4. අම්බ ජාතකය (124)
“වායමෙථෙව පුරිසොති” යන‌ මේ දේශනාව බුදු රජහු දෙව්රම වැඩ වාසය කරන කල්හි එක්තරා සිරිත් විරිත් ගරු කරන බමුණකු අරබයා වදාළහ. හෙතෙම වනාහි සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙක් සසුනට ළය දී (හිතැති ව) පැවිදි වූයේ වත පිළිවෙතින් සම්පූර්ණ වූයේ විය. ආචාර්ය උපාධ්‍යාය වත් ද බොන පැන්, පරිභෝග කරන පැන්, පොහොය ගෙයි ගිනිහල් ගෙයි වත් ද මනාව ඉටු කරයි. දහ හතරක් මහා වත් ද අසූවක් ඛන්ධක වත් ද සම්පූර්ණ කරන්නේ විය. විහාරය අමදියි. පන්සල, භික්‍ෂූහු සිඟන්නට යා යුතු තැන් තීරණය කරන, මළුව හා විහාර මාර්ගය ද අමදියි. මිනිසුන්ට පැන් දෙයි. මිනිස්සු උන් වහන්සේගේ වත් පිළිවෙත් කෙරෙහි පැහැදී පන්සියයක් පමණ වූ ධ්‍රර (වාර) බත් දුන්හ. මහත් ලාභා සත්කාර උපන්නේය. ඒ නිසා බොහෝ දෙනකුට පහසුකම් හට ගත්තේය. ඉක්බිති, එක් දිනක් දම් සභාවෙහි භික්‍ෂූහු කථාවක් ඉපදවූහ. මහණෙනි, අසවල් නම් භික්‍ෂුව තමන්ගේ වත් පිළිවෙත් නිසා මහත් ලාභ සත්කාර ඉපදවීය. මේ එක ම පුද්ගලයා නිසා බොහෝ අයට පහසුකම් ඇතිවිය. බුදු රජහු වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්ත ව හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොව, පෙරත් මේ භික්‍ෂුව වත් පිළිවෙත් සපුරන්නෙකි. පෙරත් මෙසේය. එක ම පුද්ගලයා නිසා පන්සියයක් තාපසවරු පලාඵල සඳහා අවුත් මොහු විසින් ම ගෙනෙන ලද ඵලවැලින් ම යැපුණාහුයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු නැගෙනහිර උසස් බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියෝ, තවුස් පැවිද්දෙන් පැවිදි ව පන්සියයක් තාපසවරුන් විසින් පිරිවරන ලද්දෝ, පර්වත බෑවුමක විසූහ. එකල හිමාලය වනයෙහි දරුණු නිහඟයක් ඇතිවිය. ඒ ඒ තැන දිය සිඳී ගියේය. තිරිසන්ගත සත්තු පැන් නො ලබා ක්ලාත් වෙත්. ඉක්බිති, ඒ තාපසයන් අතුරෙන් එක් තාපසයෙක් ඔවුන්ගේ පිපාස දුක දැක එක් ගසක් කපා ඔරුවක් කොට පැන් ඉස ඔරුව පුරවා ඔවුන්ට පැන් දුන්නේය. බොහෝ දෙනා එක් රැස්වී පැන් බොන කල්හි තාපසයාට පලාඵල පිණිස යන්නට ඉඩක් නො වීය. ඔහු නිරාහාරව පැන් දෙන්නේ මය. මෘග සමූහයා මෙසේ සිතූහ. මේ තෙමේ අපට පැන් දෙන්නේ, පලාඵල පිණිස යන්නට අවකාශයක් නො ලබයි. ආහාර නොමැතිකමින් අතිශයින් ක්ලාන්ත වෙයි. අපි ගිවිසුමක් කරමු නම් යහපති. ඔවුහු කතිකාවක් කළහ. මෙතැන් පටන් පැන් බීමට එන්නවුන් විසින් තමන්ගේ හැකියාවට ගැළපෙන පරිදි පලාඵල රැගෙන ආ යුත්තාහ. එතැන් පටන් එක් එක් තිරිසන්ගත සත්ත්වයන් තමාගේ බලයට ගැලපෙන පරිදි මිහිරි අඹ, ජම්බු, කොස් ආදිය රැගෙන ම එයි. එකකු සඳහා ගෙනඑන ලද පලතුරු ප්‍රමාණය ගැල් එක හමාරක් පුරවන්නට තරම් සෑහෙයි. තාපසවරු පන්සියය ම ඒවා අනුභව කරත්. වැඩි කොටස් ඉවතලූහ.
බෝසත්හු එය දැක එක් පුරන්නකු නිසා මෙපමණක් තවුසන්ට පලාඵල සඳහා නො ගොස් යැපීම් උපන්නේය. වීර්යය නම් කළ යුතු මයැ යි කියා මේ ගාථව කීහ.
“වායමෙථෙව පුරිසො න නිබ්බින්‍දෙය්‍ය පණ්ඩිතො,
වායමස්ස ඵලං පස්ස භූත්තා අම්බා අනීතිහන්ති”
“නුවණ ඇති පුරුෂ තෙමේ වෑයම් කෙරේ මය. නො කළ කිරෙන්නේය. වෑයම් කිරීමේ ප්‍රයෝජනය බලය. (රස) මෙසේ ද වීයැ යි, මෙසේ ද වීයැ යි ඇසීම් මාත්‍රයෙන් නොවැ (ප්‍රත්‍යක්‍ෂයෙන්ම) අඹ අනුභව කරන ලද්දහුය.”
මේ එහි කෙටි අර්ථයයි. “පණ්ඩිතො”, තමන්ගේ වත් පිරීම් ආදී ක්‍රියාවන්හි, “වායමෙථෙම”, උත්සාහ කරන්නේමය. නො කළකිරෙන්නේ මක්නිසා ද? උත්සාහයේ නිශ්ඵල බවක් නැති හෙයිනි. මෙසේ මහා සත්හු උත්සාහය නම් සඵල වීමයැ යි තවුස් සමූහයා අමතමින්, “වායමස්ස ඵලං පස්සාති”, උත්සාහයේ ඵලය බලවයි කීහ. කෙබඳු ද? “භූත්තා අම්බා අනීතිහන්ති”, ප්‍රත්‍යක්‍ෂයෙන් අඹ අනුභව කරන ලද්දහුය. මෙහි අඹ යනු දේශනා ක්‍රමයයි. ඒ වඳුරන් විසින් විවිධ වූ කුඩා මහත් ඵල ගෙනෙන ලද්දේ වෙයි එහෙත් රසයෙන් වඩාත් රස වූ හෙයින් අඹ ම මෙහි දී කියන ලදි. මේ පන්සියයක් තාපසයන් විසින් තම තමන් වනයට නො ගොස් එකකු සඳහා ගෙනෙන ලද අඹ යම් කෙනෙක් අනුභව කළෝ ද මේ උත්සාහයේ ඵලයයි. එය වනාහි මෙසේ වීලු. මෙසේ වීලු ආදී වශයෙන් නො ගෙන ප්‍රත්‍යක්‍ෂයෙන් ම එහි ඵලය බලව යි, බෝසත්හු තවුස් සමූහයට අවවාද දුන්හ.