10. පුරුෂප්රියරූප සූත්ර වර්ණනාව
දසවන සූත්රයෙහි සෙය්යථාපි යනු උපමා දක්වන අර්ථයෙහි නිපාතයකි. යම්සේ යන අර්ථයි. නදියා සොතෙන ඔවුය්හෙය්ය යනු වේගවත් සැඩපහරින් ගෙනයන ගංගා ජලයේ වේගයෙන් යටින් ගෙනයන්නේය, පහළට ගෙනයනු ලැබේ. පියරූප සාතරූපෙන යනු ප්රිය ස්වභාවය ද මධුර ස්වභාවය ද හේතුකොටගෙන, ඒ ගඟෙහි හෝ ගඟෙන් එගොඩ හෝ මැණික් රන් ආදී අනිත් ප්රිය වස්තුවක් හෝ මිහිරි උපකරණයක් හෝ ඇත. එය ගන්නෙමියි ගඟට වැටී සැඩපහරින් ඇදගෙන යනු ලැබේ. කිඤ්චාපි යනු අනුදැනීමෙහි (අනුමතයෙහි) සම්භාවනා (වර්ණනා) නොකිරිමෙහි නිපාතයකි. කුමක් අනුදනියි ද? කුමක් ගරු නොකරයි ද? ඒ පුරුෂයා විසින් අදහස් කළ ප්රිය වස්තුව එහි ඇති බව අනුමත කරයි. (පිළිගනියි) එසේ යාම ආදීනව (දොස්) ඇති බැවින් වර්ණනා නොකරයි. ‘පින්වත් පුරුෂය, ඉදින් ඔබ විසින් අදහස් කළ ප්රිය වස්තුව එහි ඇතත් මෙසේ යාමෙහි මේ ආදීනවයයි. ඔබ යට ඇති විලට පැමිණ මරණයට හෝ මරණය හා සමාන යම් දුකකට හෝ පැමිණෙන්නෙහිය’යන මෙය කියන ලද්දේ වෙයි.
අත්ථි චෙත්ථ හෙට්ඨා රහදො යනු ඒ ගංගාව යට (පහළ) සැඬපහර ඇති කොටසෙහි අතිශයින් ගැඹුරු වූ ද පළල් වූ ද එක් මහාවිලක් ඇත. එය ද හාත්පසින් වාත පහරින් නැගුණු මැණික් පර්වතකුට සමාන වූ මහත් රැළිවලින් සඌමි රැළි සහිත වූ. විසම භූමි ප්රදේශවල වේග සහිතව ඇතුළට වදින මේ නදියෙහි මහත් වූ සැඩපහරින් තැන තැන පෙරළෙන මහත් වූ ජලය ඇති බැවින් වඩබාග්නිය සමාන සුළි සහිත වූ යන අරුතින් සාවට්ටො. ඒ විලට බැසගත් සත්ත්වයන්ම තමාගේ නිබඳ ආමිස ලෙස ගොදුරු කොට වසමින් අතිශය භයානක දර්ශන ඇති ඝෝර සිත් ඇති දියරකුසකු විසින් සගහො සරක්ඛසො සගහ, සරක්ඛස වූ. සැඩමසුන් මෝරුන් සහිත වූ හෙයින් හෝ ‘සගහ’ වෙයි. කියන ලද ආකාර ඇති රකුසා සහිත වූ හෙයින් හෝ ‘සරක්ඛස’ වෙයි.
