2. දුම්මේධ ජාතකය (122)
“යසං ලද්ධාන දුම්මෙධොති” යන මේ දේශනාව බුදු රජහු වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, දෙව්දත් තෙරුන් අරබයා වදාළහ. දම් සභාවෙහි භික්ෂූහු ඇවැත්නි, දෙව්දත් තෙර තථාගතයන් වහන්සේගේ පුන්සඳ මඬල මෙන් ශෝභාවෙන් යුත් මුහුණ ඇති අසූවක් අනු ලක්ෂණ හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සැරසුණා වූ බඹයක් පමණ ප්රභාවෙන් වට කරන ලද ඇඹරි ඇඹරී යුගල වශයෙන් හටගත් ඝන බුදුරැස් විහිදුවන්නා වූ අතිසය ශෝභාවෙන් අග තැන්පත් ශරීරය දෙස බලා සිත පහදවා ගන්නට නො හැකි වෙයි. ඊර්ෂ්යාව ම කරයි. බුදුවරයෝ නම් මෙබඳු වූ ශීලයෙන් ද සමාධියෙන් ද ප්රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්ති ඤාණ දර්ශනයෙන් ද යුක්තයැ යි කියනු ලබන්නේ, කීර්තිය ඉවසීමට නො හැකි වෙයි. ඊර්ෂ්යාව ම කරයි යනුවෙන් දෙව්දත් තෙරුන්ගේ අගුණ කථාව ම කීහ. බුදු රජහු වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවෙන්යැ යි කී කල්හි මහණෙනි, දෙව්දත් තෙර දැන් පමණක් නොව, මගේ කීර්තිය ද කියනු ලබද්දී ඊර්ෂ්යා කළේ පෙරත් එසේ කළේයැ යි වදාරා අතීත කතාව ගෙනහැර දැක්වූහ.
පෙර මගධ රටේ රජගහ නුවර එක් මගධ රජකු රාජ්යය කැරද්දී බෝසත්හු ඇත් යෝනියෙහි ඉපදී සියලු අයුරින් සුදු වූයේ විය. යට වර්ණනා කළ පරිදි රූප සම්පත්තියෙන් යුක්ත විය. ඉක්බිති, ඒ ඇතා ලක්ෂණ සම්පත්තියෙන් මේ තෙමේ යුක්තයැ යි ඒ රජ මංගල ඇතා බවට පත් කළේය. ඉක්බිති, එක් උත්සව දිනයක මුළු නගරය ම දිව්යය නගරයක් මෙන් සරසා සියලු අලංකාරයෙන් සරසන ලද මංගල හස්තියා පිට නැඟී මහත් වූ රාජානුභාවයෙන් නගරය පැදකුණු කළේය. මහජනයා ඒ ඒ තැන සිට මඟුල් ඇතාගේ රූපයෙන් අග තැන්පත් සිරුර දැක අනේ රූපය, අනේ ගමන, අනේ ලීලාව ලකුණු සම්පත්තිය මෙබඳුය. සියලු අයුරින් සුදු වූ උතුම් ඇතා සක්විති රජ කෙනකුට සුදුසුයැ යි මඟුල් ඇතා ම වර්ණනා කරයි.
රජතුමා මඟුල් ඇතාගේ වර්ණනාව අසා ඉවසීමට නො හැකි වන්නේ ඊර්ෂ්යාව උපදවා අධම වූ පර්වත ප්රපාතයේ හෙළා මරණයට පත් කරවන්නෙමි යි ඇත් ගොව්වා කැඳවා කුමක් කොට නුඹ විසින් මේ ඇතා හික්මවන ලද්දේදැ යි කීවේය. දේවයන් වහන්ස, මනාව හික්මවන ලදි. නරකට හික්මවන ලද්දේ නො වේ. නරකට හික්මවන ලද්දේ ද? දේවයන් වහන්ස, මනාව හික්මවන ලද්දේය. ඉදින්, මනාව හික්මවන ලද්දේ නම් ඒ ඇතා වේපුල්ල පර්වතය මුදුනට නැංගවීමට හැකි වන්නෙහි ද? දේවයන් වහන්ස, එසේය. එසේ නම් එව යි තමා බැස ඇත් ගොව්වා ඇතුපිට නංවා පර්වත පාදයට ගොස් ඇත් ආචාරිවරයා ඇතුපිට සිටිය දී ම ඇතු වේපුල්ල පර්වතය මුදුනට නැඟි කල්හි තෙමේත් ඇමැති ගණයා විසින් පිරිවරනා ලද්දේ, පර්වතය මුදුනට නැඟ ඇතා ප්රපාතයට අභිමුඛ කොට නුඹ මා විසින් මේ ඇතා හික්මවන ලදැ යි කීවේය. එසේ නම් තුන් පාදයෙන් තබව යි කීවේය. ඇත් ගොව්වා පිටෙහි හිඳගෙන ම, එම්බා හස්තිය, තුන් පාදයෙන් සිටව යි ඇතාට විලුඹෙන් සංඥා දුන්නේය. හෙතෙම තුන් පාදයෙන් සිටියේය. නැවත රජතුමා ඉදිරිපස දෙපයින් තබව යි කීවේය. මහා සත්ත්වයා පසුපස දෙපස උස්සා පෙර දෙපසින් සිටියේය. පසු පස දෙපයින් සිටුව යි සිටියේය. තනි පයින් තබව යි කී කල්හි පා තුනක් ඔසවා තනි පයින් සිටියේය. ඉක්බිති, ඇතා නො වැටෙන බව දැන ඉදින්, පුළුවන් නම් අහසෙහි ඌ තබව යි කීවේය.
ඇත් ගොව්වා මෙසේ සිතුවේය. මුළු දඹදිවට මේ ඇතා හා සමාන මනාව හික්මවන ලද ඇතකු නම් නැත. නිසැකයෙන් ම මොහු මේ ඇතා ප්රපාතයට හෙළා මරනු කැමැත්තේ වන්නේ ය. ඇත් ගොව්වා ඇතාගේ කණමුලට කථාකොට, දරුව, මේ රජ නුඹ ප්රපාතයෙහි හෙලා මරනු කැමැත්තේය. නුඹ මේ රජුට සුදුසු නො වෙයි. ඉදින්, නුඹට අහසින් යන්නට බලය ඇත. මා රැගෙන අහසට පැන නැඟී බරණැසට යව යි කීවේය. පුණ්ය සෘද්ධියෙන් යුක්ත වූ මහා බෝධි සත්ත්වයෝ ඒ මොහොතෙහි ම අහසෙහි සිටියේය. ඇත් ගොව්වා මහරජතුමනි, මේ ඇතා පුණ්ය සෘද්ධියෙන් යුතුය. නුඹ වැනි මද පින් ඇති දුර්වල බුද්ධියක් ඇත්තකුට නුසුදුසුය. මද පින් ඇත්තා මෙබඳු වාහනයක් ලබා (එහි) ඒ ඇතාගේ ගුණ නො දන්නාහු. ඒ වාහනය ද සෙසු කීර්ති සම්පත්තිය ද නසා ගන්නාහුයැ යි කියා ඇතු පිට හිඳගෙන ම මේ ගාථාව කීවේය.