6. දේවධර්ම ජාතකය (6)
“හිරිඔත්තප්ප සම්පන්නා” යන මෙම ජාතකය බුදු රජහු දෙවුරම් වෙහෙර වැඩ වසමින් එක්තරා බහුභාණ්ඩික (බොහෝ සිවුරු, පිරිකර ඇති) භික්ෂුවක් අරබයා දේශනා කළහ. සැවැත් නුවර වැසි කෙළඹියෙක් බිරිය මළ කල්හි පැවිදි විය. ඔහු පැවිදි වන විට ම තමා සඳහා පන්සලක් ද ගිනිහල් ගෙයක් ද බඩු ගබඩාවක් ද කරවා, එය ගිතෙල්, සහල් ආදියෙන් පුරවා තබා පැවිදි විය. පැවිදි වූ පසුත් තමාගේ දාසයන් කැඳවා කැමැති පරිදි ආහාර පිසවා වළඳයි. බොහෝ සිවුරු පිරිකර ඇත්තෙකු ද විය. රාත්‍රී කාලයෙහි එක් අඳනයක් සහ සිවුරක් ද දවල් කල වෙනත් අඳන සිවුරු පරිභෝග කරයි. විහාර කෙළවර වෙසෙයි. දිනක් සිවුරු ඇතිරිලි ආදිය පිටතට ගෙන මළුවෙහි අතුරා වියලන කල්හි දනව් වැසි බොහෝ භික්ෂූහු සේනාසන චාරිකාවෙන් හැසිරෙන්නාහු එතනට පැමිණ, සිවුරු දැක මේවා කාගේදැ යි ඇසූහ. බහු භාණ්ඩික තෙරණුවෝ මගේයැ යි කීහ. ඇවැත්නි, මේ සිවුරත්, මේ සිවුරත්, මේ අඳනයත්, මේ අඳනයත්, මේ ඇතිරිල්ලත්, මේ ඇතිරිල්ලත් ඔබගේ මද? එසේය. මගේමැ යි ඇවැත්නි, බුදුරදුන් විසින් චීවරය (සිවුරු තුනක්) අනුදන්නා ලදි. ඔබ අපිස් බුදු සසුනෙහි පැවිදි ව මෙසේ බොහෝ පිරිකර ඇත්තෙක් වූවෙහි. එනු මැනවි. ඔබ බුදුරදුන් වෙත ගෙනයමුයි ඔහුත් රැගෙන බුදුරදුන් වෙත ගියහ.
බුදුරදුන් ඔවුන් දැක මහණෙනි, අකැමැත්තෙන් ම මේ භික්ෂුව කැඳවා ගෙන ආවෝද? ස්වාමීනි, මේ භික්ෂුව බහු භාණ්ඩිකය. බොහෝ පිරිකර ඇත්තේය. මහණ, ඔබ බහුබාණ්ඩික වූයේ ඇත්තද? ස්වාමීනි, ඇත්තයි. මහණ, ඔබ කුමක් නිසා බහු භාණ්ඩික වූවෙහිද? මම අල්පේච්ඡ බවෙහි, ලද දෙයින් සතුටුවන බවෙහි -පෙ- බවුන් වැඩීමෙහි වීර්යය වැඩීමෙහි ගුණ වනන්නේ නොවෙම්ද? බහු භාණ්ඩික භික්ෂුව එබස් අසා කිපුණේ, මම මේ අයුරින් සිටින්නෙමි යි පොරොවා සිටි සිවුරු හැරදමා පිරිස් මැද එක් සිවුරකින් පමණක් සිටියේය.
ඉක්බිති, බුදුරදහු භික්ෂුවට පිටිවහල් වෙමින් මහණ, ඔබ පෙර ලජ්ජා බය සොයන්නෙකු ව දිය රකුසෙකු ව සිටි කාලයේ පවා හිරිඔතප් සොයමින් දොළොස් අවුරුද්දක් විසුවේ නොවේද? දැන් මෙවැනි උසස් බුදු සසුනෙහි පැවිදි ව සිවු පිරිස් මැද පොරවනා සිවුර ඉවත දමා ලජ්ජා බය හැර මක්නිසා සිටිහිද? භික්ෂුව බුදුවදන් අසා, හිරිඔතප් උපදවා සිවුර පොරවාගෙන බුදුරදුන් වැඳ එකත් පසෙක හුන්නේය. භික්ෂූහු එපුවත හෙළිදරවු කරනු පිණිස බුදුරදුන් අයදියහ. උන්වහන්සේ භවාන්තරයෙන් වැසුණු කරුණු හෙළිදරවු කළ සේක.
පෙර කසී රට බරණැස් නුවර බඹදත් නම් රජෙකු විය. එකල බෝසතාණෝ රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්හ. නම් තබන දිනයෙහි ඔහුට මහිංසාස කුමාර යි නමක් තැබූහ. ඔහු ඈතමෑත දුවපැන ඇවිදින කල රජුට තවත් පුතෙක් උපන. ඔහුට චන්ද කුමාර යි නමක් තැබූහ. ඔහු ඔබිමොබ දුවපැන ඇවිදින කළ බෝසත් මව කලුරිය කළාය. රජ අන් කතක් අග මෙහෙසි තනතුරෙහි තැබීය. ඇය රජුට ඉතා ප්‍රිය මනාප වූවාය. ඇය හා ප්‍රිය සංවාසය නිසා තවත් පුතකු වැදුවාය. ඔහුට සූරිය කුමාර යි නමක් තැබූහ. රජ පුත්‍රයා දැක සතුටු වූයේ සොඳුර, ඔබගේ පුත්‍රයාට වරයක් දෙමි යි කීය. දේවිය වරය කැමැති කාලයක ගතයුතු දෙයක් කොට තැබුවාය. කුමරා සුදුසු විය පත්වෙත්ම දේවයන් විසින් මපුතු උපන් කල වරයක් දෙන ලද්දේ නොවේද? මගේ පුත්‍රයාට රාජ්‍යය දෙනු මැනවැ යි කීවාය. රජ මගේ පුත්‍රයෝ දෙදෙන ගිනිකඳන් මෙන් බබලමින් සිටිති. ඔබ පුතුට රාජ්‍යය දිය නොහැකියැ යි ප්‍රතික්ෂේප කොට ඇය නැවත නැවතත් ඇවිටිලි කරනු දැක මැය මාගේ පුතුන්ට නපුරක් කැරතැයි සිතා, දරුවනි, මම සූරිය කුමරා උපන් කල වරයක් දුනිමි. දැන් ඔහුගේ මව තම පුතුට රාජ්‍යය ඉල්ලීය. මම සූරිය කුමරාට රාජ්‍යය දෙනු කැමැත්තේ නොවෙමි. මාගම්හු නමි පවිටුය. ඔබලාට නපුරක් විය හැකිය. ඔබලා වනයට ගොස් මා ඇවෑමෙන් කුල සන්තක රාජ්‍යය කරනු මැනවැ යි කියා හඬා වැලප, හිස සිඹ, පිටත් කැර හැරියේය. ඔවුන් දෙදෙනා පියා වැඳ, පහයෙන් බසින කල්හි රජ මිදුලෙහි සෙල්ලම් කරමින් සිටි සූරිය කුමාරයා ද ඔවුන් යන බව දැන මමත් සොහොයුරන් සමග යමි යි ඔවුන් සමග නික්මුණේය. ඔවුහු හිමවතට පිවිසියහ.