1. කුසනාළි ජාතකය (121)
“කරෙ සරික්ඛොති” යන මේ ජාතක දේශනාව බුදුහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අනේපිඬු මහා සිටුහුගේ දිළිඳු මිතුරකු අරබයා දෙසූහ. සිටාණන්ගේ මතු යහළු නෑසියෝ එක්ව ඔහු වෙත එළැඹ සිටුතුමනි, මේ දිළිඳු මිතුරා ජාත, ගෝත්ර, ධනධාන්ය ආදියෙන් සමාන නො වේ. ඔබට වඩා උසස් ද නො වේ. මක්නිසා ඔබ ඔහු සමග මිතු දම් පවත්වන්නෙහි ද? එසේ නො කැරව යි නැවත නැවත වැළකූහ. සිටුහු, මිතු දම් වනාහි තමාට වඩා අඩු, තමා හා සම, තමාට වඩා වැඩි හැමදෙනා සමග කළ යුතුයැ යි ඔවුන් වචනය නො පිළිගෙන තම අයබදු ගමකට යන විට ඒ දිළිඳු මිතුරා ධනය ආරක්ෂකයා ලෙස යොදවා ගියේය. මෙහි විස්තර සියල්ල කාලකණ්ණි කථා පුවතෙහි කී ලෙසින් දත යුතුයි. මෙහි අනේපිඬු සිටු විසින් තම ගෘහ ප්රවෘත්ති දන්වා සිටි කල්හි බුදු රජහු, ගැහැවිය, මිත්රයා නම් හීන නො වේ. මිතුරු දම රැකීමට හැකි බව ම ප්රමාණ වේ. මිත්රයා තමා හා සම වුව ද හීන වුව ද උසස් වුව ද පිළිගත යුතුය. ඒ සියලු මිතුරෝ ම තමා හට පැමිණි කාර්යය භාරය ඉටු කරත්මය. දැන් වනාහි ඔබගේ දිළිඳු මිතුරා නිසා ගෘහ අයිතිකරුවෙක් වූයේය. පැරණියෝ දිළිඳු මිතුරා නිසා විමනක හිමිකරුවෙක් වූයේ යි වදාරා ඔහු විසින් අයදිනා ලද බුදුහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කැරවන කල්හි බෝසත්හු රජුගේ උයනෙහි කුසනාළි පඳුරක දෙවියෙක් වී උපන්හ. එම උයනෙහි ම මඟුල් ගල් තලාව ඇසුරු කොට සෘජු ව වැඩුණු කඳින් හා ශාඛා, අනුශාඛාවලින් වට වූ රජුගෙන් පවා පූජා ලැබූ බුරුත රුකක් වෙයි. තෙළඹු ගසයැ යි ද කියයි. එහි මහානුභාව ඇති දෙවියෙක් සිටියේය. බෝසත් දෙවි ඔහු සමග මිතුරු දම් පැවැත්වීය. එකල රජු එක්ටැම් මාලිගයක විසීය. ඒ ටැඹ සෙලවිණි. ටැඹ සෙලවුණු බව රජුට දැන්වූහ. රජු වඩුවා ගෙන්වා දරුව, මගේ එක්ටැම් මඟුල් පහය සෙලවේ. හර ඇති ටැඹක් ගෙනවුත් එය නිසල කැරව. ඔහු ද දේවයිනි, මැනවැ යි පිළිවදන් දී ඒ සඳහා සුදුසු රුකක් සොයන්නේ, වෙනත් තැනක නො දැක උයනෙහි තෙළඹු ගස දැක රජු වෙත ගොස් දරුව, ඔබ විසින් සුදුසු එකක් දක්නා ලද්දේ ද? දේවයිනි, උයනෙහි ඒ සඳහා සුදුසු ගසක් දක්නා ලදි. එහෙත් එය කැපීමට අපි අපොහොසත් වෙමු. මක්නිසා ද ඒ රජුගේ මංගල වෘක්ෂයයි. එවිට රජු යවු. ඒ ගස කපා පහය නිසල කැරවු. වෙනත් මංගල වෘක්ෂයක් කරමු. වඩුවෝ ගස මුල බලි පූජා කොට හෙට දිනයෙහි ගස සිඳිමු යි නික්ම ගියහ.
රුක් දෙවි මෙකරුණ දැන මගේ විමන හෙට නසින්නේය. දරුවන් ගෙන මම කොහි යම්දැ යි යා යුතු තැනක් නො දැක කුඩා දරුවන් ගෙළෙහි එල්ලා ගෙන හැඬීය. දෙවියාගේ යහළු වූ රුක් දෙවියෝ වන දෙවියෝ අවුත් කාරණය කිම්දැ යි විචාරා කරුණ දැන ඔවුහු ද වඩුවන් වළක්වන උපායක් නො දැන හඬන්ට පටන් ගත්හ. එකල බෝසත්හු රුක් දෙවියා බලන්නෙමු යි එහි අවුත් කාරණය අසා එසේ වේවා. මම වඩුවන්ට ගස සිඳීමට ඉඩ නොදෙමි. හෙට වඩුවන් ආ කල මා කරන ක්රියාව බලවු යි, ඒ දෙවියා අස්වසා දෙවැනි දවසෙහි ගස කැපීමට වඩුවන් ආ කල කටුසු වේශයක් ගෙන ඔවුන් ඉදිරියෙන් ම ගොස් මංගල වෘක්ෂයේ මුල් අතරට ගොස් ඒ ගස කඳ තුළ සිදුරක් මෙන් පෙන්වා කඳ මැදින් ගොස් ගස් කඳ මුදුනින් නික්ම හිස සොලවමින් සිටියේය. මහවඩුවා ඒ කටුස්සා දැක අතින් ගසට ගසා මේ සිදුරු සහිත ගසකි. හරයක් නැත. ඊට අපි තතු නො දැන බලිපූජා කළෙමු යි හරවත් මහගසට නින්දා කොට ගියහ. මෙසේ රුක් දෙවියා බෝසතුන් නිසා විමානයට හිමිකරු විය.