7. කලණ්ඩුක ජාතකය (127)
“තෙ දෙසා තානි වත්ථූනීති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් ආත්ම වර්ණනා කරන භික්ෂුවක් අරබයා වදාළහ.
එහි කථා පුවත් දෙක ම කටාහක ජාතකයට සමානය. මෙහි වනාහි මේ තෙම බරණැස් සිටුතුමාගේ දාසයකු වූ කලණ්ඩක නම් විය. ඔහු පලා ගොස් පසල් දනව්වක සිටුවරයකුගේ දුවක ගෙන මහත් පිරිවරින් වසන කල්හි බරණැස් සිටුතුමා සොයා බලන්නේ, ඔහු ගිය තැනක් නො දන්නේ, යව. කලණ්ඩුක සොයා බලව යි තමා විසින් පෝෂණය කරන ලද ගිරා පෝතකයකු යැවීය. ගිරා පෝතකයා ඔබිමොබ හැසිරෙන්නේ, ඒ නගරයට පැමිණියේය. ඒ කාලයෙහි කලණ්ඩුක දිය කෙළි කෙළිනු කැමැත්තේ, බොහෝ මල්ගඳ විලවුන් ද කන බොන දෑ ද ගෙන්වාගෙන ගඟට ගොස් සිටු දුව සමග නැවකට නැඟී ජලයෙහි සෙල්ලම් කරයි. ඒ දේශයෙහි දිය කෙළි කෙළිනාහු, ඉසුරුමත්හු කැකෑරූ බෙහෙත් මුසුකරන ලද කිරි බොත්. ඒ නිසා ඔවුන්ට වරුවක් වුවත් දියෙහි ක්රීඩා කරන්නට ශීතලෙන් බාධා නො වේ. මේ කලණ්ඩුකයා වනාහි කිරි උගුරක් ගෙන මුඛයෙහි කළඹා ඒ කිරි දමයි. බිම දමන්නේ ද දියෙහි නො හළා සිටු දුවණියගේ හිසෙහි දමයි. ගිරා පෝතකයා ද ගං තෙරට ගොස් එක් තිඹිරි ගසක අත්තක හිඳ බලන්නේ, කලණ්ඩුකයා හැඳින ගෙන සිටු දුවණියගේ හිසෙහි දමන බව දැක එම්බල කලණ්ඩුකය, දාසය, තමාගේ ජාතිය ද වසන තැන ද සිහි කැරව. කිරි උගුරක් ගෙන මුඛය කළඹා ජාති සම්පන්න වූ සැප සේ වැඩුණු සිටු දුවණියගේ හිසෙහි නො දමව. තමාගේ ප්රමාණය නො දන්නෙහිදැ යි කියා මේ ගාථාව කීවේය.
“තෙ දෙසා තානි වත්ථූනි අහඤ්ච වනගොචරො,
අනුවිච්ච ඛො තං ගණ්හෙය්යු පිප ඛීරං කලණ්ඩුකාති”
අනුවිච්ච ඛො තං ගණ්හෙය්යු පිප ඛීරං කලණ්ඩුකාති”
“(තා උපන් මව් කුස නම් වූ) දේශය ද (මව් ගැබ නම් වූ) වස්තුව ද වන ගෝචර වූ (තිරිසන් වූ) මම ද දනිමි. (ස්වාමිවරු) තා දැන හැරගන්නාහ. කලකණ්ඩුකය කිරි බොව.”
එහි, “තෙ දෙසා තානි වත්ථුනීති”, මව් කුස සඳහා කියයි. මේ මෙහි අදහසයි. යම් තැනක ඔවුන් විසුවේ නම් එතැන රජ දියණියන්ට සුදුසු කුසක් නො වේ. යම් තැනක ඔහු විසුවේ ද ඒවා රජ දියණියන්ට සුදුසු කුස ප්රදේශ නොවේ. එසේ වුව ද ඔබ දාසියකගේ කුස විසුවෙහිය. පිහිටියේය. “අහඤ්ච වන ගොචරො”, තිරිසන්හු පවා මෙකරුණ දනිති යි දක්වයි. “අනුවිච්ච ඛො තං ගණ්හෙය්යං”, මෙසේ නො සිරිතෙහි හැසිරෙන මා විසින් ගොස් සැලකරන ලද කල්හි පරීක්ෂා කොට දැන ඔබගේ සැමියෝ තලා සලකුණු ඔබ්බවා ඔබ ගන්නාහුය. ගෙන යන්නාහුය. එනිසා තමාගේ පමණ දැන සිටු දියණියගේ හිසට කෙළ නො ගසා, “පිප ඛීරං තලණ්ඩුකාති”, ඔහු නාමයෙන් අමතයි.
