2. නිග්‍රෝධමිග ජාතකය (12)
“නිග්‍රොධමෙව සෙවෙය්‍යා” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩවසමින් කුමාර කස්සප තෙරණුවන්ගේ මව අරබයා දේශනා කළහ. ඕ වනාහි බොහෝ වස්තු ඇති සිටුගේ දුවක් වූවාය. උත්සන්න වූ කුසල් මුල් ඇත්තී, මඩින ලද සංස්කාර ඇත්තී, අන්තිම අත්බවෙහි සිටින්නී වූවාය. කුළයෙහි (ගෙයක මුදුනෙහි) පහන මෙන් ඇගේ රහත් වීමේ හේතු සම්පත් දැල්වෙයි. තමා ගැන දන්නා කාලයේ සිට ගිහිගෙයි නො ඇලුණාය. පැවිදි වනු කැමැති වී ඕ මව් පියන් අමතා මෑණියනි, පියාණෙනි, ගිහිගෙයි සිත නො ඇලෙයි. නෛර්යානික බුදුසසුනෙහි පැවිදිවනු කැමැත්තෙමි. මා පැවිද කැරවනු මැනවැයි කීවාය. දියණියනි, කුමක් කියන්නෙහි ද? මේ කුලය බොහෝ වස්තු ඇත්තකි. ඔබ අපගේ එක ම දියණියයි. පැවිදිවීමට ඉඩ නො ලැබේ. ඕ නැවත නැවත ඇවිටිලි කළ ද මව්පියන් වෙතින් පැවිද්දට අවසර නො ලබන්නී මෙසේ සිතුවාය. එසේ නම් පතිකුලයට ගිය කල්හි සැමියාගේ සිත් ගෙන පැවිදි වන්නෙමි යි, ඒ සුදුසු වියට පත් කල්හි පතිකුලයට ගොස් හිමියා දෙවියකු කොට සලකා සිල්වත් ව කලණදම් ඇත්තීව ගිහිගෙයි විසුවාය.
ඔවුන්ගේ සහවාසය නිසා ඇගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඕ ගැබ පිහිටි බව නො දන්නීය. මේ අතර එනගරයෙහි නැකැත් කෙළියක් ප්‍රසිද්ධියට පත් කළහ. සියලු නගර වැස්සෝ නැකැත් ක්‍රීඩා කළහ. නගරය දෙව් පුරයක් ලෙස අලංකාරව පිළියෙල කරන ලද්දේය. ඕ මෙවැනි අති උදාර නැකැත් කෙළියක් පැවැත්වෙද්දීත් තම සිරුරෙහි සුවඳ විලවුන් නො ගල්වයි. සිරුර අලංකාර නො කරයි. සාමාන්‍ය පියවි ලෙසින් ම හැසිරේ.
ඇගේ හිමියා සොඳුර, මෙම පුරය ම නැකැත් කෙළියෙහි බැඳුණේය. ඔබ ඔබගේ සිරුර කුමක් නිසා නො සරසන්නී ද? හිමියනි, මාගේ සිරුර දෙතිස් කුණපයකින් පිරුණේය. මේ සිරුර සැරසීමෙන් ප්‍රයෝජනය කුමක්ද? මේ කය වනාහි දේව නිර්මාණයක් නො වේ. බ්‍රහ්ම නිර්මාණයක් ද නො වේ. රනින්, මිණියෙන්, සඳුනෙන් කළේ ද නො වේ. හෙළ පියුම්, රත් පියුම් හෝ උපුල් ගැබක උපන්නේ ද නො වේ. ඇතුළත අමා ඔසුයෙන් පිරුණේ ද නො වේ. හුදෙක් කසළෙහි උපන්නකි. මව්පියන් නිසා හට ගත්තකි. අනිස බව, ඉලීම, පිරිමැදීම, බිඳෙන බව, විසිරෙන බව ස්වභාව කොට ඇත්තකි. සොහොන් පොළොව වඩන්නකි. තණ්හාවෙන් දැඩිව අල්ලා ගත්තකි. ශෝකාදියට හේතුවකි. වැලපීම් ආදියට හේතුවකි. සියලු රෝගයන්ට හේතුවකි. සියලු ක්‍රියාවන් පිළිගන්නකි. ඇතුළත කුණු පිටතට නිතර වැගිරෙන සුලුය. පණු කැලට ගෙයකි. සොහොන පිහිට කොට ඇත්තකි. මරණය කෙළවර කොට ඇත්තකි. සියලු ලෝවැස්සන්ගේ ඇස් ඉදිරියෙහි ම සිටිය ද
“ඇට හා නහරින් බැඳුනේය. හම සහිත මසින් ගල්වන ලද්දේය. සිවියෙන් ශරීරය වැසුණේය. එම නිසා යථා තත්ත්වය නො පෙනේ.
