9. කුහ සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයෙහි කුහා යනු (අදාළ කාරණයට) සමීපව කතා කිරීම් ආදී වශයෙන් කුහන වස්තුවෙන් නැති ගුණ පෙන්වීම, නැති ගුණයට ගරුකරවා ගැනීමේ ආසාවෙන් කුහකකම් කොට අනුන් පුදුමයට පත්කරන්නා වූ (පුද්ගලයෝ) යන අර්ථයි. ථද්ධා යනු ක්‍රෝධයෙන් ද මානයෙන් ද තද වූ සිත් ඇත්තා වූ (පුද්ගලයෝ) ‘කොධනො හොති - උපායාස බහුලො අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති, කුප්පති බ්යාපජ්ඣති, පතිත්ථියති’ ‘ක්‍රෝධ කරන්නෙක් වෙයි. සිත්තැවුල් බහුලකොට ඇත්තේ වෙයි, ස්වල්පයක් කියන ලද්දේ වුව ද කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි යනුවෙන් මෙසේ කියන ලද ක්‍රෝධයෙන් ද ‘දුබ්බචො හොති -දොවචස්ස කරණෙහි ධම්මෙහි සමන්නාගතො අක්ඛමො අප්පදක්ඛිණග්ගාහී අනුසාසනිං’ දුර්වච වූවෙක් වෙයි. දුර්වචභාවය ඇතිකරන කරුණුවලින් යුක්ත වූයේ වෙයි, නො ඉවසන්නේ වෙයි, අනුසාසනාව ගරුකොට නොපිළිගන්නේ වෙයි’ යනුවෙන් මෙසේ කියන ලද දුර්වච භාවයෙන් ද ජාතියෙන් මත්වූයේ, ගෝත්‍රයෙන් මත්වූයේ, ශිල්පයෙන් මත්වූයේ, නිරෝබවෙන් මත්වූයේ, තරුණ බවෙන් මත්වූයේ, ජීවිතයෙන් මත්වූයේ යනුවෙන් මෙසේ කියන ලද ජාතිමදාදී භේද ඇති මදයෙන් ද ගරුකටයුතු ගුරුවරුන් කෙරෙහි උසස්ම අයුරින් ගරුනොකොට යකඩ කූරක් ගිලගෙන සිටියාක් මෙන් නොනැමෙන බවින් යුතුව හැසිරෙන්නා වූ. ලපා යනු චාටුබස් කියන්නා වූ, මිථ්‍යාජීව වශයෙන් පවුල්වලට (කුලවලට) සංග්‍රහ කරන්නා වූ, (චීවරාදී) ප්‍රත්‍යය පිණිස යෙදුණු වචන වශයෙන් ද ලාභසත්කාරාදිය පිණිස අනුන්ට දොස්කීම් වශයෙන් ද චාටුබස් කියන්නා වූ (පුද්ගලයෝ) යන අර්ථයි.
සිංගී යනු ‘තත්ථ කතමං සිංගං? යං සිංගං සිංගාරතා චාතුරතා චාතුරියං පරික්ඛත්තතා පාරික්ඛත්තියං’ ‘එහි සිංග’ යනු කුමක්ද? යම් කෙලෙස් අඟක්, ශෘංගාර (නාගරික) බවක්, චතුර (දක්ෂ) බවක්, චාතුර්යයක්, දැඩි ශෘංගාර බවක්, බලවත් ශෘංගාර බවක් වේද, යනුවෙන් මෙසේ කියන ලද අං සමාන ප්‍රකට කෙලෙස්වලින් යුක්ත වූ (පුද්ගලයෝ). උන්නළා යනු උඩට ගිය බට ගස් බට සමාන හිස් මානය ඔසවා හැසිරෙන්නා වූ (පුද්ගලයෝ) අසමාහිතා යනු හිතේ එකඟකමක් පමණවත් නොලබන්නා වූ (පුද්ගලයෝ). න මෙ තෙ භික්ඛවෙ භික්ඛූ මාමකා යනු ඒ භික්ෂූහු මගේ නොවෙති, මා සමීපයෙහි නොවෙති. ‘මය්හං’ ‘මගේ’ යන මෙය තමන් වහන්සේ උදෙසා පැවිදි වූ බැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී. යම්හෙයකින් ඔවුහු කුහනාදිය යෙදීමෙන් මනාකොට නොපිළිපන්නාහුද එහෙයින් ‘න මාමකා’ යනුවෙන් කියන ලදී. අපගතා යනු ඉදින් ඔවුහු මගේ සසුනෙහි පැවිදි වූවාහු වුව ද අවවාදයට අනුව නොපිළිපැදීමෙන් මේ ධර්ම-විනයෙන් ඉවත් වූවාහුමය. ඔවුහු මේ සාසනයෙන් ඉතාමත් දුර සිටියාහුයයි දක්වයි. එය කියන ලද්දේමය -
නභඤ්ච දූරෙ පඨවී ච දූරෙ
පාරං සමුද්දස්ස තථාහු දූරෙ
තතො හවෙ දූරතරං වදන්ති
සතඤ්ච ධම්මං අසතඤ්ච රාජා’ති
පාරං සමුද්දස්ස තථාහු දූරෙ
තතො හවෙ දූරතරං වදන්ති
සතඤ්ච ධම්මං අසතඤ්ච රාජා’ති
මහරජ, අහස ද දුරය. පොළොව ද දුරයයි (අහසට පොළොව දුරයයි) කීහ. සමුදුරට එගොඩ දුරයයි (මෙගොඩට එගොඩ දුරයයි) කීහ. සත්පුරුෂ ධර්මයට අසත්පුරුෂ ධර්මය ඊටත් වඩා දුරයයි කියති යනුවෙනි.
වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති යනු සීලාදී ගුණවලින් වර්ධනය වීම් වශයෙන් වෘද්ධියට, එහි නිශ්චල භාවයෙන් විරූළ්හියට හැමතැනම පැතිරුණු බැවින් සීලාදී ධර්මස්කන්ධ පරිපූර්ණ වීමෙන් වෙපුල්ලයට න ච තෙ ඒ කුහක ආදී ස්වභාව ඇති භික්ඛූ භික්ෂූහු නො පත් වෙති. නොපැමිණෙත් යන අර්ථයි.
තෙ ඛො මෙ භික්ඛවෙ භික්ඛූ මාමකා යන මෙහි ද ‘මෙ’ යනු තමන් වහන්සේ උදෙසා පැවිදි වූ බැවින් කියති. මනාව පිළිපන් හෙයින් ‘මාමකා’ යනුවෙන් කීහ. කියන ලද ආකාරයට වෙනස් ලෙසින් කුසල පක්ෂය දතයුතුය. එහි අර්හත් මාර්ගය තෙක් ‘විරූහන්ති’ නම් වේ. අර්හත්ඵලයට පත්කල්හි විරූළ්හියට වෙපුල්ලයට පැමිණියාහු නම් වෙත්. ගාථා මනාව දතහැකිමය.
නවවන සූත්‍රයයි.
10. පුරුෂප්රියරූප සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයෙහි සෙය්යථාපි යනු උපමා දක්වන අර්ථයෙහි නිපාතයකි. යම්සේ යන අර්ථයි. නදියා සොතෙන ඔවුය්හෙය්ය යනු වේගවත් සැඩපහරින් ගෙනයන ගංගා ජලයේ වේගයෙන් යටින් ගෙනයන්නේය, පහළට ගෙනයනු ලැබේ. පියරූප සාතරූපෙන යනු ප්‍රිය ස්වභාවය ද මධුර ස්වභාවය ද හේතුකොටගෙන, ඒ ගඟෙහි හෝ ගඟෙන් එගොඩ හෝ මැණික් රන් ආදී අනිත් ප්‍රිය වස්තුවක් හෝ මිහිරි උපකරණයක් හෝ ඇත. එය ගන්නෙමියි ගඟට වැටී සැඩපහරින් ඇදගෙන යනු ලැබේ. කිඤ්චාපි යනු අනුදැනීමෙහි (අනුමතයෙහි) සම්භාවනා (වර්ණනා) නොකිරිමෙහි නිපාතයකි. කුමක් අනුදනියි ද? කුමක් ගරු නොකරයි ද? ඒ පුරුෂයා විසින් අදහස් කළ ප්‍රිය වස්තුව එහි ඇති බව අනුමත කරයි. (පිළිගනියි) එසේ යාම ආදීනව (දොස්) ඇති බැවින් වර්ණනා නොකරයි. ‘පින්වත් පුරුෂය, ඉදින් ඔබ විසින් අදහස් කළ ප්‍රිය වස්තුව එහි ඇතත් මෙසේ යාමෙහි මේ ආදීනවයයි. ඔබ යට ඇති විලට පැමිණ මරණයට හෝ මරණය හා සමාන යම් දුකකට හෝ පැමිණෙන්නෙහිය’යන මෙය කියන ලද්දේ වෙයි.
අත්ථි චෙත්ථ හෙට්ඨා රහදො යනු ඒ ගංගාව යට (පහළ) සැඬපහර ඇති කොටසෙහි අතිශයින් ගැඹුරු වූ ද පළල් වූ ද එක් මහාවිලක් ඇත. එය ද හාත්පසින් වාත පහරින් නැගුණු මැණික් පර්වතකුට සමාන වූ මහත් රැළිවලින් සඌමි රැළි සහිත වූ. විසම භූමි ප්‍රදේශවල වේග සහිතව ඇතුළට වදින මේ නදියෙහි මහත් වූ සැඩපහරින් තැන තැන පෙරළෙන මහත් වූ ජලය ඇති බැවින් වඩබාග්නිය සමාන සුළි සහිත වූ යන අරුතින් සාවට්ටො. ඒ විලට බැසගත් සත්ත්වයන්ම තමාගේ නිබඳ ආමිස ලෙස ගොදුරු කොට වසමින් අතිශය භයානක දර්ශන ඇති ඝෝර සිත් ඇති දියරකුසකු විසින් සගහො සරක්ඛසො සගහ, සරක්ඛස වූ. සැඩමසුන් මෝරුන් සහිත වූ හෙයින් හෝ ‘සගහ’ වෙයි. කියන ලද ආකාර ඇති රකුසා සහිත වූ හෙයින් හෝ ‘සරක්ඛස’ වෙයි.