6. අසිලක්ඛණ ජාතකය (126)
“තථෙවෙකස්ස කල්යාණන්ති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, කොසොල් රජුගේ කඩු ලකුණු දන්නා වූ බමුණකු අරබයා වදාළහ. ඔහු වනාහි කම්මල්කරුවන් විසින් රජු වෙත කඩු ගෙනා කල්හි කඩුව සිඹ කඩු ලකුණු හඳුන්වයි. ඔහු යමකුගේ අතින් ලාභයක් ලබයි ද ඔහුගේ කඩුව ලක්ෂණ සම්පන්න මංගල කරුණුවලින් යුක්තයැ යි කියයි. යමකුගේ අතින් ලාභය නො ලබයි නම් ඔහුගේ කඩුව අවලක්ෂණයැ යි ගරහයි. ඉක්බිති, එක් කම්මල්කරුවෙක් කඩුවක් තනා කොපුවෙහි සියුම් මිරිස් කුඩු දමා රජු වෙත කඩුවක් ගෙනාවේය. රජතුමා බමුණා කැඳවා කඩුව විමසව යි කීවේය. කඩුව කොපුවෙන් ඇද සිඹින්නහුගේ නාසයට මිරිස් කුඩු පිවිස කිඹිසීමට කැමැත්ත ඇති විය. ඔහුට කිඹිසනු ගමන් නාසය කඩු මුවහතින් පහරන ලද්දේ දෙකට බිඳුණේය. ඔහුගේ මෙසේ නාසය බිඳුණු බව භික්ෂු සංඝයා අතර ප්රකට විය. ඉක්බිති, එක් දිනක් දම් සභාවෙහි භික්ෂූහු කථාවක් මතු කළහ. ඇවැත්නි, රජතුමාගේ කඩු ලක්ෂණ ශාස්ත්රය කියන්නා කඩු ලකුණු කියන්නේ, නාසය කපා ගත්තේය. බුදුහු වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව හුන්නහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි, මහණෙනි, මේ බමුණා කඩු සිඹ නාසය කපා ගත්තේ දැන් පමණක් නොව, පෙරත් මේ විපතට පත් වූයේයැ යි වදාරා අතීතය ගෙනහැර දක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරෙද්දී ඔහුගේ කඩු ලකුණු කියන බමුණකු විය. සියල්ල වර්තමාන කථාවේ දැක්වූ ක්රමයට සමානය. රජ වනාහි ඔහුට වෙදෙකු දී නාස් කෙළවර සුවපත් කැරවා ලාකඩවලින් බොරු නාසයක් කැරවා නැවත නැවත ඔහු මෙහෙකරුවකු බවට පත් කළේය. බරණැස් රජුට පුතකු නැත. එක් දුවක් හා බෑණා කෙනකු ද විය. ඒ දෙදෙනා ම තමන්ගේ සමීපයෙහි ම ඇතිදැඩි කළේය. ඔවුන් එකට වැඩෙද්දී ඔවුනොවුන් අතර පිළිබඳ සිතක් විය. රජතුමා ද ඇමැතියන් කැඳවා මගේ බෑණා මේ රාජ්යයේ ස්වාමියා කොට දුවණිය ඔහුට ම දී ඔහුගේ අභිෂේකය කරමි යි කියා නැවත සිතුවේය. මගේ බෑණා හැම ආකාරයෙන් ම නෑයෙකි. ඔහුට වෙනත් රජ දුවක් ගෙන දී අභිෂේක කොට දුව වෙනත් රජ කෙනකුට දෙන්නෙමි. මෙසේ අපට බොහෝ නෑයෝ වන්නාහුය. රාජ්යය දෙකේ ම අපි ම ස්වාමිවරු වන්නෙමු. හෙතෙම ඇමැතියන් සමග සාකච්ඡා කොට ඒ දෙදෙනා ම වෙන් කරන්නට වටීයැ යි බෑණා අන් ගෙයක ද දුව වෙනත් ගෙයක ද වාසය කැරවීය. ඔවුන් සොළොස් වස් පිරුණු බවට පත්ව අතිසයින් ඔවුනොවුන් පිළිබඳ සිත් ඇති විය.
