8. බිළාරවත ජාතකය (128)
“යො වෙ ධම්ම ධජං කත්‍වාති” යන මේ දේශනාව බුදුහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, එක් කුහක (නැති ගුණ පෙන්වන) භික්‍ෂුවක් අරබයා වදාළහ. එකල්හි බුදුහු ඔහුගේ කුහක බව සැළ කළ කල්හි මහණෙනි, දැන් පමණක් නොව, පෙරත් මේ තෙම කුහකයෙකැ යි වදාරා අතීතය ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී බෝසත්හු මී යෝනියෙහි පිළිසිඳ ගෙන වැඩිවියට පැමිණ මහත් සිරුර ඇත්තේ, ඌරු පැටියකු සමාන වී නොයෙක් සිය ගණන් මීයන් විසින් පිරිවරන ලද්දේ, වනයෙහි වාසය කරයි. ඉක්බිති, එක් හිවලෙක් ඔබිමොබ හැසිරෙන්නේ, ඒ මී රැළ දැක මේ මීයන් රවටා කන්නෙමි යි සිතා මීයන්ගේ බිලයට නුදුරෙහි හිරුට මුහුණලා හුළං බොමින් තනි පයින් සිටියේය. බෝසත්හු ගොදුරු සොයා හැසිරෙන්නේ, ඌ දැක මොහු සිල්වතෙක් වන්නේයැ යි ඌ ළඟට ගොස් ස්වාමීනි, නුඹේ නම කුමක්දැ යි විචාළේය. ධම්මික නමි යි කීය. පා හතර ම බිම නො තබා කුමක් නිසා එක කකුලකින් සිටියෙහිද? මගේ පා හතර ම පොළොවේ තබන කල්හි පොළොවට ඔසවා සිටිය නො හැකියි. ඒ නිසා තනි කකුලෙන් සිටියෙමි. මුව විවර කැරගෙන කුමක් නිසා සිටියෙහි ද? අපි අන් කිසිවක් අනුභව නො කරමු. හුළඟ පමණක් අනුභව කරමු. ඉක්බිති, ඉරට මුහුණලා සිටියේ කුමක් නිසා ද? සූර්යයා වඳින්නෙමි. බෝසත්හු ඔහුගේ වචන අසා මේ තෙමේ සිල්වතෙක් වන්නේයැ යි එතැන් පටන් මී සමූහයා සමග උදේ හවස ඔහුට උපස්ථාන පිණිස යයි.
හිවලා සියල්ලන්ට පසුව යන මීයා ගෙන මස් කා ගිල මුඛය පිසදා සිටියි. අනු පිළිවෙලින් මී සමූහයා තුනී විය. මීයෝ පෙර අපට මේ ගුල ඉඩ මදි විය. ප්‍රමාණවත් නො වීය. අතරක් නැති ව සිටියෙමු. දැන් ලිහිල්ය. මේ ගුහාව පෙර මෙන් නො වීය. මේ කුමක් නිසාදැ යි බෝසතුන්ට ඒ පුවත සැලකළාහුය. බෝසත්හු කුමන කාරණයකින් හෝ මීයෝ නැතිව ගියෝයැ යි සිතන්නේ, හිවලා ගැන සැකය ඇතිව ඔහු විමසන්නෙමි යි උපස්ථාන කරන කල්හි සෙසු මීයන් පෙරටු කොට තමා පස්සට විය. හිවලා උගේ මතුවට පැන්නේය. බෝසත්හු තමන් අල්ලා ගැනීම පිණිස පනින බව දැක නැවතී එම්බා සිඟාලය, මේ නුඹේ ව්‍රෘත සමාදානය ද? කල්‍යාණ ධර්මයාගේ සුන්‍දර ස්වභාවය ධර්මයෙහි නො පිහිටි බවයි. අනුන්ගේ හිංසනය පිණිස ධර්මය කොඩියක් කැරගෙන හැසිරෙන්නේදැ යි කියා මේ ගාථාව කීය.
“යො වෙ ධම්මං ධජං කත්‍වා නිගූළ්හො පාපමාචරෙ,
විස්සාසයිත්‍වා භූතානි ඛිළාරං නාම තං වතන්ති”
“යමකු ඒකාන්තයෙන් (දශ කුශල) ධර්මයන් ධජයක් කොට (මතු කොට පෙන්වා) සත්ත්වයන් (ලවා මේ සිල්වතෙකැ යි) විශ්වාස ඇති කැරවා ගෙන තමන් තත්ත්වය සඟවා ගත්තේ, පව් සිදු කෙරේ ද ඔහුගේ ඒ පැවැත්ම ඛිළාර නම් ව්‍රතයයි.”
