5. කටාහක ජාතකය (125)
“බහුම්පි සො විකතේථය්යති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, එක තමා ගුණ වණන භික්ෂුවකු අරබයා දෙසූහ. මෙහි කථා පුවත යට කියන ලද පරිදි ම වේ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු මහත් සම්පත් ඇති සිටු කෙනෙක් වූහ. ඔහුගේ බිරිය පුතකු වැදුවාය. ඔහුගේ දාසිය ද එදින ම පුතකු වැදුවාය. සිටු පුත් අකුර කරන විට ම දාස පුතු ද පුවරුවක් ඔසවාගෙන ගොස් ඔහු සමග ම අකුරු ඉගෙන ගනී. ගණිතය ද උගත්තේය. දෙක, තුන ආදී වශයෙන් ගනුදෙනු කළේය. ඔහු ක්‍රමයෙන් වචන ව්‍යවහාරයෙහි දක්ෂ ව වෙළඳාමෙහි ද දක්ෂ විය. එසේ ම තරුණ වූ කල මනා රූ ඇත්තකු ද විය. නමින් කටාහක විය. ඔහු සිටු ගෘහයෙහි භාණ්ඩාගාරික තනතුර ද කැරෙමින් මෙසේ සිතී. මොවුහු හැමදා මෙගෙදර භාණ්ඩාගාරික කාර්යය නො කැරවන්නේය. කිසියම් දොසක් පෙන්වා තලාපෙළා බැඳ ඇඟ ලකුණු ඔබ්බවා දාසයකු ලෙස ම තබා ගන්නේය. පසල් දනව්වක මේ සිටුගේ යහළු සිටුවරයෙක් සිටී, මම සිටුතුමාගේ වචනය ලෙස හැඟෙන පරිදි හසුනක් ගෙන එහි ගොස් මම සිටුතුමාගේ පුත්‍රයා වෙමි යි කියා ඒ සිටු රවටා ඔහුගේ දියණිය පාවා ගෙන සුව සේ වසන්නේ නම් මැනවි යි සිතී. ඔහු තමා ම හසුනක් සකසා මෙම අසවල් නම් ඇති මගේ පුතු ඔබ වෙත එවමි. ආවාහ විවාහ සම්බන්ධය මා ඔබ සමග ද ඔබ මා සමග ද සුදුසුය. එම නිසා මේ පුතුට තමාගේ දියණිය පාවා දී මොහු ඔබ ම වස්වා ගනු මැනවි. මම ද අවකාශයක් ලැබුණු විට එන්නෙමි යි ලියා සිටුගේ මුද්දෙන් හස් තබා කැමැති පරිදි මඟ වියදම් හා සුවඳ වස්ත්‍රාදිය ද ගෙන පසල් රට ගොස් සිටුතුමා දැක වැඳ සිටියේය.
ඉක්බිති, සිටු, දරුව, කොහි සිට ආවෙහිදැ යි ඇසීය. බරණැස සිට ආවෙමි. කාගේ පුත්‍රයෙක් වෙහි ද? බරණැස් සිටුහුගේ පුත වෙමි. කුමක් නිසා ආවෙහි ද? එකෙණෙහි කටාහක මේ බලා දනු මැනවැ යි හසුන දුන්නේය. සිටු හසුන කියවා, දැන් මම පණ ලද්දේ වෙමි යි සතුටු ව දියණිය පාවා දී නැවතීමට සැලැස්වීය. ඔහුගේ පිරිවර ද සතුටු ව දියණිය පාවා දී නැවතීමට සැලැස්වීය. ඔහුගේ පිරිවර ද මහත් විය. කැඳ, කැවිලි ආදිය හෝ වස්ත්‍ර, සුවඳ විලවුන් ආදිය එළවූ කල්හි, කැඳ පිසින්නේ මෙසේ ද? කැවිලි බත් පිසින්නේ මෙසේ ද? අහෝ පිටිසර වැසියන්ගේ හැටි යි නින්දා කරයි. පිටිසර වැසියන් නිසා සළුපිළි හකුළා හදින්ට නො දනිති. සුවඳ විලවුන් ඉලීමට හෝ මල්මාලා ගෙතීමට නො දනිති යි පෙහෙකම් කරන්නවුන්ට ගරහයි.
