හඬින් සිනාසී හැඬුවෙහිය. කවර කරුණකින් සිනාසුණේ ද? කවර කරුණකින් හැඬුවෙහි ද? ඔබලා මේ කරුණ තමන්ගේ ගුරුතුමා ඉදිරියේදී අසනු. මානවකයෝ බැටළුවා රැගෙන ගොස් ගුරුතුමාට සැල කළහ. ගුරුතුමා ඔවුන්ගේ වචනය අසා බැටළුවාගෙන් විචාළේය. යහළු බැටළුව, ඔබ සිනාසුනේ ඇයි? හැඬුවේ ඇයි? බැටළුවා තමා කළ පව්කම පෙර ජාතිය දක්නා නුවණින් සිහි කොට බමුණාට කීය. බමුණ, මම පෙර ඔබ මෙන් ම මන්ත්ර උගන්වන බමුණෙක් වී මතක බතක් දෙමි යි බැටළුවකු මරා මළ බත දුනිමි. ඒ මම එක බැටළුවකු මැරූ බැවින් සාරසිය අනූනවයක් අත්බැව්වල හිස් සිඳුම්වලට ලක්වීමි. මේ මගේ කෙළවර ම වූ පන්සිය වැනි අත්බවයි. අද මම මෙබඳු දුකින් මිදෙමි යි සොම්නස් වීමි. මේ කරුණින් සිනාසීමි. හැඬුවේ වනාහි, මම එක බැටළුවකු මරා පන්සියයක් ආත්මවල හිස සිඳුම් දුකට පත් අද ඒ දුකින් මිදෙමි. මේ බමුණා මා මරා මා මෙන් පන්සියයක් ආත්මවල හිස් සිඳුම් දුක ලබන්නේය. ඔබ කෙරෙහි කරුණාවෙන් හැඬීමි. බැටළුව, බිය නො වෙනු. මම ඔබ නො මරමි. බමුණ කුමක් කියහි ද? ඔබ මා මැරුවත් නො මැරුවත් අද මට මරණින් මිදෙන්න නො හැකිය. බැටළුව, බිය නො වන්න. අද මම ඔබ රැකගෙන ඔබ සමග ම හැසිරෙන්නෙමි. බමුණ, ඔබගේ ආරක්ෂාව ඉතා සුළුය. මවිසින් කරන ලද පාප කර්මය ඉතා බලවත්ය.