එහි, “යො වෙති”, ක්‍ෂත්‍රිය ආදී යම් කිසි කෙනකු, “ධම්මං ධජං කත්‍වාති”, දශ කුසල කර්ම පථ ධර්මයන් කොඩියක් මෙන් කොට එය කරන්නේ, උත්සාහවත් කරන්නේ, දක්වන්නේ යන අර්ථයි. “විස්සාසයිත්‍වාති”, මේ තෙමේ සිල්වත්යැ යන හැඟීමෙන් හටගත් විශ්වාසයන් කොට “ඛිළාරං නාම තං වතන්ති”, ඔහු මෙසේ ධර්මය කොඩියක් මෙන් කොට රහසිගත ව පව් කරන්නේ ම ඒකාන්තයෙන් ම කෞරාටික ව්‍රතයක් වේ යන අර්ථයි.
මී රජා කියත් කියත් ම උඩ පැන උගේ බෙල්ලට පැන යටි හනුවෙහි ඇතුල් ගලනාලය හපා බොටුව පලා මරණයට පත් කළේය. මී සමූහයා නැවතී හිවලා මුරු මුරු යන අනුකරණයෙන් කා ගියහ. පළමුවෙන් ආවාහු මූගේ මස් ලැබූහ. පසුව ආවාහු නො ලැබූහ. එතැන් පටන් මී සමූහයා බය නැත්තෝ වූහ.
බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළහ. එකල හිවලා කුහක භික්‍ෂුව විය. මී රජ වනාහි මම ම වීමි.
9. අග්ගික ජාතකය (129)
“නායං සිඛා පුඤ්ඤහෙතූති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, කුහක භික්‍ෂුවක් ම අරබයා වදාළහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී බෝසත්හු මී රජෙක් ව වනයෙහි වසයි. ඉක්බිති, එක් හිවලෙක් ලැව් ගිනි හටගත් කල්හි පලා යාමට නො හැකි වන්නේ, එක් ගසෙක හිස ඇන ගෙන සිටියේය. නරියාගේ මුළු සිරුරේ ම ලෝම දැවුණේය. ගසෙහි හිස ඇන ගෙන සිටි තැන මුදුනෙහි සිපවක් මෙන් ලොම් ටිකක් තිබුණේය. හෙතෙම එක් දිනක් පොකුණෙන් පැන් බොන්නේ, සෙවනැල්ල බලන්නේ, සිළුව (මුදුන) දැක, මට දැන් තත්ත්වයක් ලැබුණේයැ යි වනයෙහි හැසිරෙන්නේ, ඒ මී ලෙන ද දැක මේ මීයන් වංචා කොට කන්නෙමි යි යට කියන ලද ක්‍රමයට ම නුදුරෙහි සිටියේය. ඉක්බිති, බෝසත්හු ගොදුරු සඳහා හැසිරෙන්නේ, නරියා දැක සිල්වතෙක්යැ යි හැඟීමෙන් එළැඹ නුඹ කිනම් නම් ඇත්තෙක්දැ යි විචාළේය. මම අග්ගික භාරද්වාර නමැත්තාය. ඉක්බිති, කුමක් සඳහා ආවෙහි ද? නුඹලා රක්ෂා කිරීම පිණිසයි. කුමක් කොට අප රකින්නෙහි ද? මම අඟිලිවලින් ගණන් කිරීම දනිමි. තොප උදෙන් ම නික්මී ගොදුරු පිණිස යන කාලයේ මෙපමණයැ යි ගණන්කොට ආපසු එන කාලයේ දීත් ගණින්නෙමි. මෙසේ සවස උදෑසන ගණිමින් රකින්නෙමි. එසේ නම් මාමණ්ඩිය රකින්න. නරියා යහපතැ යි පිළිගෙන නික්මෙන කල්හි එකා දනේනා තුන් දෙනායැ යි ගණන් කොට එන කල්හි ද එසේ ම ගණන් කොට හැමට පසු ව එන මීයා ගෙන කයි. සෙස්ස පෙර පරිදි මය.