7. කට්ඨහාරි ජාතකය (7)
“පුත්තො ත්‍යාහං මහාරාජා” යන මේ ජාතකය බුදුරදහු දෙව්රමෙහි වැඩ වසන්නෝ වාසභ ඛත්තියා නම් කුමරියගේ කථාව අරබයා දේශනා කළහ. වාසභඛත්තියාගේ කථා පුවත දොළොස් වැනි නිපාතයේ භද්දසාල ජාතක කථාවෙහි එන්නේය. ඕ වනාහි මහානාම ශාක්‍ය රජුගේ දියණියකි. නාගමුණ්ඩා නම් දාසියගේ කුස උපන්නීය. කොසොල් රජුගේ අග මෙහෙසිය වූවාය. ඕ රජුට දාව පුතකු වැදුවාය. රජතුමා පසුව ඇයගේ දාසිභාවය දැන අග මෙහෙසි තනතුරින් පිරිහෙළීය. පුත් වූ විඩූඩභ කුමරුගේ ස්ථානය ද පිරිහෙළීය. දෙදෙනා ම රජමැදුර තුළ ම වෙසෙති. බුදු රජහු මේ කරුණ දැන, පෙරවරුයෙහි පන්සියයක් සඟුන් පිරිවරා රජ මැදුරට වැඩමවා, පනවනලද අසුනෙහි වැඩහිඳ, මහා රජ, වාසභඛත්තියා කොහි ද? රජතුමා එපුවත් සැල කෙළේය. මහා රජ, වාසභ ඛත්තියා කවරකුගේ දියණියක් ද? ස්වාමීනි, මහානාමගේය. කවරකු උදෙසා මෙහි පැමිණියා ද? ස්වාමීනි, මා උදෙසාය. එසේ නම් මහ රජ, මෝ තොමෝ රාජ දියණියකි. රජකු උදෙසා ම පැමිණියාය. ඔබට ම දාව පුතකු ද ලැබුවාය. එම පුත්‍රයා පිය සතු රාජ්‍යයට හිමියෙකු නො වන්නේ කුමක් නිසා ද? පෙර රජවරු එකෙණෙහි බිරිය බවට පත්, දර ගෙනයන්නියගේ කුසෙහි ඉපදුනු පුතුට ද රාජ්‍යය දුන්හ. කොසොල් රජතුමා මෙම පුවත හෙළිදරව් කිරීම පිණිස බුදුරදහු අයැද සිටියේය. බුදුරදහු භවාන්තරයෙන් වැසුණු කරුණ ප්‍රකට කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජ මහත් යසසින් උයනට ගොස් එහි මල් ගෙඩි කෙරෙහි ලොබින් උයන් වන ලැහැබෙහි හැසිරෙන්නේ උයන් වන ලැහැබෙහි ගී ගයමින් දර නෙළන ගැහැනියක දැක, ඇය පිළිබඳ සිත් ඇතිව සංවාසය කෙළේය. එකෙණෙහි ම බෝසතාණෝ ඇය කුස පිළිසිඳ ගත්හ. ඒ සමග ම ඇගේ කුස වීදුරු පිරුණාක් මෙන් බර විය. ඇය දරු ගැබක් පිහිටි බව දැන දේවයිනි, මා කුස දරු ගැබක් පිහිටියේය. රජතුමා ඇඟිලි මුදුවක් දී, ඉදින් දුවක් නම් මෙය වියදම් කොට පෝෂණය කරව. පුත්‍රයකු නම් මා වෙත ගෙන එවයි කියා සිටියේය.
ඕ තුමූ ද මුහුකුරා ගිය ගැබ් ඇත්තී බෝසතුන් බිහි කළාය. ඔහු දුව පැන හැසිරෙන කල්හි කෙළි මඬලෙහි සෙල්ලම් කරන්නහු මෙසේ කියන්නෝ වෙත්. පියා නැත්තා විසින් පහරන ලද්දෝ වෙමු. ඒ ඇසූ බෝසත්හු මව වෙත ගොස් මෑණියනි, මගේ පියා කවරෙක් ද? දරුව, ඔබ බරණැස් රජුගේ පුත්‍රයාය. මෑණියනි, ඒ සඳහා කිසියම් සාක්‍ෂියක් ඇත්තේ ද? රජ මේ මුද්ද දී ඉඳින් දුවක වූයේ නම් මෙය වියදම් කොට පෝෂණය කරන්නැ යි ද පුතෙක් වී නම් මේ මුදුව සමග තමා වෙත ගෙන එන්නැ යි ද කියා ගියේය. එසේ නම් මා පියා ළඟට නො පමුණුවන්නේ ඇයි? පුතුගේ අදහස දැනගත් ඇය පුතු සමග රජ දොරටුව වෙත ගොස් තමා පැමිණි බව දන්වා සිටියාය. රජු විසින් කැඳවන ලද්දී, එවිට රජුන් වැඳ දේවයිනි, මේ ඔබතුමාගේ පුත්‍රයායැ යි කීවාය. රජතුමා දන්නේ නමුදු පිරිස් මැද ලජ්ජාවෙන් මගේ පුත්‍රයකු නො වේයැ යි කීය. දේවයිනි, මේ ඔබතුමන්ගේ ඇඟිලි මුදුවයි. එය හඳුනන්නහුදැ යි ඇසුවාය. මේ මුදුව ද මගේ නො වේ. දේවයිනි, දැන් මට සත්‍යය ක්‍රියාව හැර වෙන සාක්‍ෂියක් නැත. ඉදින් මේ දරුවා ඔබතුමා නිසා උපන්නේ නම් අහසෙහි සිටීවා. එ සේ නොවේ නම් බිම වැටී මැරේවා යි බෝසතුන් පාදයෙන් ගෙන අහසට විසි කළාය. බෝසතාණෝ අහසෙහි පළක් බැඳ හුන්නේ මිහිරි හඬින් තම පියාට දම් දෙසන්නේ මේ ගාථාව දෙසූහ.
