3. සේරිවාණිජ ජාතකය (3)
“ඉධ චෙහි නං විරාධෙසී” යනු මේ දම් දෙසුම බුදුරදහු සැවැත්නුවර වෙසෙමින් එක් හළ වීර්යය ඇති භික්‍ෂුවක් අරබයා වදාළහ. ඔහු ද පෙර මෙන් භික්‍ෂූන් විසින් පමුණුවනු ලද්දහු දැක “මහණ, ඔබ මෙබඳු මඟඵල ගෙනදෙන සසුනෙහි පැවිදි ව වීර්යය අත්හරින්නේ ලක්‍ෂයක් වටිනා රන් තැටියෙන් පිරිහුණු සේරිවාණිජයා මෙන් බොහෝ කලක් ශෝක කරන්නේයැ”යි වදාළහ. භික්‍ෂූහු එකරුණු හෙළිදරවු කිරීම සඳහා බුදු රජුන්ගෙන් ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ භවාන්තරයෙන් වැසීගිය මේ කරුණ ප්‍රකට කළහ.
පෙර මෙයින් පස් වැනි කප බෝසතාණෝ සේරිව නම් රට කච්ඡපුට (උරහිසේ දමා ගෙනයන (කිසිල්ලට යටින්) බඩු පොදිය) වෙළෙන්දෙක් විය. ඔහු සේරිවා නම් ලෝභී කච්ඡපුට වෙළෙන්දෙක් සමග නීලවාහිනි නම් ගඟන් එතරව අන්ධපුර නම් නගරයට පිවිසෙන්නේ නගර වීථිවල හැසිරුණේය. බෙදාගෙන තම තමන්ට ලැබුණු වීථියෙහි බඩු විකුණමින් හැසිරුණේය. අනෙක් වෙළෙන්දා ද තමාට ලැබුණු වීථිය ගත්තේය. එම නගරයෙහි එක් සිටු කුලයක් පිරිහීමට පත්ව සිටියේය. එම කුලයෙහි පුත්‍රයාගේ සොහොයුරන් ද ධනය ද පිරිහී ගියේය. එක් දැරියක් මිත්තණිය සමග ඉතිරිවූවාය. ඒ දෙදෙනාම අනුන්ට බැල මෙහෙවරකොට ජීවත් වෙති. ඔවුන්ගේ ගෙදර මහා සිටුවරයා පරිභෝජනය කරන ලද රන්තැටිය භාජන අතරෙහි දමන ලදුව බොහෝ කලක් පරිභෝග නොකළ බැවින් මළ බැඳුණේ විය. ඔව්හු එය රන්බඳුනක් බව ද නොදනිති. ඒ ලෝභී වෙළෙන්දා එවෙලෙහිම “වළලු ගන්න වළලු ගන්න” යැයි කියමින් එම ගෙදරට පැමිණියේය. ඒ දැරිය ඔහු දැක මිත්තණියනි, මට පළඳනාවක් ගෙන දෙන්නයැ යි කීවාය. දියණිය, අපි දුප්පත් වෙමු. කුමක් දී ගන්නෙමු ද? අපට මේ තැටියක් ඇත්තේය. එයින් අපට ප්‍රයෝජනයක් ද නැත. මෙය දී ගන්නෙමැ යි ඈ වෙළෙන්දා කැඳවා අසුනෙක හිඳුවා ඒ තැටිය දී මහතාණෙනි, මේ තැටිය ගෙන මේ ඔබගේ නැගණියට කිසියම් දෙයක් දෙනු මැනවැ යි කීවාය. වෙළෙන්දා තැටිය අතින් ගෙන රන් බඳුනක් යැයි පෙරළා තැටියේ අඩියෙහි ඉඳිකටුවෙන් ඉරක් ඇඳ රන්බඳුනක් බව දැන මොවුන්ට කිසිවක් නොදීම රන්බඳුන ගෙනයන්නෙමි යි සිතා මෙහි කිසිම වටිනාකමක් නැත. මුදලින් අඩමසක් වත් නොවටී යි කියා බඳුන බිම දමා හුනස්නෙන් නැගී ගියේය. එකකු පිවිස නික්මුණු වීථියට අනිකාට පිවිසීමට ඉඩ ඇතැ යි බෝසත්තු එම වීථියට පිවිස “වළලු ගන්න, වළලු ගන්න” යැයි කියමින් හැසිරෙන්නේ එම ගෙයට ම පැමිණියහ.
