10. සුඛවිහාරි ජාතකය (10)
“යඤ්ච අඤ්ඤෙ න රක්ඛන්ති” යන මේ ජාතකය බුදු රජහු අනුපිය නගරය ඇසුරු කොට අනුපිය අඹ වනයෙහි වැඩ වසන සේක්, සැප විහරණ ඇති භද්දිය තෙරණුවන් අරබයා වදාළහ. සැප විහරණ ඇති භද්දිය තෙරණුවෝ, ක්ෂත්රීයයන් සය දෙනාගේ සමාගමයෙහි උපාලි සත් වැනි කොට පැවිදි වූහ. ඔවුනතුරෙන් භද්දිය තෙර, කිම්බිල තෙර, භගු තෙර, උපාලි තෙර යන තෙරවරු රහත් වූහ. අනඳ තෙරණුවෝ සෝවාන් වූහ. අනුරුද්ධ තෙරණුවෝ දිවැස් ඇත්තෙක් වූහ. දෙව්දත් තෙර ධ්යාන ලාභියකු විය. මේ සය ක්ෂත්රීයන්ගේ කථා පුවත අනුපිය නගරය දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි පහළ වන්නේය. ආයුෂ්මත් භද්දිය තෙරණුවෝ රජ කරන කල්හි තමා රැකීම සඳහා ආරක්ෂක සංවිධාන යොදා තිබියදීත් බොහෝ රැකවලුන් විසින් තමා රකිනු ලබද්දීත් උඩු මහළෙහි මහා යහනෙහි පෙරළෙමින් සිටියදීත් තමා බියට පත් වූ බව ද දැන් රහත් බව පැමිණ වන සෙනසුන් ආදියෙහි කොතැනක හැසිරෙන්නේ වුව ද පහ වූ බිය ඇති බව ද සම්මර්ෂණය කරන්නේ අහෝ සැපයි, අහෝ සැපයි යැයි උදන් ඇනූහ. මේ ඇසූ භික්ෂූහු භද්දිය තෙරණුවෝ විරුද්ධ දෙයක් ප්රකාශ කරතැයි බුදුරදුන් සැල කළහ. බුදුරදහු මහණෙනි, භද්දිය සුඛවිහාරී වූයේ දැන් පමණක් නො වේ. පෙර ද සුඛවිහාරී වූයේයැ යි වදාළහ. භික්ෂූහු එඅරුත පැහැදිලි කරනු, බුදුරදුන් අයැදියහ. බුදුරදහු භවාන්තරයෙන් වැසී ගිය මෙපුවත ප්රකට කළහ.
පෙර බරණැස් නුවර බඹදත් රජ රාජ්යය කරවන කල්හි බෝසතාණෝ උසස් බමුණු මහසල් කුලයෙහි ඉපිද කාමයන්හි ආදීනව ද පැවිද්දෙහි අනුසස් ද දැක හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව අට සමවත් ඉපදවීය. ඔහුට පන්සියයක් පමණ තවුස් පිරිවර විය. ඔහු වැසි කාලයෙහි හිමවතින් නික්ම තවුස් සමූහයා පිරිවරාගෙන ගම් නියම්ගම් ආදියෙහි හැසිරෙමින් බරණැසට පැමිණ රජු ඇසුරුකොට රජ උයනෙහි වාසය කළේය. වැසි සාරමස එහි වැස රජු විමසීය. එවිට රජතුමා ස්වාමීනි, දැන් ඔබවහන්සේ මහළුය. හිමවතෙහි විසීමෙන් ප්රයෝජනය කුමක් ද? අතවැස්සන් හිමවතට යවා ඔබවහන්සේ මෙහි ම වසන්නැ යි අයැදීය. බෝසතාණෝ පන්සියයක් තවුසන් දෙටු අත වැසියාට පවරා යන්න. මොවුන් හිමවතෙහි වසන්න. මම මෙහි ම වසන්නෙමි යි ගුවනින් යවා එහි ම විසීය.
ඒ දෙටු අතවැසියා රජ කුලයෙන් පැවිදි වූවෙකි. මහාරාජ්යයක් අතහැර කසිණු පිරියම් කොට අට සමවත් ලැබූවකු විය. ඔහු තවුසන් සමග හිමවතෙහි වසන්නේ එක් දවසක් ගුරුතුමන් දකිනු කැමැත්තැතිව තවුසන් අමතා ඔබලා උකටලී නොව මෙහි ම වසන්න. මම ගුරුතුමන් වැඳ ආපසු එන්නෙමි යි ගුරුන් වෙත ගොස් වැඳ පිළිසඳර කථා කොට තණ ඇතිරියක් අතුරා ගුරුන් සමීපයේ ම හොත්තේය. එසමයෙහි ම රජතුමා තාපසයන් දකිමි යි උයනට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය. අතවැසි තවුසා රජු දැක නො නැගිට හුන් අයුරින් ම වැද හොත්තේ, ඉතා සැපයි. අනේ සැපයියැ යි උදන් ඇනීය. රජතුමා මේ තවුසා මා දැක නො නැගිට්ටේයැ යි නො සතුටුව බෝසතුන්ට කීය. ස්වාමීනි, මේ තවුසා හැකිතාක් කා උදන් අනන්නේ විය යුතුය. උදන් අනමින් සැප විහරණය ම කරන්නේය. මහරජ, මේ තවුසා පෙර ඔබ මෙන් රජකු විය. ඒ ඔහු පෙර ගිහි කල මම රජසිරි විඳිමින් අවිගත් බොහෝ දෙනා විසින් රකිනු ලබන්නේ වුව ද මෙබඳු සැපයක් නො ලැබුවෙමි යි තමාගේ පැවිදි සැපය අරබයා මේ උදන් අනතැ යි කියා බෝසත්හු රජුට ධර්ම කථාවක් කීමට මේ ගාථාව ප්රකාශ කළහ.
“යඤ්ච අඤ්ඤෙ න රක්ඛන්ති යො ච අඤ්ඤෙ න රක්ඛති,
ස වෙ රාජ සුඛං සෙති කාමෙසු අනපෙක්ඛවාති”
ස වෙ රාජ සුඛං සෙති කාමෙසු අනපෙක්ඛවාති”