3. කණ්ඩින ජාතකය (13)
“ධිරත්‍ථු කණ්ඩිනං සල්ලං” යන මේ ජාතකය බුදුරදහු දෙව්රම් වෙහෙර වෙසෙමින් පෙර බිරිඳගේ පෙළඹවීම අරබයා මේ ජාතකය දේශනා කළහ. ඒ පුවත අටවන නිපාතයේ ඉන්‍ද්‍රිය ජාතකයෙහි වන්නේය. බුදුරදහු ඒ භික්‍ෂුවට මෙසේ වදාළහ. මහණ, ඔබ පෙරත් මේ ස්ත්‍රිය නිසා මරණයට පත්ව ගිනිදැල් රහිත ගිනි අඟුරු ගොඩක පැසුණෙහිය. භික්‍ෂූහු එම අර්ථය හෙළිදරවු කරනු පිණිස බුදුරදුන් අයැද සිටියහ. බුදුරදහු භාවාන්තරයෙන් වැසී ගිය එම පුවත ප්‍රකට කළහ. මින්පසුව භික්‍ෂූන්ගේ ආයාචනය ද භවාන්තරයෙන් වැසීගිය බව ද නො කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ, යන මෙපමණක් ම කියමු. මෙපමණක් කී කල්හි ද ආයාචනය වලාගැඹකින් සඳ ගෙනහැර දැක්වීමේ උපමාවෙන් භවාන්තරයෙන් පිළිසන් වූ බව යන සියල්ල පෙර කී පරිදි ම යොදා දත යුතුය.
පෙර මගධ රට රජගහ නුවර මගධ රජ රාජ්‍යය කරවයි. මගධ වැසියන්ගේ අස්වනු කාලයෙහි මුවන්ට මහ උවදුරක් වෙයි. මුවෝ වනයෙහි පර්වත ජාලයට පිවිසෙත්. එහි ගිරිදුර්ග ආශ්‍රිත ව වනයෙහි වසන මුවෙක් ග්‍රාමාන්තවාසී මුව පැටිස්සියක සමග මිත්‍ර සබඳකම් පවත්වා මුවන් පර්වත පාදයෙන් බැස නැවත ගම්පියසට බසින කාලයෙහි මුවැත්තිය කෙරෙහි බැඳුණු සිත් ඇති බැවින් ඔවුන් සමග ම බැස්සේය. ඇය ඔහුට කියන්නී, මිත්‍රය, ඔබ කවරෙක් ද? ගම් පියස සැක සහිතය. භය සහිතය. අප සමග නො බසින්න. පර්වතවාසී බාල මුවා ඇය පිළිබඳ සිත් ඇත්තේ බැවින් නො නැවතී ඔවුන් සමග ම ගියේය. මගධ වැසියෝ මුවන් පර්වත පාදයෙන් බසින වෙලාව මේයැ යි දැන මඟ සැඟවුණු කොටුවල සිටිත්. ඒ දෙදෙන එන මඟ එක් මුව වැද්දකු සැඟවුණු කොටුවක සිටියේ විය. මුවැත්තී මිනිස් ගඳ ආඝ්‍රාණය කොට එක් වැද්දකු සිටින්නේයැ යි බාල මුවා පෙරටු කොට තමා පසුපසින් ගියාය. මුව වැද්දා එක් ඊපහරින් ම මුවා හෙළාලීය. මුවැත්තිය ඔහුට ඊපහර වැදුණු බව දැන උඩ පැන වායු වේගයෙන් පළා ගියාය. වැද්දා කොටුවෙන් නික්ම මුවා කපා ගිනි ගසා ගිනිදැල් නැති අඟුරු රැසක මිහිරි මස පිස අනුභව කොට පැන් බී ඉතිරි මස් ලේ බිඳු වැගිරෙද්දී ම කදින් ගෙන දරුවන් සතුටු කැරෙමින් සිය ගෙට ගියේය.
එදා බෝසතාණෝ ඒ වන ලැහැබෙහි දේවතාවෙක් වී උපන්නාහු වෙති. ඔහු මෙකරුණ දැක මේ මෝඩ මුවාගේ මරණය මව නිසා නො වේ. පියා නිසා ද නොවේ. හුදෙක් ආශාව නිසාමය. කාමය නිමිති කොට සත්ත්වයෝ සුගති භවයේ දී අත්පා කැපීම් ආදී දුකට පත් වෙත්. දුගති භවයේ දී පස් ආකාර බැඳුම් ආදී නොයෙක් දුකට පැමිණෙත්. මෙරමාහට මරණ දුක දීම මෙලොව නින්දිත වූවක් මය. එ සේ ම යම් දනව්වක් මාගමක් පාලනය කරයි ද අනුශාසනා කරයි ද ගැහැනියක ප්‍රධාන වූ ඒ දනව්ව ද නින්දිත මය. යම් කෙනෙක් මාගමකගේ වසඟයට යත් ද ඔවුහු ද නින්දිත වම්හ යි එක ම ගාථාවකින් නින්දා කටයුතු කරුණු තුනක් දක්වා වන දේවතාවන් සාධු හඬ දී ගඳමල් ආදියෙන් පුදද්දී මිහිරි හඬින් ඒ වන ලැහැබ ගුගුරවමින් මේ ගාථාවෙන් දහම් දෙසූහ.
“ධිරත්‍ථු කණ්ඩිනං සල්ලං පුරිසං ගාළ්හවෙධිනං,
ධිරත්‍ථු තං ජනපදං යත්‍ථිත්‍ථි පරිනායිකා,
තෙචාපි ධික්කිතා සත්‍තා යෙ ඉත්‍ථීනං වසං ගතාති”