නැවතත් ඒ දැරිය මිත්තණියට එපරිදි ම කීවාය. දරුව, පළමු පැමිණි වෙළෙන්දා තැටිය බිමදමා ගියේය. දැන් කුමක් දී ගන්නේදැ යි කීවාය. මිත්තණිය, පළමු වෙළෙන්දා රළු බස් ඇත්තේය. මේ වෙළෙන්දා වනාහි දැකුම්කළුය. මිහිරි තෙපුල් ඇත්තේය. ඔහු මෙය ගන්නේ නම් මැනවි. එසේ නම් ඔහු කැඳවන්න. ඈ වෙළෙන්දා කැඳවූවාය. ගේතුළට අවුත් හිඳගත් ඔහුට තැටිය දුන්හ. ඔහු ඒ රන්බඳුනක් බව දැන මෑණියනි, මේ තැටිය ලක්‍ෂයක් අගනේය. මෙයට පොහෝනා බඩු මා ළඟ නැතැ යි කීවේය. මහතාණෙනි, පළමු ආ වෙළෙන්දා මෙය අඩමසක්වත් නොවටනේයැ යි බිම දමා ගියේය. ඔබගේ පිනින් මෙය රන්වූවා වෙයි. මෙය අපි ඔබට දෙමු. අපට කිසියම් දෙයක් දී රැගෙන යනු මැනව. බෝසතාණෝ එවිට තමා අත තිබූ කහවණු පන්සියයක් ද පන්සියයක් වටිනා සියලු භාණ්ඩ ද දී මට මේ තුලාව ද පසුම්බිය ද කහවණු අටක් ද දෙනුමැනවැ යි ඉල්ලාගෙන ගියේය. ඔහු ඉක්මණින් ම ගංතෙරට ගොස් නැවියාට කහවණු අට දී නැවට නැංගේය.
ඉක්බිති ලෝභී වෙළෙන්දා නැවත ගෙදරට ගොස් තැටිය ගෙන එනු. සුළු දෙයක් දෙමි යි කීවේය. ඇය, ඔහුට බැණ ඔබ අපගේ ලක්‍ෂයක් වටිනා රන් තැටිය අඩමස්සක් වත් අගය නොකළෙහිය. ඔබගේ ස්වාමියා හා සමාන දැහැමි වෙළෙන්දෙක් අපට දහසක් දී එය රැගෙන ගියේයැ යි කීවාය. ඒ අසා සුවහසක් වටිනා රන් පතින් පිරිහුනෙමි. මට මෙය මහත් හානියක්යැ යි හටගත් බලවත් සෝකයෙන් සිහි එළවා ගැනීමට නොහැකිව උමතුව, තමා අත තිබූ කහවණු ද භාණ්ඩ ද ගෙය ඉදිරිපිට විසුරුවා හැඳි පොරෝනා වස්ත්‍ර හැරදමා තුලා දඬුකඩ මුගුරක් කොටගෙන බෝසතුන් ගිය පියසටහන් අනුව පිටත්වූයේ ගංතෙරට ගොස් යන්නාවූ බෝසතුන් දැක එම්බා තොටිය, නැව ආපසු ගෙනෙන්නැ යි කීවේය. බෝසත්හු නොනවත්වනුයැ යි වැළැක්වීය. අනෙක් වෙළෙන්දාට යන්නාවූ බෝසතුන් දකිත් ම බලවත් ශෝකයක් ඇති විය. ළය උණුසුම් විය. මුඛයෙන් රුධිරය නික්මිණි. වැවක මඩමෙන් හදවත පැළී ගියේය. ඔහු බෝසතුන් කෙරෙහි වෛර බැඳ එහිදී ම මරණයට පත්විය. මෙය බෝසතුන් කෙරෙහි දෙව්දත් තෙරුන්ගේ පළමු වැනි වෛර බැඳීමයි. බෝසතාණෝ දානාදී පින්කම් කොට කම්වූ පරිදි පරලොව ගියේය.