4. වාතමිග ජාතකය (14)
“න කිරත්ථි රසෙහි පාපියො” යන මේ දෙසුම බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු, චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් අරබයා දේශනා කළහ. බුදු රජුන් රජගහ නුවර ඇසුරු කොට වේළුවන වෙහෙරෙහි වැඩ වසන කල්හි මහත් ධන සම්පත් ඇති සිටු කුලයක පුත් වූ තිස්ස නම් සිටු කුමරකු එක් දවසක් වේළුවනාරාමයට ගොස් බුදු රජුන්ගෙන් දහම් අසා පැවිදිවනු කැමැති ව පැවිද්ද අයැද සිටිය ද මව්පියන් නො අනුදන්නා ලද හෙයින් ප්රතික්ෂේප කරන ලදුව සත් දවසක් උපවාස කොට රට්ඨපාල තෙරුන් මෙන් මව්පියන් අනුදන්වා බුදුරදුන් වෙත පැවිදි විය. බුදුරදහු ඔහු පැවිදි කැරවා අඩ මසක් පමණ වේළුවන වෙහෙරෙහි වැඩ සිට ජේතවන වෙහෙරට වැඩියහ. එහි දී මේ කුල පුත්රයා තෙළෙස් ධුතාංග සමාදන් ව සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙමින් කල්ගත කරයි. චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරණුවෝ යි කී කල අහස් තලයෙහි සඳ මෙන් බුදු සසුනෙහි දන්නා ලද්දෝය.
එකල රජගහ නුවර නැකැත් සැණකෙළිය පවත්නා කල්හි තෙරුන්ගේ මව්පියෝ ඔහු ගිහි කල පැළැඳි ආබරණ රිදී තැටියක තබා ලයෙහි තබාගෙන අප පුතණුවන් පෙර නැකැත් සැණකෙලිවල දී මේ මේ අබරණින් සැරසී සැණකෙළි කැරෙති. අපගේ ඒ එක ම පුත්රයා රැගෙන මහණ ගොයුම්හි සැවැත් නුවරට වැඩියෝය. දැන් අප පුත්රයා කොහි හුන්නේදැ යි කොහි සිටිනේදැ යි කියමින් හඬති.
එකල එක් වෙසඟනක් ඒ කුලයට ගොස් සිටු බිරිය හඬනු දැක ආර්යාව, කුමක් නිසා හඬහි ද? ඈ ඒ කරුණ දැන්වූවාය. ආර්යාවනි, රුචි කරන්නේ කිනම් දේටදැ යි අසන්නේ, අසවල් අසවල් දේටය. ඉදින් ඔබ මෙහි කුලයට අයත් සියලු සම්පත් මට දෙන්නේ නම්, මම ඔබ පුත් මෙහි ගෙන එන්නෙමි යි කීවාය. සිටු බිරිය මැනවැ යි පිළිගෙන ගමනට සුදුසු පිරිවැය දී මහත් පිරිවර සමග යව, තමාගෙ බලයෙන් මගේ පුතා ගෙන එව යි, පිටත් කළාය. ඕ පිළිසන් යානයක හුන්නී, සැවැත් නුවරට ගොස් තෙරුන් පිඬු පිණිස හැසිරෙන වීථියෙහි නිවසක නැවතී සිටු කුලයෙන් පැමිණි මිනිසුන් නො පෙන්නා තම පිරිවරින් පිරිවරන ලද්දී, තෙරුන් පිඬු පිණිස වැඩි කල්හි පළමුව හැන්දක් පමණ බත් ද පසුව බඳුනක් පමණ බත් ද පිළිගන්වා රස තෘෂ්ණාවෙන් බැඳ අනුක්රමයෙන් ගෙය තුළ වඩා හිඳුවා අහර දෙන්නී, තම වසඟයට පැමිණි බව දැන ගිලන් බවක් පෙන්වා යහන් ගැබ හොත්තීය. තෙරහු ද පිඬු සිඟන වේලෙහි ගෙපිළිවෙලින් හැසිරෙන්නෝ ඇගේ ගෙදොරට වැඩියහ. පිරිවර ජනයෝ තෙරුන්ගේ පාත්රය ගෙන තෙරුන් ඇතුළු ගෙහි වැඩ හිඳවූහ. තෙරණුවෝ හිඳගෙන ම උපාසිකාව කොහිදැ යි විමසූහ. ස්වාමීනි, ඈ ගිලන්ව සිටින්නීය. ඔබතුමන්ගේ දර්ශනය කැමැති වන්නීයැ. තෙරණුවෝ රස තෘෂ්ණාවෙන් බැඳෙන්නාහු, තමාගේ ධූත සමාදානය බිඳ ඇය හොත්තැනට වැඩියහ. ඈ තමා පැමිණි කාරණය ප්රකාශ කොට පොළඹවා රස තෘෂ්ණාවෙන් බැඳ උපැවිදි කොට තම වසඟයට ගෙන යහනාවක හිඳුවා මහත් පිරිවරින් රජගහ නුවරට ම ගියාය. මෙපුවත ප්රකට විය.
භික්ෂූහු දම් සභාවෙහි සිට වෙසඟනක් චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් රස තෘෂ්ණාවෙන් බැඳගෙන ගියාය, යන කථාවක් කළහ. බුදුරදහු දම් සභාව වැඩ විසිතුරු අසුනෙහි වැඩහිඳ මහණෙනි, දැන් කිනම් කථාවක් කරමින් හුන්නාහුදැ යි විචාළහ. භික්ෂූහු එපවත් සැලකළහ. මහණෙනි, මේ භික්ෂුව රස තෘෂ්ණාවෙන් බැඳී ඇගේ වසඟයට ගියේ දැන්මතු නොවෙයි. පෙරත් ඇගේ වසඟයට ගියේමැ යි වදාරා ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.