9. අග්ගික ජාතකය (129)
“නායං සිඛා පුඤ්ඤහෙතූති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, කුහක භික්ෂුවක් ම අරබයා වදාළහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී බෝසත්හු මී රජෙක් ව වනයෙහි වසයි. ඉක්බිති, එක් හිවලෙක් ලැව් ගිනි හටගත් කල්හි පලා යාමට නො හැකි වන්නේ, එක් ගසෙක හිස ඇන ගෙන සිටියේය. නරියාගේ මුළු සිරුරේ ම ලෝම දැවුණේය. ගසෙහි හිස ඇන ගෙන සිටි තැන මුදුනෙහි සිපවක් මෙන් ලොම් ටිකක් තිබුණේය. හෙතෙම එක් දිනක් පොකුණෙන් පැන් බොන්නේ, සෙවනැල්ල බලන්නේ, සිළුව (මුදුන) දැක, මට දැන් තත්ත්වයක් ලැබුණේයැ යි වනයෙහි හැසිරෙන්නේ, ඒ මී ලෙන ද දැක මේ මීයන් වංචා කොට කන්නෙමි යි යට කියන ලද ක්රමයට ම නුදුරෙහි සිටියේය. ඉක්බිති, බෝසත්හු ගොදුරු සඳහා හැසිරෙන්නේ, නරියා දැක සිල්වතෙක්යැ යි හැඟීමෙන් එළැඹ නුඹ කිනම් නම් ඇත්තෙක්දැ යි විචාළේය. මම අග්ගික භාරද්වාර නමැත්තාය. ඉක්බිති, කුමක් සඳහා ආවෙහි ද? නුඹලා රක්ෂා කිරීම පිණිසයි. කුමක් කොට අප රකින්නෙහි ද? මම අඟිලිවලින් ගණන් කිරීම දනිමි. තොප උදෙන් ම නික්මී ගොදුරු පිණිස යන කාලයේ මෙපමණයැ යි ගණන්කොට ආපසු එන කාලයේ දීත් ගණින්නෙමි. මෙසේ සවස උදෑසන ගණිමින් රකින්නෙමි. එසේ නම් මාමණ්ඩිය රකින්න. නරියා යහපතැ යි පිළිගෙන නික්මෙන කල්හි එකා දනේනා තුන් දෙනායැ යි ගණන් කොට එන කල්හි ද එසේ ම ගණන් කොට හැමට පසු ව එන මීයා ගෙන කයි. සෙස්ස පෙර පරිදි මය.
මෙහි මී රජ නැවතී සිටියේ එම්බා අග්ගික භාරද්වාජ, මේ නුඹේ ධර්මතාවයක් නිසා හිසෙහි කෙස් රොදක් තැබුවේ නොව, හුදෙක් බඩ වඩා ගැනීම පිණිස තබන ලද්දකැ යි කියා මේ ගාථාව කීවේය.
“නායං සිඛා පුඤ්ඤහෙතු ඝාසහෙතු අයං සිඛා,
නඞ්ගුට්ඨගණනං යාති අලං තෙ හොතු අග්ගකාති”
නඞ්ගුට්ඨගණනං යාති අලං තෙ හොතු අග්ගකාති”
“මේ සිඛාව (හිස මුදුනෙහි බැඳි කෙස් රොද) හිත් පිණිස නො වේ. මේ සිඛාව අනුන් කනු සඳහාය. (මේ මූසික සමූහයා) ඇඟිලි ගණනට නො ආයේය. අග්ගිකය, තාගේ (මීයන් ගිණීම) මේ පමණ වේවා.”
එහි, “නඞ්ගුට්ඨ ගණනං යාතීති”, නඞ්ගුට්ඨ ගණන නම් ඇඟිලි ගැනීමයැ යි කියනු ලැබේ. මේ මී සමූහයා ඇඟිලිගැනීමට නො යයි. නො එළඹෙයි. නො පුරවයි. ක්ෂයවීමකට නො යයි. යන අර්ථයි. “අලං තෙ හොතු අග්ගකාති”, හිවලා නමින් අමතමින් කීවේය. මෙපමණකින් ඔබට සෑහේවා. මින්පසු මීයන් නො කන්නෙහිය. අප සමග හෝ තොප සමග හෝ ආශ්රයක් නො වේවා. අපි දැන් නුඹ සමග නො වසන්නෙමු යි යන අර්ථයි. සෙස්ස පෙර පරිදි මය.
බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමා කළහ. එකල හිවලා ද මේ භික්ෂුව විය. මී රජා වනාහි මම ම වීමි.
10. කෝසිය ජාතකය (130)
“යථාවාචාව භුඤ්ජසු” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සැවැත් නුවර වැසි එක් ගැහැනියක අරබයා දේශනා කළහ. මේ වනාහි එක් සැදැහැවත් බුදු සසුනෙහි පැහැදුණු උවසු බමුණකුගේ බිරිය වූවාය. ඕ දුසිල් පවිටුකම් ඇත්තී, රාත්රියෙහි අනාචාරයෙහි හැසිර දවල් කිසි වැඩක් නො කොට ගිලන් බවක් පෙන්වා තතනමින් නිදන්නීය. ඉක්බිති, බමුණා සොඳුරිය, කිම ද? යම්කිසි අපහසුවක් ඇත්තීදැ යි විචාරා, එසේය. මගේ සිරුර වාතයෝ පීඩා කරතැ යි කීවාය. එසේ නම් කිනම් දෙයක් අවශ්යදැ යි අසා මිහිරි ප්රණීත කැඳ, බත්, තෙල් ආදී යමක් ඇය කැමැති වන්නී ද, ඒ ඒ දෙය ගෙනවුත් දෙයි. දාසයකු මෙන් සියලු කටයුතු කරයි. බමුණා ගෙටවන් කල ඕ නිදන්නීය. බැහැර ගිය කල සොර සැමියන් සමග සතුටු වන්නීය.
දිනක් බමුණා, මැගේ සිරුර පීඩාකරන වාතයන්ගේ කෙළවරක් නො පෙනේ යි සිතා සුවඳ මල් ගත් අතැති ව දෙව්රම් වෙහෙරට ගොස් බුදුන් පුදා වැඳ එකත් පසෙක හුන් කල්හි බුදුහු, කිම බමුණ, මෙතෙක් දවස් නො පෙනී සිටියෙහි යි ඇසූ කල්හි, ස්වාමීනි, මගේ බැමිණියගේ සිරුරෙහි වාත රෝගයක් ඇත. ඒ නිසා මම ඇයට ගිතෙල් ද ප්රණීත භෝජන ද සොයමි. ඇගේ සිරුර සවිමත්ය. සම පැහැපත්ය. එහෙත් වාත රෝගයෙහි කෙළවරක් නො පෙනේ. මා ඇය රැකබලා ගැනීම නිසා මෙහි ඒමට අවකාශයක් නො ලැබුණි. බුදු රජහු බැමිණියගේ අනාචාර බව දැන බමුණු ස්ත්රියගේ රෝගය සුව නො වන කල්හි මේ මේ බෙහෙත් කටයුතු යි පෙර නුවණැත්තන් විසින් කියන ලදි. භවයෙන් වැසී ගිය නිසා දැන් ඒ නො සලකන්නෙහි යි වදාරා ඔහු විසින් අයදනා ලද්දාහු, ඉකුත් කථාව වදාළහ.