10. කෝසිය ජාතකය (130)
“යථාවාචාව භුඤ්ජසු” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සැවැත් නුවර වැසි එක් ගැහැනියක අරබයා දේශනා කළහ. මේ වනාහි එක් සැදැහැවත් බුදු සසුනෙහි පැහැදුණු උවසු බමුණකුගේ බිරිය වූවාය. ඕ දුසිල් පවිටුකම් ඇත්තී, රාත්‍රියෙහි අනාචාරයෙහි හැසිර දවල් කිසි වැඩක් නො කොට ගිලන් බවක් පෙන්වා තතනමින් නිදන්නීය. ඉක්බිති, බමුණා සොඳුරිය, කිම ද? යම්කිසි අපහසුවක් ඇත්තීදැ යි විචාරා, එසේය. මගේ සිරුර වාතයෝ පීඩා කරතැ යි කීවාය. එසේ නම් කිනම් දෙයක් අවශ්‍යදැ යි අසා මිහිරි ප්‍රණීත කැඳ, බත්, තෙල් ආදී යමක් ඇය කැමැති වන්නී ද, ඒ ඒ දෙය ගෙනවුත් දෙයි. දාසයකු මෙන් සියලු කටයුතු කරයි. බමුණා ගෙටවන් කල ඕ නිදන්නීය. බැහැර ගිය කල සොර සැමියන් සමග සතුටු වන්නීය.
දිනක් බමුණා, මැගේ සිරුර පීඩාකරන වාතයන්ගේ කෙළවරක් නො පෙනේ යි සිතා සුවඳ මල් ගත් අතැති ව දෙව්රම් වෙහෙරට ගොස් බුදුන් පුදා වැඳ එකත් පසෙක හුන් කල්හි බුදුහු, කිම බමුණ, මෙතෙක් දවස් නො පෙනී සිටියෙහි යි ඇසූ කල්හි, ස්වාමීනි, මගේ බැමිණියගේ සිරුරෙහි වාත රෝගයක් ඇත. ඒ නිසා මම ඇයට ගිතෙල් ද ප්‍රණීත භෝජන ද සොයමි. ඇගේ සිරුර සවිමත්ය. සම පැහැපත්ය. එහෙත් වාත රෝගයෙහි කෙළවරක් නො පෙනේ. මා ඇය රැකබලා ගැනීම නිසා මෙහි ඒමට අවකාශයක් නො ලැබුණි. බුදු රජහු බැමිණියගේ අනාචාර බව දැන බමුණු ස්ත්‍රියගේ රෝගය සුව නො වන කල්හි මේ මේ බෙහෙත් කටයුතු යි පෙර නුවණැත්තන් විසින් කියන ලදි. භවයෙන් වැසී ගිය නිසා දැන් ඒ නො සලකන්නෙහි යි වදාරා ඔහු විසින් අයදනා ලද්දාහු, ඉකුත් කථාව වදාළහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයක ඉපිද වැඩිවියට පත්ව තක්සලාවෙන් සියලු ශිල්ප උගෙන බරණැස් නුවර දිසාපාමොක් ඇදුරු වූහ. සියයක් රජදහන්වල රජ බමුණු කුමරුවෝ මොවුන් ළඟ ම ශිල්ප උගනිත්. එකල පසල් දනව් වැසි බමුණෙක් බෝසතුන්ගෙන් තුන් වේදය හා අටළොස් විද්‍යා උගෙන බරණැස් නුවරට පවුල් සංවිධානය කොටගෙන වෙසෙමින් දිනපතා දෙතුන් වරක් බෝසතුන් වෙත එයි. ඔහුගේ බිරිය දුසිල් පාපකාරිනියක් වූවාය. මෙහි සියලු කථා පුවත වත්මන් කථාව හා සමාන වේ.
