11. චර සූත්‍ර වර්ණනාව
එකොළොස්වන සූත්‍රයෙහි චරතො යනු යන්නා වූ හෝ ඇවිදින්නා වූ හෝ භික්‍ෂුවට. උප්පජ්ජති කාමවිතක්කො වා යනු වස්තුකාමයන්හි පහනොවූ රාගය ඇති බැවින් එබඳු ප්‍රත්‍යය ඇති කල්හි කාමය හා බැඳුණු විතර්කය හෝ උපදියි. චෙ ඉදින් උපදී නම්. ඛ්‍යාපාද විතක්කො වා විහිංසා විතක්කො වා යනු ආඝාත නිමිත්ත, ව්‍යාපාදය හා බැඳුණු විතර්කය හෝ දඬුමුඟුරු ආදියෙන් අනුන් වෙහෙසීම් වශයෙන් විහිංසාව හා බැඳුණු විතර්කය හෝ උපදියි. ‘චෙ’ යන්න සම්බන්ධ වෙයි. අධිවාසෙති යනු කියන ලද පරිදි ප්‍රත්‍යයට අනුව තම සිත්හි උපන් ඒ කාමවිතර්කාදිය මේ කාරණයෙන් ද මේ විතර්කය ලාමකය, මේ කාරණයෙන් ද අකුසලය, මේ කාරණයෙන් ද සාවද්‍යය, එය තමාට දුක් පිණිස ද පවතී යනාදී ක්‍රමයෙන් නුවණින් සලකා නො බැලීම් වශයෙන් ඉවසයි. තමාගේ සිතට නංවා වාසය කරයි නම්, ඉවසීමෙන්ම නප්පජහති : තදංගාදී ප්‍රහාණ වශයෙන් දුරු නොකරයි. එහෙයින්ම න විනොදෙති : තමාගේ චිත්ත සන්තානයෙන් දුරු නොකරයි. ඉවත් නොකරයි. එසේ දුරු නොකිරීම් වශයෙන් ද බ්‍යන්තීකරොති : කෙළවර නො කරයි. කෙලෙස් තවන වීර්ය ඇතිව නිවන් කරා මෙහෙයවන ලද සිත් ඇති තැනැත්තා යම්සේ ද ඔවුන්ගේ ඇතුළත ද ඉතිරි නොවෙයි. යටත් පිරිසෙයින් කැඩුණු මාත්‍රයක්ද එසේ කරයි. මොහු වනාහි එසේ නොකරයි යන අර්ථයි. එබඳු වූයේම න අනභාවං ගමෙති නැවත නොඉපදීමට නොපමුණුවයි ද ‘නප්පජහති චෙ න විනොදෙති චෙ’ ‘දුරු නොකරයි නම්, ඉවත් නොකරයි නම්’ යනාදී වශයෙන් චෙ ශබ්දය යොදා අර්ථය දතයුතුය.
චරං යනු හැසිරෙන්නා වූ (භික්‍ෂුව). එවං භූතො යනු මෙසේ කාමවිතර්ක ආදී පාප විතර්කවලින් යුක්ත වූයේ. අනාතාපී අනොත්තප්පී යනු කෙලෙස් තවන වීර්ය නැති බැවින් අනාතාපී, පාපයට තැති ගැනීම ඇති තැවීම ඇති තැවීම ලක්‍ෂණකොට ඇති ඔත්තප්පය නැති බැවින් අනොත්තප්පී. සතතං සමිතං යනු හැමකල්හි, නිරතුරුව. කුසීතො හීනවීරියො යනු කුසල ධර්මයන්ගෙන් පිරිහී අකුසල පක්‍ෂයෙහි පිළිකුලට ගිලාබැසීම් වශයෙන් ද කුසීතකමින් යුක්තවීම් වශයෙන් ද කුසීත වූ සම්‍යක් ප්‍රධාන වීර්යය නැති හෙයින් හීන වීර්ය ඇත්තේ වීර්යයෙන් තොර වූයේ යයි වුච්චති කියනු ලැබේ. ඨිතස්ස යනු ගමන නවතා සිටින්නහුට. විශේෂ වශයෙන් නිදන ඉරියව්වෙන් යුක්ත වූවහුට කුසීත පැත්තට බර හෙයින් එයින් යුක්ත වූවහුට යම්සේ ද එසේ විතර්ක උපදියි. එය දක්වන්නට ‘ජාගරස්ස’ යනුවෙන් කියන ලදී.
