5. ඛරාදිය ජාතකය (15)
“අට්ඨඛුරං ඛරාදියෙ” යන මෙය බුදු රජහු දෙව්රම් වෙහෙර වසමින් දුර්වච මහණකු (නො කීකරු මහණකු) අරබයා දේශනා කළහ. ඒ මහණ වනාහි නො කීකරුය. අවවාද නො පිළිගනී. බුදුරදහු, මහණ, ඔබ දුර්වච ව අවවාද නො පිළිගන්නා බව සැබෑ ද? එ සේය ස්වාමීනි, ඔබ පෙරත් දුර්වච ව නුවණැත්තන්ගේ අවවාද නො ගෙන මළ පුඬුවට අසුවී මරණයට පත්වූයේ නො වේදැ යි වදාරා අතීතය ගෙනහැර දැක්වූහ.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත් තෙම මුවෙක් වී මුවන් පිරිවරාගෙන කැලයෙහි වෙසෙයි. එකල්හි ඔහුගේ නැගනි මුවදෙන තම පුතු ගෙන්වා සොහොයුර, මේ ඔබගේ බෑණාය. ඔහුට මුව මායම් උගන්වනු හැකිදැ යි පැවරුවාය. බෝසත් මුවා අසවල් වේලාවේ අවුත් ඉගෙන ගනුව යි කීය. ඔහු කී වේලාවට නො එයි. එක දවසක් නොව සත් දවසක් ම අවවාදයන් ඉක්මවන්නේ මුව මායම් නො ඉගෙන ම හැසිරෙන්නේ මළ පුඬුවක බැඳුණේය. ඔහුගේ මව සොහොයුරා වෙත පැමිණ, සොහොයුර බෑණාට මායම් ඉගැන්වූවාදැ යි විමසුවාය. එවිට බෝසත්හු, අවවාද නො පිළිගත් ඔහු ගැන නො සිතනු. ඔහු මායුම් නො උගත්තේය. මේ ගාථාව කීහ. දැනුත් ඔහුට අවවාද නො දෙනු කැමැත්තේ, මේ ගාථාව කීහ.
“අට්ඨඛුරං ඛරාදියෙ මිගං වඞ්කාතිවඞ්කිනං,
සත්තහි කලාහතික්කන්තං න නං ඔවදිතුස්සහෙති”
සත්තහි කලාහතික්කන්තං න නං ඔවදිතුස්සහෙති”
“ඛරාදිය නැගනියනි, රළු වූ කුර අටක් ඇති වඩ වඩාත් නැමුණු අං ඇති අවවාද සඳහා දින සතක් ඉක්ම වූ ඒ මුවාට අවවාද කිරීමට මම උත්සාහ නො කරමි.”
එහි “අට්ඨඛුරං” යනු එක් පාදයක දෙක බැගින් කුර අටක් ඇති යන්නය. “ඛරාදියෙ” නමින් ඇය අමතයි. “මිගං” යනු මුව සඳහා පොදු වචනයකි. “වඞ්කාතිවඞ්කිනං” යනු මුල ඇද වූ අග අතිශයින් ඇද වූ වංකාතිවංක නම් එවැනි අං ඔහුට ඇති බවයි. “සත්තහි කලාහතික්කන්තං” යනු අවවාද දෙන කාල හතක් ඉක්ම වූ යන්නය. “න නං ඔවදිතුස්සහෙ” මෙබඳු වාචාල මුවා අවවාද කිරීමට මම උත්සාහ නො කරමි. මොහුට අවවාද කිරීමට මට සිතක්වත් නො උපදී යි දක්වයි. ඉක්බිති, වැද්දා පුඬුවෙහි බැඳුණු මුවා මරා මස් රැගෙන ගියේය.
බුදුරදහු මහණ, ඔබ දැන් පමණක් දුර්වච වූයේ නො වේ. පෙරත් දුර්වච වීයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළහ. එදා බෑණ මුවා නො කීකරු භික්ෂුව විය. නැගණිය උප්පලවණ්ණා වූවාය. අවවාද කළ මුවා මම ම වීමි.
