1. ලක්ඛණමිග ජාතකය (11)
“හොති සීලවතං අත්ථො” යන මෙය බුදු රජහු රජගහ නුවර ඇසුරු කොට වේළුවනයෙහි වැඩවසන්නේ දෙව්දතුන් අරබයා දේශනා කළහ. දෙව්දතුන්ගේ කථා පුවත දුනුවායන් යෙදීම දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි එන්නේය. ධනපාල ඇතු මෙහෙයවීම දක්වා චුල්ල හංස ජාතකයෙහි වන්නේය. පොළොව ගිලීම දක්වා සොළොස් වන නිපාතයෙහි සමුද්දවාණිජ ජාතකයෙහි වන්නේය.
එක් කලෙක දෙව්දත් පඤ්ච වස්තූන් ඉල්ලා නො ලබන්නේ සංඝයා භේද කොට පන්සියයක් භික්ෂූන් රැගෙන ගයා සීසයෙහි වෙසෙයි. ඉක්බිති ඒ භික්ෂූන්ගේ නුවණ මුහුකුරා ගියේය. බුදුරදහු ඒ දැන දෑග සව්වන් අමතා සාරිපුත්රයෙනි, තොප ඇසුරු කළ පන්සියයක් භික්ෂූහු දෙව්දත්ගේ ලබ්ධිය රුචි කොට ඔහු සමග ගියාහුය. දැන් ඔවුන්ගේ නුවණ මුහුකුරා ගියේය. ඔබ බොහෝ භික්ෂූන් සමග එහි ගොස් ඔවුන්ට ධර්මය දේශනා කොට ඒ භික්ෂූන්ට මගඵල අවබෝධ කැරවා ඔවුන් රැගෙන එනු මැනව. සව්වෝ ද වදාළ පරිදි එහි ගොස් ඔවුන්ට දම් දෙසා මඟඵලින් ඔවුන් අවබෝධ කැරවා දෙවන දවස්හි අරුණු නැගෙන වේලාවෙහි ඒ භික්ෂූන් ද රැගෙන වේළුවනයටම පැමිණියහ. සැරියුත් තෙරුන් බුදුරදුන් වැඳ සිටිකල්හි භික්ෂූහු තෙරුන්ට පසසා බුදුරදුන්ට මෙසේ කීහ. ස්වාමීනි, අප දෙටු සොයුරු දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ පන්සියයක් භික්ෂූන් පිරිවරා පැමිණෙන විට ඉතා හොබනේය. දෙව්දත් වනාහි පිරිහුණු පිරිවර ඇත්තෙක් විය. මහණෙනි, සැරියුත් ඤාති සමූහයා පිරිවරාගෙන පැමිණෙන විට බැබලෙන්නේ දැන් පමණක් නොවෙයි. පෙරත් බැබලුණේය. දෙව්දත් ද සමූහයාගෙන් පිරිහුණේ දැන් පමණක් නොවෙයි. පෙරත් පිරිහුණේ මය. භික්ෂූහු මෙකරුණ හෙළිදරව් කිරීම පිණිස බුදුරදුන් අයැද සිටියහ. බුදුරදහු භවාන්තරයෙන් වැසුණු ඒ කරුණ ප්රකට කළහ.
පෙර මගධ රට රජගහනුවර එක් මගධ රජෙක් රාජ්යය කළේය. එකල බෝසත්හු මුව ජාතියෙහි වැඩිවිය පැමිණියේ මුවන් දහසක් පිරිවරාගෙන මහවනයෙහි වෙසෙති. ඔහුට ලක්ඛණ, කාල නමින් පුතුන් දෙදෙනෙක් වූහ. ඔහු මහලු කල දරුවනේ, මම දැන් මහලු වෙමි. තෙපි මේ මුව සමූහය රැකගනිවු යි පුතුන් දෙදෙනාට පන්සියය බැගින් පවරා දුන්නේය. එතැන් පටන් ඒ දෙදෙනා මුව සමූහය රකිත්. මගධ රට ශස්යය සමයෙහි වනයෙහි වසන මුවන්ට උවදුරු වෙයි. මිනිස්සු ගොයම් කන මුවන් මරනු පිණිස තැන් තැන්වල වළවල් හාරත්. උල් සිටුවත් ගල් උගුල් අටවත්. සොරමල ආදී උගුල් තබත්. බොහෝ මුවෝ විනාශයට පත්වෙති. බෝසත්හු කෘෂිකාර්මික කාලයයැ යි දැන පුතුන් කැඳවා දරුවනි, මේ කෘෂිකාර්මික කාලය යි. බොහෝ මුවෝ විනාශ වෙත්. දැන් අප මහලුය. අපි කෙසේ හෝ එක් තැනක හිඳ ජීවත්වෙමු. තෙපි තොපගේ මුව සමූහය ගෙන වනයෙහි පර්වත පාදයට ගොස් සස් නෙලූ කල ආපසු පැමිණෙවු. ඒ දෙදෙනා ද මැනවැ යි පියාගේ වදන් අසා පිරිවර සහිත ව නික්මුණහ. මිනිස්සු ද මුවන්ගේ ගමන් මං දනිත්. මේ කාලයෙහි මුවන් පර්වතය නගිති යි, මේ කාලයෙහි බසිති යි දැන තැන්තැන්වල සැඟවී සිට බොහෝ මුවන් විද මරත්.
කාල මුවා ද තමාගේ දන්ධ බව (මෝඩ බව) නිසා මේ වේලාවේ යා යුතුය. මේ වේලාවේ නො යා යුතුයැ යි නොදැන මුව රැළ ගෙන පෙරවරුවෙහි ද පස්වරුවෙහි ද සැඳෑ කාලයෙහි ද අළුයම ද ගම් දොරින් යයි. එමඟ පදිංචිකරුවෝ ද සැඟවී සිටියෝ බොහෝ මුවන් මරත්. මෙසේ ඔහු තම දන්ධ බව නිසා බොහෝ මුවන් විනාශ්යට පමුණුවා ටිකදෙනකු සමග වනයට ගියේය. ලක්ඛණ මුවා වනාහි පණ්ඩිතය. දක්ෂය. උපාය දන්නේය. මේ වෙලාවෙහි යා යුතුය. මේ වේලාවෙහි නො යා යුතුයැ යි දනී. ඔහු ගම්දොරින් ද නො යයි. දවල් කල ද නො යයි. සන්ධ්යාවෙහි ද නො යයි. අළුයම ද නො යයි. මුවරැළ පිරිවරාගෙන මැදියම් රැයෙහි ම යයි. එම නිසා එක් මුවකුවත් විනාශ නො කොට වනයට පිවිසියේය. මෙසේ ඔවුහු එහි සිව් මසක් පර්වත පාදයෙහි වැස සස් නෙලා ගස් පසු පව්වෙන් බැස්සාහ.
කාල මුවා ආපසු එන්නේ පෙරකී පරිදි සෙසු මුවන් විනාශයට පමුණුවා එකලාව පැමිණියේය. ලක්ඛණ මුවා එක මුවකු ද මරණයට ඉඩ නො තබා පන්සියයක් මුවන් පිරිවරා මව්පියන් වෙත පැමිණියේය. බෝසත්හු එන්නා වූ දෙපුතුන් දැක මුව රැළ සමග මන්ත්රණය කරන්නේ මේ ගාථාව මතු කළහ.