8. ගාමණී ජාතකය (8)
“අපි අතරමානාන” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසමින් වීර්යය අත්හළ භික්ෂුවක් අරබයා දේශනා කළහ. මේ ජාතකයෙහි වත්මන් කථාව ද ඉකුත් කථාව ද එකොළොස් වැනි නිපාතයෙහි සංවර ජාතකයෙහි වන්නේය. කථාව එහි ද මෙහි ද එක සමානය. ගාථා පමණක් වෙනස් වේ. ගාමිණී කුමරා බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා සොහොයුරන් සියයකට කනිටු වී ඒ සොහොයුරන් පිරිවරා සේසත යට උතුම් පළඟෙහි හිඳ තම යසස හා සම්පත් බලා මගේ මේ සියලු යස සම්පත මගේ ගුරුතුමා සතුයැ යි සතුටු ව මේ උදානය (සතුටු වාක්යය) ප්රකාශ කළේය.
“අපි අතරමානානං ඵලාසාව සමිජ්ඣති,
විපක්කබ්රහ්මචරියොස්මි එවං ජානාහි ගාමණී”
විපක්කබ්රහ්මචරියොස්මි එවං ජානාහි ගාමණී”
“නුවණැත්තන්ගේ අවවාදයෙහි පිහිටා නො ඉක්මන් ව කටයුතු කරන්නන්ගේ පවා ඵල ආශාව, ප්රාර්ථනා ඉටු වේ. මම මුහුකුරා ගිය බ්රහ්ම චර්යාව ඇත්තෙමි. ගාමිණිය, මෙසේ දනුව.”
එහි “අපි” යනු නිපාත මාත්රයකි. “අතරමානානං” යනු පඬුවන්ගේ උපදෙසෙහි පිහිටා ඉක්මන් නොවී උපායෙන් කටයුතු කරන්නන්ය. “ඵලාසාව සමිජ්ඣති” යනු යම් සේ පතන ලද ඵලයෙහි ආශාව, එය ලැබීමෙන් ඉටුවේ ම ය. එහි “ඵලාසාව” යනු ආශා ඵලය පතන ලද පරිදි ඉටුවීම අර්ථයයි. “විපක්ක බ්රහ්මචරියොස්මි” යන මෙහි සතර සංග්රහ වස්තු, උසස් චර්යාව නිසා බ්රහ්මචරිය නමි. එය ද ඊට මුල් වූ සම්පත ලැබූ බැවින් මුහුකුරා ගියා වේ. ඔහුට යම් කීර්තියක් ලැබුණේ ද එය ද උසස් යන අර්ථයෙන් බ්රහ්මචරිය නමි. එහෙයින් කීය. මුහුකුරා ගිය බ්රහ්මචරිය ඇත්තේ වෙමි. “ත්වං ජානාහි ගාමණී” සමහර තැනක ගම් වැසියා ද ගම් දෙටුවා ද ගාමිණී නමි. මෙහි දී සියලු ජන නායක වූ තමා සඳහා කීය. එම්බා ගාමිණිය, ඔබ මේ කරුණු මෙසේ දනුව. ඔබ ඇදුරා නිසා සොහොයුරන් සියයක් ඉක්මවා මේ මහා රාජ්යයට පැමිණියේ වෙමි යි උදන් ඇනීය.
ඔහු රාජ්යයට පැමිණි කල්හි සත් අට දිනක් ඇවෑමෙන් සියලු සොහොයුරෝ තම තමන්ගේ වාසස්ථානයන්ට ගියාහුය. ගාමිණී රජ දැහැමෙන් රාජ්යය කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය. බෝසත්හු ද පින් කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් ප්රකාශ කළහ. ඒ කෙළවර හළ වීර්යය ඇති ඔහු රහත් ඵලයෙහි පිහිටියේය. බුදුරදහු දෙසුමක් කියා අනුසන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළ සේක.
9. මඛාදේව ජාතකය (9)
“උත්තමඞ්ගරුහා මය්හං” යන මෙය බුදුරදහු දෙව්රමෙහි වැඩ වසනුයේ මහා අභිනිෂ්ක්රමණය අරබයා වදාළහ. ඒ පුවත යට නිදාන කථාවෙහි කියන ලදමය. ඒ කාලයෙහි භික්ෂූහු බුදුරදුන්ගේ ගිහිගෙන් නික්මීම වනමින් හුන්නාහුය. බුදුරදහු දම්සභාවට වැඩමවා බුදු අසුනෙහි හිඳ මහ සඟන ඇමතූහ. මහණෙනි, දැන් කවර කථාවක් කරමින් සිටියාහුද? ස්වාමීනි අන් කථාවක් නොව ඔබවහන්සේගේ ගිහිගෙන් නික්මීම වනමින් හුන්නෙමු. මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් මහබිනික්මන් කළාහු නො වෙති. පෙර ද නික්මුනාහුමයැ යි වදාළහ. භික්ෂූහු එම අරුත පැහැදිලි කරනු සඳහා බුදු රදුන් අයැදියහ. බුදු රජහු භවාන්තරයෙන් වැසුණු කරුණ ප්රකට කොට වදාළහ.