6. තිපල්ලත්ථමිග ජාතකය (16)
“මිගන්තිපල්ලත්ථ” යන මෙය බුදු රජහු කොසඹෑ නුවර බදරිකාරාමයෙහි වැඩ වසමින් ශික්ෂාකාමී රාහුල තෙරුන් අරබයා දෙසූහ. එක් කාලයක බුදුරදුන් අළව් නුවර අග්ගාළව චෛත්යයෙහි වසන කල්හි උපාසිකාවෝත් භික්ෂුණියෝත් බණ ඇසීම සඳහා විහාරයට යත්. බණ දෙසීම දවල් කාලයෙහි විය. කල්යත් ම උපාසිකාවෝත් භික්ෂුණියෝත් නො ගියාහුය. උපාසකයෝ ද භික්ෂූහු ද පමණක් වූහ. එතැන් පටන් බණ ඇසීම රාත්රී කාලයෙහි විය. බණ ඇසීම කෙළවර ස්ථවිර භික්ෂූහු තම තමන්ගේ වසන තැන්වල යති. ලාබාල භික්ෂූහු උපාසකයන් සමග උපස්ථාන ශාලාවෙහි නිදත්. ඔවුහු නිදිගත් කල්හි සමහරු සුරු සුරු හඬින් හුස්ම ගනිත්. සමහරු තතනමින් ද සමහරු දත් විකමින් ද නිදාගත්හ. සමහරු ටික වේලාවක් නිදා නැගිටිත්. ඔවුහු මේ විප්රකාරය බුදුරදුන්ට දැන්වූහ. බුදුරදහු “යම් භික්ෂුවක් උපසපන් නොවූවකු සමග එකට නිදන්නේ නම්, පචිත් ඇවතක් වේ” යි සික පදය පනවා කොසඹෑ නුවරට වැඩියහ.
එහිදී භික්ෂූහු රාහුල ආයුෂ්මතුන්ට කීහ. ඇවැත් රාහුලයනි, බුදුරදුන් විසින් සිකපදයක් පනවන ලදි. දැන් ඔබ තමුන්ගේ වසන ස්ථානය දැනගන්න. පෙරදී භික්ෂූහු බුදුරදුන් කෙරෙහි ගෞරවය නිසාත්, රාහුල ආයුෂ්මතුන්ගේ ශික්ෂාකාමිත්වය නිසාත් තම වාසස්ථානය එන ඔහුට සැලකිලි දක්වත්. කුඩා ඇඳක් සකසා හිස තැබීම සඳහා සිවුරු දෙත්. එදින සිකපදයට බියෙන් විසීමට ඉඩක්වත් නුදුන්හ. රාහුල, මගේ පියායැ යි බුදුන් වෙත හෝ උපාධ්යායන්යැ යි සලකන සැරියුත් තෙරුන් වෙත හෝ ගුරුවරයායැ යි සලකන මහ මුගලන් තෙරුන් වෙත හෝ සුළු පියායැ යි සලකන ආනන්ද තෙරුන් වෙත හෝ නොගොස් බඹවිමනකට පිවිසෙන්නාක් මෙන් බුදුරදුන්ගේ වැසිකිළියට පිවිස වාසය කළේය. බුදුරදුන්ගේ වැසිකිළිය දොර මනාව වසා තිබේ. බිම සුවඳ පිරි මඩ ගෙන ඇත. ගඳ මල් දම් එල්ලා තිබේ. මුළු රාත්රියෙහි පහනක් දැල්වේ. රාහුල ඒ කුටියෙහි ඇති පහසුකම් සලකා එහි වාසයට පැමිණියේ නො වෙයි. භික්ෂූන් විසින් වසනා තැන දනුවයි කියන ලද බැවින් අවවාදයට ගරු කිරීමක් වශයෙන් ශික්ෂාකාමී බව නිසා හේ වාසයට පැමිණියේය. වරින්වර භික්ෂූහු රාහුල දුර එනු දැක විමසනු පිණිස ඉලපතක් හෝ කසල බඳුනකින් හෝ පිටතින් තබා ඔහු පැමිණි කල්හි ඇවැත්නි, ඉවත දමන ලද්දේ කවුරුන් විසින් දැයි කියත්. එහි සිටි කෙනකු මේ මගින් රාහුල ගියේයැ යි කී කල්හි රාහුල ආයුෂ්මත්හු හිමියනි, මම දනිමි යි නො කියා එතන තබා හිමියනි, මට සමාවන්නැ යි භික්ෂූන් සමාකරවා ගෙන ඔහුගේ ශික්ෂාකාමිත්වය නිසා ම එහි වාසයට ගියේය.