6. තිපල්ලත්ථමිග ජාතකය (16)
“මිගන්තිපල්ලත්ථ” යන මෙය බුදු රජහු කොසඹෑ නුවර බදරිකාරාමයෙහි වැඩ වසමින් ශික්ෂාකාමී රාහුල තෙරුන් අරබයා දෙසූහ. එක් කාලයක බුදුරදුන් අළව් නුවර අග්ගාළව චෛත්යයෙහි වසන කල්හි උපාසිකාවෝත් භික්ෂුණියෝත් බණ ඇසීම සඳහා විහාරයට යත්. බණ දෙසීම දවල් කාලයෙහි විය. කල්යත් ම උපාසිකාවෝත් භික්ෂුණියෝත් නො ගියාහුය. උපාසකයෝ ද භික්ෂූහු ද පමණක් වූහ. එතැන් පටන් බණ ඇසීම රාත්රී කාලයෙහි විය. බණ ඇසීම කෙළවර ස්ථවිර භික්ෂූහු තම තමන්ගේ වසන තැන්වල යති. ලාබාල භික්ෂූහු උපාසකයන් සමග උපස්ථාන ශාලාවෙහි නිදත්. ඔවුහු නිදිගත් කල්හි සමහරු සුරු සුරු හඬින් හුස්ම ගනිත්. සමහරු තතනමින් ද සමහරු දත් විකමින් ද නිදාගත්හ. සමහරු ටික වේලාවක් නිදා නැගිටිත්. ඔවුහු මේ විප්රකාරය බුදුරදුන්ට දැන්වූහ. බුදුරදහු “යම් භික්ෂුවක් උපසපන් නොවූවකු සමග එකට නිදන්නේ නම්, පචිත් ඇවතක් වේ” යි සික පදය පනවා කොසඹෑ නුවරට වැඩියහ.
එහිදී භික්ෂූහු රාහුල ආයුෂ්මතුන්ට කීහ. ඇවැත් රාහුලයනි, බුදුරදුන් විසින් සිකපදයක් පනවන ලදි. දැන් ඔබ තමුන්ගේ වසන ස්ථානය දැනගන්න. පෙරදී භික්ෂූහු බුදුරදුන් කෙරෙහි ගෞරවය නිසාත්, රාහුල ආයුෂ්මතුන්ගේ ශික්ෂාකාමිත්වය නිසාත් තම වාසස්ථානය එන ඔහුට සැලකිලි දක්වත්. කුඩා ඇඳක් සකසා හිස තැබීම සඳහා සිවුරු දෙත්. එදින සිකපදයට බියෙන් විසීමට ඉඩක්වත් නුදුන්හ. රාහුල, මගේ පියායැ යි බුදුන් වෙත හෝ උපාධ්යායන්යැ යි සලකන සැරියුත් තෙරුන් වෙත හෝ ගුරුවරයායැ යි සලකන මහ මුගලන් තෙරුන් වෙත හෝ සුළු පියායැ යි සලකන ආනන්ද තෙරුන් වෙත හෝ නොගොස් බඹවිමනකට පිවිසෙන්නාක් මෙන් බුදුරදුන්ගේ වැසිකිළියට පිවිස වාසය කළේය. බුදුරදුන්ගේ වැසිකිළිය දොර මනාව වසා තිබේ. බිම සුවඳ පිරි මඩ ගෙන ඇත. ගඳ මල් දම් එල්ලා තිබේ. මුළු රාත්රියෙහි පහනක් දැල්වේ. රාහුල ඒ කුටියෙහි ඇති පහසුකම් සලකා එහි වාසයට පැමිණියේ නො වෙයි. භික්ෂූන් විසින් වසනා තැන දනුවයි කියන ලද බැවින් අවවාදයට ගරු කිරීමක් වශයෙන් ශික්ෂාකාමී බව නිසා හේ වාසයට පැමිණියේය. වරින්වර භික්ෂූහු රාහුල දුර එනු දැක විමසනු පිණිස ඉලපතක් හෝ කසල බඳුනකින් හෝ පිටතින් තබා ඔහු පැමිණි කල්හි ඇවැත්නි, ඉවත දමන ලද්දේ කවුරුන් විසින් දැයි කියත්. එහි සිටි කෙනකු මේ මගින් රාහුල ගියේයැ යි කී කල්හි රාහුල ආයුෂ්මත්හු හිමියනි, මම දනිමි යි නො කියා එතන තබා හිමියනි, මට සමාවන්නැ යි භික්ෂූන් සමාකරවා ගෙන ඔහුගේ ශික්ෂාකාමිත්වය නිසා ම එහි වාසයට ගියේය.
