3. නඞ්ගලීස ජාතකය (123)
“සබ්බත්‍ථ ගාමිං වාචං” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, ලාළුදායි තෙරුන් අරබයා දේශනා කළහ. ඒ තෙරණුවෝ වනාහි දම් දෙසන්නාහු, මෙතැන මෙය කිය යුතුය. මෙතැන මෙය කිය යුතුය යි සුදුසු නුසුදුසු බව නො දනියි. මංගල අවස්ථාවන්හි තිරොකුඩ්ඩ සූත්‍රයෙහි, භින්තීන් පිටත සිටියි. සතර මංසන්‍ධි, තුන් මංසන්‍ධිවල සිටින්නේ, අවමංගලයට සුදුසු බණ කියත්. අවමංගල අවස්ථාවල දී අනුමෙවෙන් බණ දෙසන්නාහු, මංගල සූත්‍රයෙහි බොහෝ දෙවි මිනිස්සු මංගල කරුණු සිතූහැ යි කියා මෙබඳු මංගල කරුණු සියයක් දහසක් කිරීමට සමර්ථ වවු යි කියයි. ඉක්බිති, එක් දවසක් දම් සභාවෙහි භික්‍ෂූහු ඇවැත්නි, ලාළුදායි තෙරණුවෝ යුතු අයුතු විධි නො දනියි. සැම තැන නො කිය යුතු වදන් සැම තැන දී කියයි යැ යි කථාවක් ඉපදවූහ. බුදුහු දම් සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නෙහි යි කී කල්හි මහණෙනි, ලාළුදායි කථාවෙහි යුතු අයුතු නො දන්නාහු, දැන් පමණක් නො වේ. පෙර ද එවැනි අයෙක් වූහ. මොහු සැමදා ම දොඩමළු වූවෙක් ම වූයේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරන කල්හි බෝසත්හු බමුණු මහසල් කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියාහු, තක්සලාවෙන් සියලු ශිල්ප උගෙන බරණැස් නුවර දිසාපාමොක් ඇදුරු ව පන්සියයක් මානවකයන්ට ශිල්ප උගන්වති. මෙවුනතුරින් එක් මද උත්සාහ ඇති නුවණ මද මානවකයෙක් ධර්මාන්තේවාසික ව පිනට උගන්නා ශිෂ්‍යයකු වශයෙන් ශිල්ප උගනී. නුවණ මද බැවින් ඉගෙනීමෙහි දක්‍ෂ නො වේ. බෝසතුන්ට උපකාරීය. දාසයකු මෙන් සියලු කෘත්‍යය කරයි. දිනක් බෝසත්හු රාත්‍රී භෝජනය වළඳා සයනගත ව සිටියාහු, අත්පා පිට සම්භාහනය කොට යන්නා වූ අතවැසි අමතා දරුව, ඇඳ පාදයන්හි ආධාරක තබා යන්නැ යි කීහ. මානවකයා එක පාදයකට ආධාරකයක් නො ලැබ ඒ වෙනුවට තම කලවය ආධාරකය වෙනුවට තබා මුළු රාත්‍රිය ගෙවීය.
බෝසත්හු අළුයම් කාලයෙහි නැගිට ඔහු දැක දරුව, මෙහි හිඳින්නේ ඇයිදැ යි ඇසුවේය. ගුරුතුමනි, ඇඳපාදයට ආධාරයක් නො ලබන්නේ, කලවයෙහි තබා හුන්නෙමි. බෝසත්හු සංවේගයට පත්ව, මේ මානවකයා මට මහත් උපකාරීය. මෙපමණ අතවැසියන් අතරෙහි මොහු ම ඉගෙනීමෙහි අදක්‍ෂය. එම නිසා ශිල්ප ඉගෙනීමට නො හැකිය, මම කෙසේ නම් මොහු උගතකු කරම්දැ යි සිතීය. ඔහුට මෙසේ සිතිණි. ඒ සඳහා උපායක් ඇත. මේ මානවකයා දර හා කොළ ගෙන ඒමට වනයට ගොස් ආපසු ආ කල්හි, මෙසේ විචාරමි. අද ඔබ කිනම් දෙයක් දුටුවෙහි ද? කිනම් දෙසක් කළෙහි ද? යි එවිට ඔහු අද මම මේ මේ දේ දුටිමි. මේ මේ දේ කළෙමි යි කියන්නේය. එවිට මම ඔබ දුටු කළ දේ කෙබඳුදැ යි අසන්නෙමි. එවිට ඔබ දුටු කළ දේ මෙබඳුයැ යි උපමා හා හේතු දක්වමින් කියන්නේය. මේ අනුව පඬිවරයකු කරන්නෙමි. ඉක්බිති, ගුරුතුමා ඔහු කැඳවා දරුව, මෙතැන් පටන් ඔබ දර පිණිස හෝ කොළ පිණිස ගිය තන්හි යමක් ඔබ අසන ලද ද දකින ලද ද බුදින ලද ද බොන ලද ද කන ලද ද ඒ සියල්ල මට දන්වන්නැ යි කීය.
අතවැසි ද මැනවැ යි පිළිගෙන, දිනක් දර කොළ සඳහා අනෙක් මානවයන් සමග වනයට ගියේ, සර්පයකු දැක ආපසු අවුත් ගුරුතුමන් හමුවී ගුරුතුමනි, මම සර්පයකු දුටිමි යි දැන්වීය. දරුව, සර්පයා කෙබඳු ද? ගුරුතුමනි, සර්පයා නගුලිසක් වැනිය. දරුව, ඉතා මැනවි. ඔබ ගෙනහැර දැක්වූයේ මනහර උපමාවකි. සර්පයෝ නගුළිස සමාන වෙත් මැයි. ඉක්බිති, බෝසත්හු සිතන්නාහු, මානවකයා දැක්වූයේ ගැළපෙන උපමාවකි. මොහු පණ්ඩිතයකු කිරීමට හැකියැ යි මානවකයා නැවත එක් දවසක් වනයෙහි දී ඇතකු දැක ගුරුතුමනි, මම ඇතකු දුටුවෙමි යි කීය. දරුව, ඇතා කෙබඳු වේ ද? නගුලිසක් වැනිය. දළ ආදිය ද මෙබඳු මෙබඳු වෙයි. මොහු මෝඩ බැවින් වෙන් වෙන් කොට කියන්ට නො හැකිව සොඬ සඳහා මෙසේ කීවා විය හැකියැ යි සිතා නිශ්ශබ්ද විය. නැවත එක් දවසක් ආරාධනා ලැබ ගිය තැනක දී උක් ලැබ ගුරුතුමනි, අපි අද උක් කෑවෙමු. උක් කුමක් වැනිදැ යි ඇසූ කල්හි නගුලිසක් වැනියැ යි කීය. ගුරුතුමා තරමක් ගැළපෙන සේ කීවේයැ යි නිශ්ශබ්ද විය.