4. චුල්ලසෙට්ඨි ජාතකය (4)
“අප්පකෙනපි මෙධාවී” යන මේ ධර්ම දේශනය බුදුරදහු රජගහ නුවර ඇසුරුකොට ජීවක අඹ වනයෙහි වැඩ වසන්නාහු චුල්ලපන්ථක තෙරුන් අරබයා වදාළහ.
එහි දී චුල්ලපන්ථක තෙරුන්ගේ උත්පත්ති කථාව කිව යුතුය. රජගහනුවර ධනසිටු කුලයෙහි දියණිය තම සේවකයා සමග මිත්‍ර වී අන්‍යයන් මෙය දැන ගනීතියැ යි බියපත් ව මෙසේ කීවාය. අපට මෙහි විසීමට නො හැකිය. මගේ මව්පියෝ මේ දෝෂය දැනගන්නාහු නම් කැබලි කැබලි කරන්නාහුය. විදේශයකට ගොස් වසන්නෙමු යි අතින් ගෙන යා හැකි ධනය ගෙන ප්‍රධාන දොරටුවෙන් නික්ම කිසිවකු නො දන්නා තැනට ගොස් වසන්නෙමු යි දෙදෙනා ම ගියාහුය.
එක්තැනක ඔවුන්ගේ සංවාසය නිසා ඇගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඇය ගැබ මෝරායත් ම හිමියා සමග රහසින් කථා කොට මගේ දරු ගැබ මුහුකුරා ගියේය. නෑසියන් නැති තැන දරු ප්‍රසූතිය අප දෙදෙනාට ම දුකක් මය. එම නිසා කුල ගෙයකට යමු යි කීවේය. ඔහු ද අද හමු යි හෙට යමු යි දවස් ඉක්මවීය. ඈ මෙසේ සිතුවාය. මේ නුවණ මද තැනැත්තේ තම වරද මහත් බැවින් ගමනට උනන්දු නො වේ. මව්පියෝ වනාහි ඒකාන්තයෙන් හිතැත්තෝය. මොහු ගියා හෝ නොගියා හෝ මා යා යුතුය. හිමියා ගෙයින් බැහැර වූ කල්හි ගෘහ භාණ්ඩ සකසා තබා තමා සිය ගෙදරට ගියබව අසල්වැසියන්ට දන්වා මඟට පිළිපන්නාය.
ඉක්බිති ඒ පුරුෂයා ගෙට ආකල්හි ඇය නොදැක අසල්වැසියන්ගෙන් විමසා සියගෙට ගියේයැ යි අසා වේගයෙන් ලුහුබැඳ අතරමග දී මුණගැසුණි. එහි දී ම ඇයට දරු ප්‍රසූතිය විය. සොඳුර මේ කුමක්ද? හිමියනි, පුතෙක් උපන. දැන් කුමක් කරන්නෙමු ද? අපි යම් අරමුණකින් සිය ගෙට යන්නමුද? එම කරුණ අතරමග දී ම සිදුවිය. දැන් එහි යාමෙන් කවර ප්‍රයෝජනයක් ද? ආපසු යමු යි දෙදෙනා ම එක්සිත් ව ආපසු ආවාහුය. එම දරුවාට මඟෙහි උපන් බැවින් පන්ථක යි නම් කළහ. ඇයට නොබෝ කලකින් තවත් ගැබක් පිහිටියේය. සියල්ල පෙර මෙන් විස්තර කළ යුතුය. ඒ දරුවාට ද අතරමඟ උපන් බැවින් චුල්ල පන්ථක යි නම් කළහ. ඒ දරුවන් දෙදෙනා ද රැගෙන තම වාසස්ථානයට ම පැමිණියහ.
මෙසේ ඔවුන් එහි වසන කල්හි අන් දරුවන් සුළු පියා, මුත්තා, මිත්තණිය ආදී කියනු අසා මවගෙන් විමසීය. මෑණියනි, අන් දරුවෝ සුළු පියා, මුත්තා, මිත්තණිය ආදී වශයෙන් තෙපලත්. අපට නෑයෝ නැද්ද? එසේය දරුව, ඔබලාට මෙහි නෑයන් නැත. රජගහනුවර ධන සිටුවරයා නම් ඔබලාගේ මුත්තාය. එහි ඔබලාට බොහෝ නෑයන් ඇත. මෑණියනි, කුමක් නිසා එහි නොයමුද? ඇය තමා නොයන කාරණය පුතණුවන්ට කියා, දරුවන් නැවත නැවතත් ඇවිටිලි කරන්නේ සැමියා අමතා, මේ දරුවෝ බෙහෙවින් වෙහෙසට පත්වෙති. අප මව්පියෝ අප දැක අප මස් කත්ද? එන්න, දරුවන්ට මුත්තාගේ ගෙය පෙන්වන්නෙමු යි කීවාය. එවිට සැමියා, මට ඔවුන් ඉදිරියේ සිටින්න නොහැක්කෙමි. ඔබ එතැනට පමුණුවන්නෙමි. මැනවි හිමියනි, කවර අයුරකින් හෝ මුත්තණුවන්ගේ ගෙය පෙන්වීම සුදුසුය. දෙදෙන දරුවන් රැගෙන පිළිවෙලින් රජගහනුවර පැමිණ නුවරදොර ශාලාවක නවාතැන් ගෙන, දරුවන්ගේ මව දරු දෙදෙනා සමග පැමිණි බව මව්පියන්ට දැන්වූවාය.