ඉක්බිති බුදුහු අරුණ නැගීමට පෙර ම වැසිකිළි දොර ළඟ සිට උගුර පෑදූහ. ඒ ආයුෂ්මත්හු ද උගුර පෑදූහ. මේ කවුද? මම රාහුල වෙමි යි අවුත් වැන්දේය. රාහුල, ඔබ මෙහි වැදහොත්තේ ද? විසීමට තැනක් නැති හෙයිනි. ස්වාමීනි, පෙර මට භික්ෂූහු සංග්රහ කරත්. දැන් ඇවැත් බිය නිසා වසන තැනක් නො දෙත්. ඒ මම අනුන් හා නො ගැටෙන තැනක්ය යන කරුණ නිසා මෙහි හොත්තෙමි. බුදුරදුන්ට ධර්ම සංවේගය පහළ විය. ඉක්බිති බුදුරදුන්, භික්ෂූහු රාහුල මෙසේ ප්රතික්ෂේප කරන්නාහු නම් අන් කුලදරුවන් පැවිදි කොට කුමක් කරන්නාහු දැයි උදෑසන ම භික්ෂූන් රැස්කරවා ඊයේ රාත්රිය රාහුල කිසියම් තැනක විසූ බව දන්නහුදැ යි සැරියුත් තෙරුන්නේ ඇසූහ. නො දනිමි ස්වාමීනි, සාරිපුත්ත, රාහුල අද වැසිකිළියෙහි විසීය. සාරිපුත්ත, තොප රාහුල මෙසේ බැහැර කරනවිට අන් කුල දරුවන් පැවිදි කොට කුමක් කරන්න ද? මෙසේ ඇතිකල්හි මේ සසුනෙහි පැවිදිවූවෝ පිහිටක් නැත්තෝ වන්නාහුය. මෙතැන් පටන් අනුපසම්පන්නයන් සමග එක් රැයක් දෙකක් තමා සමග වාසය කරවා තෙවන දවසෙහි ඔවුන්ව වාසස්ථානයක් දැන පිටත වාසය කැරවිය යුතුයැ යි දෙවන පැනවීමක් කොට නැවත සිකපදය පැනවූහ.
එකල්හි දම්සභාවෙහි රැස්වූ භික්ෂූහු රාහුලගේ ගුණ කථා කරමින් බලන්න ඇවැත්නි, රාහුල කොතරම් ශික්ෂාකාමී ද? ඔබ වසන තැන දනුවයි කියා හෝ මම බුදුරදුන්ගේ පුත්රයා වෙමි. ඔබලා සෙනසුනෙහි වසන්න කවුරුහු ද? ඔබලා ම නික්මෙනු ආදී වශයෙන් එක භික්ෂුවකටවත් අවලාද නො කියා වැසිකිළියෙහි වාසය කළේයැ යි මෙසේ ඔවුන් කතා කරමින් සිටියදී බුදුරදහු දම්සභාවට වැඩම කොට විසිතුරු අසුනෙහි හිඳ මහණෙනි, කුමන කථාවකින් හුන්නාහුදැ යි ඇසූහ. ස්වාමීනි, රාහුලගේ ශික්ෂාකාමී බව පිළිබඳ කථාවෙන් මිස අන් කථාවකින් නො වේ. මහණෙනි, රාහුල ශික්ෂාකාමී වූයේ දැන් පමණක් නො වේ. පෙර තිරිසන් යෝනියෙහි උපන්නේ ද ශික්ෂාකාමී වූයේ මයැ යි වදාරා ඉකුත්වත දෙසූහ.
පෙර රජගහ නුවර මගධ රජ රාජ්යය කරයි. එකල්හි බෝසත්හු මුව යෝනියෙහි ඉපිද මුව සමූහයා පිරිවරාගෙන මහ වනයෙහි වෙසෙයි. ඉක්බිති බෝසතුන්ගේ නැගනිය තම පුතා ගෙන්වා සොහොයුර, මේ ඔබගේ බෑණායි. මුවමායම් පුහුණු කරනු මැනවැ යි කීවාය. බෝසත්හු මැනවැ යි පිළිගෙන දරුව, යන්න අසවල් වේලාවට අවුත් පුහුණු වන්නැ යි කීහ. ඔහු ද මයිලණුවන් කී වේලාව නො ඉක්මවා ඔහු වෙත එළඹ මුව මායම් හදාළේය. දිනක් ඔහු වනයෙහි හැසිරෙන විට මළ පුඬුවක බැඳී බැඳුණු හඬින් හැඬීය. මුව රැල පළා ගොස් ඇයගේ පුතා පුඬුවෙහි බැඳුණු බව ඔහුගේ මවට කීහ. ඕ බෑයා ළඟට ගොස් සොහොයුරාණෙනි, ඔබගේ බෑනාට මුව මායම් උගන්වන ලද්දේදැ යි විචාළාය. ඔබ පුත්රයා ගැන නපුරක් නො සිතනු. ඔහු විසින් මුව මායම් මනාව ඉගෙන ගන්නා ලදි. දැන් සිනා ගන්වමින් එන්නේයැ යි පවසා මේ ගාථාව කීය.