5. තණ්ඩුලනාළි ජාතකය (5)
“කිමග්ඝති තණ්ඩුලනාළිකා” මෙය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නේ ලාලුදායි නම් තෙරණුවන් අරබයා දේශනා කළහ. එකල්හි ආයුෂ්මත් දබ්බමල්ල පුත්ත තෙරණුවෝ සංඝයාගේ භත්තුද්දේසක (සඟබත් නියම කරන) වූහ. උන්වහන්සේ උදය කාලයෙහි සලාකබත් නියම කරන කල්හි ලාලුදායි තෙරණුවන් දිනක උසස් බතක් ද දිනක පහත් බතක් ද ලැබෙයි. පහත් බතක් ලැබූ දිනයෙහි උන්වහන්සේ සලාක බෙදන ගෙය තුළ අවුල් ඇති කරයි. කිම, සලාක බෙදිය හැක්කෝ දබ්බමල්ල තෙරණුවෝද? අපි නොහැකි වන්තයෝ වෙමුද? උන්වහන්සේ සලාක බෙදන ගෙය ආකූල කරත් ද දබ්බමල්ල තෙරණුවෝ එසේ නම් ඔබ ම සලාක බෙදවයි සලාක පැන් දුන්හ. එතැන් පටන් ලාලුදායි තෙරණුවෝ සංඝයාට සලාක බෙදති.[missing trans]
[missing trans] ඒ අසා බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් විමසූහ. ආනන්ද, සලාක බෙදන ගෙහි මහත් කෝලාහලයකි. මේ කිනම් ශබ්දයක්ද? තෙරුන්වහන්සේ බුදුන් වහන්සේට ඒ අර්ථය දැන්වූහ. ආනන්ද, ලාලුදායි තමාගේ අඥානබව නිසා අනුන්ගේ ලාභයට හානි කරන්නේ දැන් පමණක් නොවේ. පෙර ද කළේදැ යි වදාළහ. තෙරුන්වහන්සේ ඒ බව හෙළිදරවු කරන ලෙස බුදුන්වහන්සේගෙන් අයැද සිටියහ. බුදුන්වහන්සේ භවාන්තරයෙන් වැසුණු කරුණ පැහැදිලි කළ සේක.
පෙර කසී රට බරණැස් නුවර බඹදත් නම් රජෙක් විය. එකල්හි අප මහ බෝසතාණන් ඒ රජුගේ තක්සේරුකරු විය. ඇත්, අස් ආදීන් මෙන් ම මැණික් රන් ආදිය ද අගය කරවීය. අගයකරුවා භාණ්ඩ හිමියන්ට භාණ්ඩානුරූපව ම මිල දෙවීය. රජ ලොහොබියෙකි. ලෝභ ස්වරූපය නිසාම මෙසේ සිතී. මේ තක්සේරුකරු මෙසේ අගය කරවන කල්හි මාගේ රජමැදුරෙහි ධනය නොබෝ කලකින් ම ක්ෂය වන්නේය. අනිකකු තක්සේරුකරු කරන්නෙමැ යි සිහමැදුරු කවුළුව හැර රජමිදුල දෙස බලන්නේ එක් අඳබාල ගැමි මිනිසකු රජමිදුලෙන් යනු දැක, මොහු මගෙ තක්සේරු කිරීමේ කාර්යය කිරීම සමතකැ යි ඔහු කැඳවා, එම්බල, අපගේ තක්සේරු කිරීමේ කාර්යය කරන්න හැක්කේදැ යි ඇසීය. දේවයනි, හැකි වෙමි. රජතුමා තම ධනය ඉතිරි කැර ගැනීම පිණිස ඒ මෝඩයා තක්සේරු කිරීමේ කාර්යයෙහි තැබීය. එතැන් පටන් ඒ මෝඩ මිනිසා ඇත්, අස් ආදීන් අගය කරන විට අගය අඩුකොට තමා කැමැති පරිදි කරයි. ඔහු තනතුරෙහි සිටි නිසා ඔහු යමක් කියයි ද ඒ මිලම වෙයි.