මේ කරුණ නිසා ඔවදන් ලැබීමට ඉඩක් නො ලැබුණු බව කීවේය. බෝසත්හු, මේ ස්ත්‍රිය මොහු රවටා නිදන බව දැන රෝගයට සුදුසු බෙහෙතක් කියන්නෙමි යි සිතා දරුව, ඔබ මෙතැන් සිට ඇයට කිරි, ගිතෙල් ආදී රසවත් දේ නො දෙනු. පස්පළා, ත්‍රිඵල, ගෝ මුත්‍රයෙහි බහා කකාරා අළුත් තඹ භාජනයක දමා තඹගඳ ගන්වා රැහැනක් හෝ යොතක් හෝ වැලක් ගෙන මේ තිගේ රෝගයට සුදුසු බෙහෙතයැ යි මෙය බොව. නැතිනම් නැඟිටුව. අනුභව කළ ආහාරයට සුදුසු සේ වැඩ කැරව යි මේ ගාථාව කියව. ඉදින්, බෙහෙත නො බොන්නී නම් රැහැණින් හෝ යොතින් හෝ වැලෙන් හෝ පහර කීපයක් දී කෙසින් ගෙන ඇද වැලමිටින් තලන්නේය. එවිට වහා නැඟිට වැඩපල කරන්නීය. ඔහු ද මැනවැ යි පිළිගෙන කී ආකාරයෙන් බෙහෙත සකස් කොට, සොඳුරිය, මේ බෙහෙත බොව යි කීය. එවිට බිරිය මේ බෙහෙත කවුරුන් විසින් කියන ලද ද? සොඳුරිය, ගුරුතුමන් විසින් කියන ලද්දේය. ඒ බෙහෙත ඉවත ලනු. මම නො බොමි. එවිට මානවකයා ඉදින්, තී කැමැත්තෙන් නො බොන්නී නම් මේ රැහැන ගෙන තමාගේ රෝගයට සුදුසු බෙහෙත බොව හෝ තමා කන බොන කැඳ බත් ආදියට සුදුසු වැඩපල හෝ කැරව යි කියා මේ ගාථාව කීය.
“යථාවාචාව භුඤ්ජස්සු යථාභුත්තඤ්ච ව්‍යාහර,
උභයං තෙ න සමෙති වාචා භුත්තංඤ්ච කොසියෙති”
“කොසියාවෙනි, කියන වචනයට අනුව අනුභව කරව. අනුභව කළ දෙයට අනුව වැඩ කරව. තිගේ කීම ද අනුභව කිරීම ද සම නො වේ.”
එහි, “යථාවාචාව භුඤ්ජස්සු”, තිගේ වචනය අනුව අනුභව කරව. වාතයෙන් මට පීඩා කරතැ යි කියන වචනයට සුදුසු වන සේ අනුභව කරව යන අර්ථයි. “යථාවාචං වා”, යන පාඨය ද ගැළපේ. “යථාවාචායාති”, කියා ද පාඨයකි. මෙම අර්ථ මැයි. “යථාභුත්තඤ්ච ව්‍යහරාති”, තී අනුභව කරන ආහාරයට අනුව මෙහෙ කරව. නීරෝගී වෙමි යා කියා ගෘහයෙහි කළයුතු දේ කරව යන අර්ථයි. “යථාභූතඤ්ච”, ද පාඨයකි. නොහොත් නීරෝගී වෙමි යි ඇති තත්ත්වයට ප්‍රකාශ කොට මෙහෙ කරව යන අර්ථයි. “උභයං තෙ න සමෙති වාචා භුත්තඤ්ච කොසියෙති”, වාතයෝ මා පෙළතැ යි තිගේ යම් වචනයක් වේ ද එය ද ප්‍රණීත ආහාර පාන බුදීම ද යන මේ දෙකරුණ සම නො වේ. එහෙයින් නැඟිට වැඩ කරව. “කොසියෙ”, ගෝත්‍රයෙන් ඇය අමතයි.