ඉක්බිති, බෝසත්හු ද දාසයා නො දැක කටාහක පෙනෙන්ට නැත. කොහි ගියේ ද? ඔහු සොයව්. හාත්පස මිනිසුන් යෙදවූහ. ඔවුන්ගෙන් එකෙක් එහි ගොස් කටාහක දැක හැඳින තමා නොදන්වා අවුත් බෝසතුන්ට සැලකළේය. බෝසත්හු ද එපවත් අසා දාසයා කළේ අයුත්තකි. ඔහු ද රැගෙන ආපසු එමි යි රජුන් විචාරා මහත් පිරිවරින් නික්මුණහ. සිටුතුමා පසල් දනව්වට යතැ යි හැමතැන පතළ විය. කටාහක සිටුතුමන් එතැ යි අසා සිතන්ට විය. සිටුතුමා පැමිණෙන්නේ අන් කරුණක් නිසා නො වේ. ඔහුගේ පැමිණීම මා නිසා ම විය යුතුයි. ඉදින්, මම පලා ගියේ නම් නැවත පැමිණීමට නො හැකිය. දැන් එක්තරා උපායක් ඇත. සිටුතුමාට පෙර ගමන් කොට දාසයකු කළ යුතු දේ කොට ඔහු සිත් ගනිමි. එතැන් පටන් තම පිරිස් මැද මෙසේ කියයි. සමහර නුවණ මද මිනිස්සු තමන්ගේ නො දැනීම නිසා මව්පියන්ගේ ගුණ නො දැන ඔවුන් ආහාර අනුභව කරන වේලාවෙහි ගෞරවාදර නො කොට ඔවුන් සමග ම අනුභව කරති. අපි වනාහි මව්පියන් අනුභව කරන වේලාවෙහි අත් දෝනා භාජනය එළවමු. කෙළ පඩික්කම භාජන එළවා තබමි. පැන් හා විජිනිපත ගෙන එළැඹ සිටිමු. ශරීර කෘත්‍යය කරන කල දිය බඳුන ගෙන පිළිසන් තැනට යෑම දක්වා දාසයකු තම ස්වාමියාට කළයුතු සියලු කටයුතු ප්‍රකාශ කළේය.
හෙතෙම මෙසේ ඒ පිරිස දැනුවත් කොට බෝසතුන් ගම් දොරට පැමිණි කල මයිලණුවන්ට මෙසේ කීය. පියාණෙනි, මගේ පියා ඔබතුමන් දැකීම පිණිස එන්නේය. කන බොන දෑ පිළියෙල කරනු මැනවි. මම පඬුරු ගෙන පෙර මඟට යන්නෙමි. සිටු ද දරුව, මැනවැ යි පිළිගත්තේය. කටාහක ද බොහෝ පඬුරු ගෙන මහත් පිරිවරින් ගොස් බෝසතුන් වැඳ පඬුරු පිළිගැන්වීය. පඬුරු පිළිගත් බෝසත්හු ඔහු සමග පිළිසඳර කථා කොට උදය භෝජන කාලයෙහි කඳවුරෙහි වැස ශරීර කෘත්‍යය සඳහා පිළිසන් පෙදෙසකට ගියහ. කටාහක එවිට තම පිරිවර නවතා දිය බඳුන ගෙන බෝසතුන් වෙත ගොස් දිය කිස අවසානයෙහි පාමුල වැටී ස්වාමීනි, ඔබතුමා යම් පමණ ධනය කැමැත්තේ ද එපමණ දෙන්නෙමි. මගේ කීර්තිය ගෙන නො යනු මැනවැ යි කීය. බෝසත්හු ද ඔහුගේ ගති පැවතුම් පිළිබඳ පැහැදී බිය නො වන්න. මා නිසා ඔබට බියක් හෝ අනතුරක් නො වන්නේ යි පවසා පසල් ගමට පිවිසියේය. ඔහුට මහත් සත්කාර විය. කටාහක ද සිටුතුමන්ට කළයුතු සියලු දේ දාසයකු මෙන් කරයි. ඉක්බිති එක් වේලාවක බරණැස සිටු හා පසල් ගම් වැසි සිටු සතුටු සාමීචියේ යෙදී සිටින විට පසල් දනව් වැසි සිටු මහසිටුතුමනි, මම ඔබගේ හසුන දැක ඔබ පුතුට මගේ දියණිය දුනිමි. එවිට බෝසත් සිටු, කටාහක තමාගේ ම පුතෙකු කොට ඊට සුදුසු වන්නේ පිය තෙපුල් කියා සන්තෝෂ කළේය. එතැන් සිට කටාහකගේ මුහුණ සෘජු ව බැලීමට පවා සමතකු නො වීය.