එකල උතුරු දෙසින් අස් වෙළෙන්දෙක් අසුන් පන්සියයක් ගෙන ආවේය. රජතුමා ඒ මිනිසා ගෙන්වා අසුන්ට මිල නියම කරවීය. ඔහු අසුන් පන්සියය ම එක් සහල් නැළියකට මිල කරවා, අස් වෙළෙඳාට එක් සහල් නැළියක් දෙන ලෙස අණකොට, අසුන් අස්හල තැබීය. අස් වෙළෙන්දා පැරණි තක්සේරුකරු වෙත ගොස් මෙපුවත සැලකොට දැන් කුමක් කළ යුතුදැ යි විචාළේය. ඔහු මෙසේ කීය. තක්සේරුකරු වෙත ගොස් ඔහුට අල්ලසක් දී මෙසේ අසව. අපගේ අස් මිල සහල් නැළියක් මිල බව දන්නා ලද්දේය. ඒ සහල් නැළියේ අගය ඔබගෙන් දැනගනු කැමැත්තෙමු. එම සහල් නැළිය මෙතෙක් අගීයැ යි රජු ඉදිරියේ සිට ඒ සහල් නැළිය මෙපමණක් ඇගීයැ යි ප්රකාශ කිරීමට හැකිදැ යි අසනු. ඔහු හැකියැ යි කිවහොත් ඔහුත් සමග රජු වෙත යන්න. මම ද එහි එන්නෙමි.
අස් වෙළෙන්දා යහපතැ යි බෝසතුන්ගේ වචනය පිළිගෙන තක්සේරුකරුට අල්ලසක් දී එපවත් දැන්වීය. තක්සේරුකරු අල්ලස ලැබී, සහල් නැළිය මිල කරන්ට හැකිබව කීය. එසේ නම් රජ කුලයට යමු යි ඔහු රැගෙන රජු වෙත ගියේය. බෝසතාණෝ ද තවත් බොහෝ ඇමතියෝ ද ගියහ. අස් වෙළෙන්දා රජුන් වැඳ දේවයනි, පන්සියයක් අසුන් එක් සහල් නැළියක් අගනා බව දන්නෙමි. ඒ සහල් නැළිය කොතෙක් අගීදැ යි තක්සේරුකරුගෙන් අසනු මැනැව. රජතුමා ඒ පුවත නොදන්නේ එම්බල තක්සේරුකරුව, අසුන් පන්සියය කොතෙක් අගී ද? දේවයිනි, සහල් නැළියකි. එම්බා තක්සේරුකරුව, අසුන් පන්සියයකගේ මිල සහල් නැළියක් වේවා, ඒ සහල් නැළියේ මිල කොතෙක්දැ යි කියව. ඒ මෝඩ පුරුෂයා ඇතුළත පිටත සහිත බරණැස් පුරවරය සහල් නැළියක් වටීදැ යි කීවේය. පළමු ඔහු රජුට පක්ෂපාතීව පන්සියයක් අසුන් සහල් නැළියට අගය කළේය. නැවත වෙළෙන්දාගෙන් අල්ලස් ලැබ සහල් නැළිය ඇතුළත පිටත සහිත බරණැස් නුවරට අගය කෙළේය.රජතුමනි, අශ්වයන්ගේ මිල වූ සහල් නැළිය කොපමණ අගීදැ යි කියනු මැනව. (අස් වෙළෙන්දා රජුට කීය.) රජු විසින් විමසනු ලැබූ තක්සේරුකරු මේ සහල් නැළිය ඇතුළත පිටත (නුවර ගම් නියංගම් සහිත) බරණැස් නුවරම අගනේයැ යි කීය. එකල බරණැස වටකොට බැඳි පවුර දොළොස් යොදුනක් වේ. මේ එහි ඇතුළතයි. පිටත වනාහි තිස් යොදුන් රටකි. ඒ මෝඩයා මේ සා මහත් ඇතුළත පිටත සහිත බරණැස එකම සහල් නැළියකට මිල කළේය.