යං යනු මෙසේ බියසහිත වූ යම් විලක්. අම්භො පුරිස යනු ආලපනයයි. මරණං වා නිගච්ඡසි යනු ඒ දියරැළිවලින් වසා පැතිර සිටි හෝ ඒ සුළිවලට වැටුණේ හිස ඔසවන්නට නොහැක්කේ ඒ සැඬ මසුන් මකරාදීන්ගේ මුඛයෙහි වැටුණේ ඒ දියරකුසාගේ අතට පත්වූයේ මරණයට හෝ යයි. නැතහොත් ආයුෂ ඉතිරිව ඇති කල්හි එයින් මිදී ඉවතට යන්නේ ඒ රැළි ආදියෙන් උපන් ගැටීම් වශයෙන් මරණමත්තං මරණය පමණ වූ දුකට පැමිණෙයි. පටිසොතං වායමෙය්ය යනු හෙතෙම පෙර සැඬපහරට අනුව පහළට යන්නේ ඒ පුරුෂයාගේ වචනය අසා මට අයහපතක් පැමිණියේලු. මම මරුකටට පෙරළෙම්ලුයි උපන් බලවත් භය ඇත්තේ කැරකෙමින් උත්සාහය දෙගුණකොට හත්ථෙහි චපාදෙහි ච වායමෙය්ය (අත්වලින්ද පාවලින් ද උත්සාහ කරන්නේය) තරණය කරන්නේය. නොබෝ වේලාවකින්ම වෙරළට පැමිණෙන්නේය.
අත්ථස්ස විඤ්ඤාපනාය යනු චතුස්සත්ය අවබෝධයට අනුකූල වූ අර්ථයේ අවබෝධය පිණිස උපමාවක් කරන ලදී. අයඤ්චෙත්ථ අත්ථො යනු යම් කරුණක් අවබෝධ කරවනු පිණිස උපමාවක් ගෙනෙන ලද ද මෙහි දැන් කියනු ලබන මා විසින් අදහස් කරන ලද උපමෙය අර්ථය මෙයමය.
තණ්හායෙතං අධිවචනං යන මෙහි සතර ආකාරයකින් තණ්හාව, සැඩදිය පහරට සමාන බව දතයුතුයි. අනුපිළිවෙලින් විශාල වීම් වශයෙන් ද නොකැඩී පැවතීම් වශයෙන් ද ගිලාබැස්සීම් වශයෙන් ද එතෙරවීමට අපහසුවීම් වශයෙන් ද යනුවෙනි.
1. ඉහළ මහවැසි ඇදහැලුණු විට ජලය පර්වත, කඳුරු, පැල්ම ශාඛා පුරවා එයින් බැස කුඩා වලවල් පුරවා එයින් බැස කුඩා නදී පුරවා එයින් මහා නදීන්ට වැටී එක දියපහරක් වී පැවතීම නදීසැඩපහර යයි කියනු ලැබේ. එසේම ආධ්යාත්මික බාහිරාදි වශයෙන් නොයෙක් භේද ඇති රූපාදී අරමුණුවල ලෝභය ඉපදී අනුපිළිවෙළින් විශාලවීමට යන්නේ තණ්හා සෝත යයි කියනු ලැබේ.
2. යම්සේ ගංගා සැඩපහර පැමිණීමේ (ආරම්භයේ) සිට මුහුදට වැටෙනතුරු කැඩීයාමකට හේතුවක් නැති බැවින් නොසිඳී නොකැඩී පැවතීම් වශයෙන් පවතී ද, මෙසේ තණ්හා සැඬපහර ද ආරම්භයේ පටන් කැඩී යාමකට හේතුවක් නැති කල්හි නොකැඩී අපාය සමුදුරට මුහුණලා නොකැඩී පැවතීමෙන් පවතී.
3. යම්සේ ගංගා සැඬපහර, සැඬපහර ඇතුළට ගිය සත්ත්වයන් ගිලා බස්සයි ද හිස ඔසවන්නට නො දෙයි ද මරණයට හෝ මරණයට සමාන දුකකට හෝ පමුණුවයි ද මෙසේ තණ්හා සැඬපහර ද තමාගේ සැඬපහර ඇතුළට ගිය සත්ත්වයන්. ගිලාබස්සයි ද ප්රඥාව නමැති හිස ඔසවන්නට නොදෙයි ද කුසල් මුල් සිඳිමින් ද කෙලෙස් ධර්මයන්ට පැමිණීමෙන් ද මරණයට හෝ මරණයට සමාන දුකකට හෝ පමුණුවයි.