රාජ කුමාරයා කුමන හෝ උපායකින් මාමාගේ දියණිය රජ ගෙදරින් බැහැර කිරීමට හැකි වන්නේයැ යි සිතන්නේ, එක් උපායක් ඇතැ යි මහා යක් දෙස්සියක් කැඳවා ඇයට දහසින් බැඳි මල්ලක් දී මා විසින් කුමක් කළ යුතුදැ යි කී කල්හි, මෑණියන්, තී විසින් කරන ලද්දේහි ප්රතිඵල රහිත බවක් නම් නැත. කිසියම් කරුණක් කියා යම් සේ මගේ මාමා රජදුව රජ ගෙදරින් බැහැර කරයි ද එසේ කැරව යි කීවේය. ස්වාමීනි, යහපති. මම රජු වෙත එළැඹ මෙසේ කියමි. දේවයන් වහන්ස, රජදුවගේ මතුයෙහි වැසුණු එක් කාලකණ්ණි යක්ෂයකු නැත. මෙපමණ කලක් නැවතී බලන්නෙක් ද නැත. මම රජදුව අසවල් අසවල් දවසේ රථයකට නංවාගෙන බොහෝ ආයුධ ගත් අත් ඇති පුරුෂයන් රැගෙන මහත් පිරිවරින් සොහොනට ගොස් නාවන්නට බඳින ලද පිලෙහි යට සොහොන් ඇඳෙහි මළ මිනියක් හොවා ඇඳ උඩ රජ දුව තබා සුවඳ දිය කළ එකසිය අටකින් නහවා කාලකණ්ණි අමනුෂ්යයා පළවා හරින්නෙමි යි, මෙසේ කියා රජදුව සොහොනට පමුණුවන්නෙමි. නුඹ අප එහි යන දවසේ අපට කල් ඇතිව මිරිස් කුඩු ටිකක් රැගෙන ආයුධ ගත් අත් ඇතිව තමන්ගේ මිනිසුන් විසින් පිරිවරන ලද්දේ, රථයට නැඟී සොහොනට ගොස් රථය සොහොනේ දොරටුවෙහි එක් දෙසක තබා ආයුධ ගත් අත් ඇති අය සොහොන් වනයට යවා තමා සොහොනෙහි නහන්නට හළ පිළිට ගොස් මළ කෙනකු මෙන් යටිකුරු ව හිඳ ගනුව. මම එහි අවුත් නුඹේ මතුයෙහි ඇඳක් අතුරුවා රජ දුව ඔසවා ඇඳෙහි නිදි කැරවන්නෙමි. නුඹ ඒ අවස්ථාවෙහි මිරිස් කුඩු ටිකක් නාසයට දමා දෙතුන් වරක් කිඹිසෙව්. නුඹ කිඹිසූ කල්හි අපි රජ දුව හැර දමා පලා යන්නෙමු. ඉක්බිති, අවුත් රජ දුවගේ හිසේ සිට නහවා තමාත් හිස පටන් නා ඈ රැගෙන තමාගේ නිවාසයට යන්නෙහි. හෙතෙම යහපති. සුන්දර උපායක්යැ යි පිළිගත්තේය.
ඈ ගොස් රජුට ඒ කරුණ සැල කළාය. රජතුමා එය පිළිගත්තේය. රජ දියණියට ද ඒ අතර කීවාය. ඈ ද පිළිගත්තාය. ඈ නික්මෙනු දවසේ කුමාරයාට සංඥාවක් දී මහත් පිරිවරින් සොහොනට යන්නී, ආරක්ෂක මිනිසුන්ට බය ඉපදවීමට කීවාය. මා රජ දුව ඇඳෙහි තබන කාලයෙහි ඇඳයට මළ මිනිසා කිඹිසියි. කිඹිස ද ඇඳ යටින් නික්මී යමකු පළමු ව දකින්නේ ද ඔහු ම ගන්නේය. නො පමා විය යුත්තාහ. රජ කුමරා පළමු ව ගොස් කියන ලද ක්රමයට එහි වැතිරුණේය. මහා යක්දෙස්සිය රජ දියණිය ඔසවාගෙන නාවන්නට බඳින ලද පිළට යන්නී, බය නො වන්නැ යි සංඥා දී ඇඳෙහි තැබුවාය. ඒ අවස්ථාවෙහි කුමාරයා මිරිස් කුඩු නාසයෙහි දමා කිඹිසියේය. ඔහු විසින් කිඹි පමණින් ම මහා යක්දෙස්සිය රජ දුව හැර මහත් නාද කැරෙමින් සියල්ලන්ට පළමු ව පබා ගියාය. ඇගේ පබායාමත් සමග එකකුදු සිටීමට සමත් කෙනකු නම් නො වීය. ගත් ගත් ආයුධ ඉවත දමා සියල්ලෝ ම පලා ගියහ. කුමාරයා කථා කැරගත් පරිදි සියල්ල කොට රජ දුවණිය ගෙන තමාගේ නිවසට ගියේය.