“පුත්තො ත්‍යාහං මහාරාජ ත්‍වං මං පොස ජනාධිප,
අඤ්ඤෙපි දෙවො පොසෙති කිඤ්ච දෙවො සකං පජන්ති”
“මහරජතුමනි, මම ඔබතුමාගේ පුත්‍ර වෙමි. ජන නායකතුමනි, ඔබතුමා මා පෝෂණය කරනු මැනවි. දේවයන් වහන්සේ සේවකාදී අන්‍යයන්ද පෝෂණය කරයි. සිය පුත්‍රයා පෝෂණය නො කරන්නේ මන්ද?”
එහි “පුත්තො ත්‍යාහ” යනු, මම ඔබගේ පුත්‍රයා වෙමි. පුත්‍රයා වනාහි, අත්‍රජ, ඛෙත්තජ අන්තෙවාසික, දින්නක වශයෙන් සිව් ආකාරය. එහි, තමා නිසා උපන්නේ අත්‍රජ නමි. යහන මත, පළඟ මත, ළය මත ආදී තන්හි උපන්නේ ඛෙත්තජ නමි. ඇසුරෙහි සිප්සතර හදාරන්නේ අන්තෙවාසික නමි. පෝෂණය කරනු සඳහා දෙන ලද්දේ දින්නක නමි. මෙහි දී අත්‍රජ පුත්‍රයා සඳහා කියන ලදි. සතර සංග්‍රහ වස්තුවෙන් ජනයා සතුටු කෙරේනුයි රාජ නමි. මහත් වූ රාජයා, මහරාජ නමින් අමතන්නේ මහා රාජයැ යි කීය. “ත්‍වං මං පොස ජනාධිප” යනු ජනපතිතුමනි, - දනදෙටුතුමනි, ඔබතුමා මා පෝෂණය කරනු මැනවි. නඩත්තු කැමැති නම් වර්ධනය කරනු මැනවි යන්නයි. “අඤ්ඤෙපි දෙවො පොසෙති” යනු අනෙක් ඇත්ගොව් ආදී මිනිසුන් ද ඇත්, අස් ආදී තිරිසනුන් ද වෙනත් බොහෝ ජනයා ද පෝෂණය කරයි යන්නයි. “කිඤ්ච දෙවො සකං පජං” මෙහි “කිඤ්ච” යන්න නින්දා අරුතෙහි ද අනුග්‍රහ අරුතෙහි ද නිපාත පදයකි. ඔබතුමාගේ පුත්‍රයකු වූ මා දේවයන්වහන්සේ පෝෂණය කරතැ යි කියත් ම, අනුග්‍රහ කැරේ නම් වෙයි. බෝසත්හු මෙසේ නින්දා කැරෙමින් ද අනුග්‍රහ කැරෙමින් ද “කිඤ්ච දෙවො සකං පජං” යනුවෙන් කීහ.
බෝසතාණන් අහසෙහි සිට මෙසේ දහම් දෙසනු අසා රජතුමා දරුව, එනු මැන. මම ම ඔබ පෝෂණය කරමි යි අත දිගු කළේය. දහස් ගණන් අත් දිගු කෙරිණ. බෝසතාණෝ අනිකකුගේ අතට නොබැස රජුගේ අතට ම බැස ඇකයෙහි හිඳගත්හ. රජතුමා ඔහු යුවරජ පදවිය දී මව අග මෙහෙසිය කළේය. හේ පියරජු ඇවෑමෙන් කට්ඨවාහන නමින් රජ වී දැහැමෙන් රාජ්‍යය කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය.
බුදුරදහු කොසොල් රජුට මේ කථාව ගෙනහැර දක්වා අනුසන්ධි ගලපා ජාතක කතාව නිම කළහ. එකල මව නම් මහාමායා වූවාය. පියතුමා සුද්ධෝදන මහ රජ විය. කට්ඨවාහන රජ මම ම වීමි.
8. ගාමණී ජාතකය (8)
“අපි අතරමානාන” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසමින් වීර්යය අත්හළ භික්‍ෂුවක් අරබයා දේශනා කළහ. මේ ජාතකයෙහි වත්මන් කථාව ද ඉකුත් කථාව ද එකොළොස් වැනි නිපාතයෙහි සංවර ජාතකයෙහි වන්නේය. කථාව එහි ද මෙහි ද එක සමානය. ගාථා පමණක් වෙනස් වේ. ගාමිණී කුමරා බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා සොහොයුරන් සියයකට කනිටු වී ඒ සොහොයුරන් පිරිවරා සේසත යට උතුම් පළඟෙහි හිඳ තම යසස හා සම්පත් බලා මගේ මේ සියලු යස සම්පත මගේ ගුරුතුමා සතුයැ යි සතුටු ව මේ උදානය (සතුටු වාක්‍යය) ප්‍රකාශ කළේය.