බඩවැලින් පිරුණේය. උදරයෙන් පිරුණේය. අක්මාවෙන් හා හෘදය මාංශයෙන් ද පපුගඩුවෙන් ද වකුගඩුවෙන් ද බඩදිවින් ද,
සොටුයෙන් ද කෙලින් ද දහඩියෙන් ද වසා තෙලින් ද ලෙයින් ද සඳ මිදුලෙන් ද පිතෙන් ද තෙලින් ද පිරුණේය.
තව ද සැමදා නව දොරකින් අපවිත්‍ර දෑ වැගිරෙයි. ඇස්වලින් කබ ද කනින් කන් කෑදුරු ද,
නාසයෙන් සොටු ද කටින් වමනය ද පිත ද සෙම ද සමහරවිට සිරුරින් දහඩිය බිඳු ද වැගිරෙයි.
ඔහුගේ හිස් කුහරය මොළයෙන් පිරුණේය. අවිද්‍යාවෙහි උතුම් වූ බාලයා, ඒ සිරුර සුබ වශයෙන් පතයි.
විස සහිත ගසක් සමාන වූ මේ සිරුර නිමක් නැති ආදීනව ඇත්තේය. සියලු රෝගයන්ට නිවෙස් වූ මේ සිරුර හුදු දුක් ගොඩකි.
ඉදින්, මේ සිරුරෙහි ඇතුල් පැත්ත පිටතින් තිබුණේ නම් දඬකඩක් ගෙන කපුටන් හා බල්ලන් එළවීමට සිදුවන්නේය.
මේ සිරුර දුගඳය. අපිරිසිදුය. පිළිකුල්ය. කසල ගොඩක් වැනිය. නුවණැත්තන් විසින් නින්දිත වූ මේ කය බාලයන්ට සතුට ගෙන දේ.”
[missing trans]
හිමියනි, මේ සිරුර සරසා කුමක් කරන්නෙහිද? මේ කය අලංකාර කිරීම අසූචි පිරුණු බඳුනක් පිටතින් කැටයම් කිරීමක් නො වන්නේ ද? සිටු පුත් ඇගේ වදන් අසා සොඳුර, මේ සිරුරෙහි මෙබඳු ආදීනව දැක දැකත් මක්නිසා ඔබ පැවිදි නො වන්නෙහි ද? හිමියනි, මට පැවිදිවීමට ලැබෙන්නේ නම් අද ම පැවිදි වන්නෙමි. සිටු පුත්, මැනවි. මම ඔබ පැවිදි කරවන්නෙමි යි කියා මහදන් පවත්වා මහත් පිරිවරින් මෙහෙණවරට ගෙන පමුණුවා පැවිදි කරනු ලබන්නී, දෙව්දත් තෙරුන්ට පක්ෂපාතී භික්‍ෂුණීන් වෙත පැවිදි කරවීය. ඕ තුමූ පැවිද්ද ලැබ සිතැඟි ඉටුවීමෙන් සතුටු වූවාය.