9. මඛාදේව ජාතකය (9)
“උත්තමඞ්ගරුහා මය්හං” යන මෙය බුදුරදහු දෙව්රමෙහි වැඩ වසනුයේ මහා අභිනිෂ්ක්‍රමණය අරබයා වදාළහ. ඒ පුවත යට නිදාන කථාවෙහි කියන ලදමය. ඒ කාලයෙහි භික්ෂූහු බුදුරදුන්ගේ ගිහිගෙන් නික්මීම වනමින් හුන්නාහුය. බුදුරදහු දම්සභාවට වැඩමවා බුදු අසුනෙහි හිඳ මහ සඟන ඇමතූහ. මහණෙනි, දැන් කවර කථාවක් කරමින් සිටියාහුද? ස්වාමීනි අන් කථාවක් නොව ඔබවහන්සේගේ ගිහිගෙන් නික්මීම වනමින් හුන්නෙමු. මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් මහබිනික්මන් කළාහු නො වෙති. පෙර ද නික්මුනාහුමයැ යි වදාළහ. භික්ෂූහු එම අරුත පැහැදිලි කරනු සඳහා බුදු රදුන් අයැදියහ. බුදු රජහු භවාන්තරයෙන් වැසුණු කරුණ ප්‍රකට කොට වදාළහ.
පෙර විදේහ රට මිථිලා නුවර මඛාදේව නම් රජකු විය. ඔහු දැහැමි රජෙකි. ඔහු වසර සූඅසූ දහසක් කුමාර ක්‍රීඩා කළේය. එපමණ කලක් යුව රජය ද එපමණ කලක් ම මහරජය ද කොට දිගුකලක් ගෙවා දිනක් කරණවෑමියා ඇමතීය. යහළුව, කපුව, යම් දවසක මගේ හිසෙහි පැසුණු කෙස් දක්නේ නම් මට දන්වනු. කපුවා ද දිගු කලක් ගෙවා එක් දවසක් අඳුන්වන් කෙස් අතර පැසුණු කෙසක් දැක “දේවයනි, එක් පැසුණු කෙසක් පෙනේයැ යි සැලකළේය. එ සේ නම් යහළුව, ඒ නර කෙස උදුරා මගේ අල්ලේ තබනු යි කියනු ලැබුයේ රන් අඬුවෙන් උදුරා රජුගේ අල්ලෙහි තැබීය. එතැන් සිට රජුට සූඅසූදහසක් අවුරුදු ඉතිරි ව තිබුණේය. එසේ තිබියදීත් නර කෙස දැක, මරුවා අවුත් ඉදිරියෙහි සිටියාක් මෙන් ද ගිනිගත් පන්සලකට පිවිසියාක් මෙන් ද සිතමින් සංවේගයට පැමිණ, බොළඳ මඛාදේවයනි, කෙස් පැසෙන තුරුත් ඔබට කෙළෙස් අත්හරින්ට නො හැකි වූවෙහියැ යි සිතී.
මෙසේ රජු නර කෙස් හටගත් බව සිතත් සිතත් ම ඇතුළත දාහය හටගනී. සිරුරින් ඩහදිය වැගිරිණි. ඇඳි පිළි මිරිකා ඉවත් කළ යුතු ආකාරයට පත්විය. අද ම නික්මී පැවිදි විය යුතුයැ යි කරණවෑමියාට ලක්ෂයක් උපදනා ගම්වරයක් දී දෙටු පුතු කැඳවා දරුව, මගේ හිසෙහි නර කෙස් පහළ විය. මම මහල්ලෙක් වීමි. මවිසින් මිනිස් ලොව කම් සැප විඳින ලදි. දැන් දෙව් ලොව කම් සැප සොයන්නෙමි. ගිහිගෙයින් නික්මීමට දැන් කාලයයි. ඔබ මේ රාජ්‍යය කරවන්න. මම පැවිදි වී මේ මඛාදේව අඹ වනයෙහි වෙසෙමින් මහණ දම් පුරන්නෙමි යි කීය. මෙසේ මහණ වනු කැමති ඔහු වෙත ඇමැතියෝ පැමිණ දේවයන්වහන්ස, ඔබවහන්සේට පැවිදි වීමට කුමක් හේතු වීදැ යි විමසූහ. රජු පැසුණු කෙස් අතින් ගෙන ඇමැතියන්ට මේ ගාථව කීය.
“උත්තමඞ්ගරුහා මය්හං ඉමෙ ජාතා වයොහරා,
පාතු භූතා දෙවදූතා පබ්බජ්ජාසමයො මමාති”
පාතු භූතා දෙවදූතා පබ්බජ්ජාසමයො මමාති”
“මගේ වයස පැහැර ගන්නා නරකෙස් හටගනී. මේ දේවදූතයෝ පහළ වූහ. මට පැවිදි වීමට කාලයයි.”
එහි “උත්තමඞ්ගරුහා” යනු කෙස්ය. කෙස් නම් අත් පා ආදි අනෙක් අඟපසඟයන්ට වඩා උසස් වූ හිසෙහි වැඩුණු බැවින් “උත්තමඞ්ගරුහා” යැයි කියනු ලැබේ. “ඉමෙ ජාතා වයොහරා” යනු දරුවනි, බලන්න. නර කෙස් පහළ වූ බැවින් ත්‍රිවිධ වයස් (බාල, තරුණ, මහලු) පැහැර ගන්නා හෙයින් මේ නෙම් “වයොහරා” නමි. “පාතු භූතා” යනු උපන්නේය. “දෙවදූතා” හි දේව නම් මරුවාය. ඔහුගේ දූතයා දේවදූත නමි. හිසෙහි නර කෙස් පහළ වූ කල්හි මරුවාගේ ළඟ සිටියාක් මෙන් වෙයි. එම නිසා නර කෙස් මාරයාගේ දූතයන්යැ යි කියනු ලැබේ. දෙවියන් වැනි දූතයන් දේවදූත නමි. මෙසේ සිව්බරණින් සැරසුණු දේවතාවියක අහසෙහි සිට අසවල් දවසෙහි මිය යන්නේයැ යි කී කල්හි ඒ එසේම වෙයි. එසේ හිසෙහි නරකෙස් පහළ වූ කල්හි එය දේවතාවියකගේ ප්රකාශනයක් හා සමාන වෙයි. එම නිසා නරකෙස් දෙවියන් සමාන දූතයන්යැ යි කියනු ලැබේ. විසුද්ධි දෙවියන්ගේ දූත යන අරුතින් ද දේවදූත නමි. සියලු බෝසත්වරු මහල්ලකු, රෝගියකු, මළ සිරුරක්, පැවිද්දකු යන පෙරනිමිති දැක සංවේගය පැමිණ යහනෙන් නික්ම පැවිදි වෙත්. එහෙයින් කීහ.