තලණ්ඩුකයා ද ගිරා පෝතකයා හැඳිනගෙන මා ප්රසිද්ධ කරාවිය යන බියෙන් ස්වාමීනි, එන්න, කවදා ආවේදැ යි කීවේය. ගිරවා මොහු මා හිතවත්කමින් නො කැඳවයි. මගේ ගෙළ අඹරවා මරනු කැමැත්තේයැ යි දැන මට නුඹෙන් ප්රයෝජනයක් නැතැ යි එතැනින් උඩට පැන බරණැස් නුවරට ගොස් දුටුවේ යම් සේ ද සිටුතුමාට විස්තර වශයෙන් කීවේය. සිටුතුමා ඔහු විසින් අයුත්තක් කරන ලදැ යි කියා ඔහුට අණ කැරවා බරණැස් නුවරට ම ඔහු ගෙනවුත් දාසයකු ලෙසින් වැඩ ගත්තේය.
බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළහ. එකල කලකණ්ඩුකයා මේ භික්ෂුව විය. බරණැස් සිටු වනාහි මම ම වෙමි.
8. බිළාරවත ජාතකය (128)
“යො වෙ ධම්ම ධජං කත්වාති” යන මේ දේශනාව බුදුහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, එක් කුහක (නැති ගුණ පෙන්වන) භික්ෂුවක් අරබයා වදාළහ. එකල්හි බුදුහු ඔහුගේ කුහක බව සැළ කළ කල්හි මහණෙනි, දැන් පමණක් නොව, පෙරත් මේ තෙම කුහකයෙකැ යි වදාරා අතීතය ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී බෝසත්හු මී යෝනියෙහි පිළිසිඳ ගෙන වැඩිවියට පැමිණ මහත් සිරුර ඇත්තේ, ඌරු පැටියකු සමාන වී නොයෙක් සිය ගණන් මීයන් විසින් පිරිවරන ලද්දේ, වනයෙහි වාසය කරයි. ඉක්බිති, එක් හිවලෙක් ඔබිමොබ හැසිරෙන්නේ, ඒ මී රැළ දැක මේ මීයන් රවටා කන්නෙමි යි සිතා මීයන්ගේ බිලයට නුදුරෙහි හිරුට මුහුණලා හුළං බොමින් තනි පයින් සිටියේය. බෝසත්හු ගොදුරු සොයා හැසිරෙන්නේ, ඌ දැක මොහු සිල්වතෙක් වන්නේයැ යි ඌ ළඟට ගොස් ස්වාමීනි, නුඹේ නම කුමක්දැ යි විචාළේය. ධම්මික නමි යි කීය. පා හතර ම බිම නො තබා කුමක් නිසා එක කකුලකින් සිටියෙහිද? මගේ පා හතර ම පොළොවේ තබන කල්හි පොළොවට ඔසවා සිටිය නො හැකියි. ඒ නිසා තනි කකුලෙන් සිටියෙමි. මුව විවර කැරගෙන කුමක් නිසා සිටියෙහි ද? අපි අන් කිසිවක් අනුභව නො කරමු. හුළඟ පමණක් අනුභව කරමු. ඉක්බිති, ඉරට මුහුණලා සිටියේ කුමක් නිසා ද? සූර්යයා වඳින්නෙමි. බෝසත්හු ඔහුගේ වචන අසා මේ තෙමේ සිල්වතෙක් වන්නේයැ යි එතැන් පටන් මී සමූහයා සමග උදේ හවස ඔහුට උපස්ථාන පිණිස යයි.