කුසල පක්‍ෂයෙහි - තඤ්චෙ භික්‍ඛු නාධිවාසෙති යනු ඇරඹු වීර්යය ඇතිව වසන්නහුට ද මුලක් නැති සසරෙහි බොහෝ කලක් භාවිත කිරීමෙන් එබඳු ප්‍රත්‍ය යෙදීමෙන් හෝ සිහිමුළාවෙන් හෝ ඉදින් කාම විතර්කාදිය උපදී නම්, භික්‍ෂුව ඒ විතර්කය තමාගේ සිතට නංවා ඉදින් නො ඉවසයි නම්, ඉදින් අභ්‍යන්තරයෙහි (සිතෙහි) වාසය නොකරවයි නම් යන අර්ථයි. නො ඉවසන්නේ කුමක් කරයි ද? පජහති ඉවත දමයි. කුඩයෙන් කුණු ඉවත දමන්නාක් මෙන් ද? නැත. එහෙත් එය විනොදෙති දුරුකරයි. ඉවත් කරයි. කෙවිටෙන් ගොනෙකු ඉවත් කරන්නාක් මෙන් ද? නැත. එහෙත් එය බ්‍යන්තීකරොති කෙළවර කරයි. යටත් පිරිසෙයින් කැඩුණු මාත්‍රයක්වත් ඇතුළත ඉතිරි නොවන ලෙස කෙළවර කරයි. ඒවා එසේ කරන්නේ කෙසේද? අනභාවං ගමෙති නැවත නො ඉපදීමට පමුණුවයි. විෂ්කම්භන ප්‍රහාණයෙන් යම්සේ සැපසේ විෂ්කම්භනය කරන ලද්දේ වේද එසේ ඒ විතර්ක ඉවත දැමීම කරයි යනුවෙන් කියන ලද්දේ වෙයි.
එවම්භූතො යන ආදියෙහි මෙසේ කාම විතර්කාදීන් නො ඉවසීමෙන් සුවිසුද්ධ ආසය (සිතක්) ඇත්තේ ඒ ආසය සම්පත්තියෙන් ද ඒ නිමිතිකොට ඇති ප්‍රයෝග සම්පත්තියෙන් ද පිරිසිදු සිල් ඇත්තේ ඉඳුරන්හි රක්නා ලද දොරටු ඇත්තේ භෝජනයෙහි පමණ දන්නේ සිහි නුවණින් යුක්ත වූයේ නො නිදා සිටීමෙහි (නිදි වැරීමෙහි) යෙදුනේ තදංගාදි වශයෙන් කෙලෙස් තවන ලක්‍ෂණයෙන් යුත් වීර්යයෙන් යුක්ත බැවින් ආතාපී, සියලු ආකාරයෙන් පාපයට තැති ගැනීමෙන් යුක්ත බැවින් ඔත්තප්පී, සතතං දිවා රෑ. සමිතං නිරතුරුව සමථ විදර්ශනා භාවනාවෙහි යෙදීම් වශයෙන් සතර වැදෑරුම් සම්‍යක් ප්‍රධාන සිදුවීමෙන් ආරද්ධවිරියො පහිතත්තො නිවන වෙත යවන ලද සිත් ඇත්තේයි කියන ලදැයි යන අර්ථයි. සෙස්ස කියන ලද ක්‍රමයටමය.
ගාථාවන්හි : ගෙහ නිස්සිතං යන මෙහි නිවැසියන් විසින් හැර නොදැමූ බැවින් හෝ ගෘහවාසීන්ගේ ස්වභාවය බැවින් හෝ ගෘහධර්මය බැවින් හෝ වස්තුකාමය ගෙයයි කියනු ලැබේ. (ගෙයට වස්තුකාම යයි කියනු ලැබේ) නොහොත් ගෙට බැඳී ඇති බැවින් හෝ ක්ලේශ කාමයන්ට නිවාසස්ථානයක් වූ බැවින් හෝ එය මූලාධාර කොට ඇති බැවින් හෝ කාම විතර්කාදිය ගෙහනිස්සිත නම් වේ. කුම්මග්ගං පටිපන්නො යනු යම්හෙයකින් ආර්ය මාර්ගයට වැරදි මාර්ගයක් වීම් වශයෙන් අභිජ්ඣාදිය ද ඒ හා බැඳී ඇති ධර්ම ද කුම්මග්ගය (වැරදි මාර්ගය) නම් වෙයි. එහෙයින් කාම විතර්කාදිය බහුල පුද්ගලයා වැරදි මාර්ගයට බැසගත්තේ නම් වෙයි. මොහනෙය්‍යෙසු මුච්ඡිතො යනු මෝහයට පැමිණවීමට සුදුසු රූපාදියෙහි මුළාවූයේ මත්වූයේ ගිලගෙන සිටියේ. සම්බොධි යනු ආර්යමාර්ග ඥානය. ඵුට්ඨුං යනු ස්පර්ශ කරන්නට, පැමිණීමට. සො තාදිසො මිථ්‍යා සංකල්ප ගොදුරුකොට ඇති තැනැත්තා කිසිකලෙකත් එයට නො පැමිණෙයි යන අර්ථයි.