12. සම්පන්නසීල සූත්ර වර්ණනාව
දොළොස්වන සූත්රයෙහි සම්පන්න සීලා යන්න මෙහි ‘සම්පන්න’ යන්න පරිපුණ්ණ, සමංගී, මධුර වශයෙන් තුන් ආකාරය. ඒවායින්
සම්පන්නං සාලිකේදාරං සුවා භුඤ්ජන්ති කොසිය
පටිවෙදෙමි තෙ බ්රහ්මෙ න නෙ වාරෙතු මුස්සහෙ
පටිවෙදෙමි තෙ බ්රහ්මෙ න නෙ වාරෙතු මුස්සහෙ
කෝසිය, සරුවට වැඩුණු ඇල්වී කෙත ගිරව් අනුභව කරති. එය වළක්වන්නට නොහැක්කෙමි. බමුණ, එය ඔබට දන්වමි.
මෙහි ‘සම්පන්න’ ශබ්දය පරිපූර්ණ වූ අර්ථ ඇත්තෝය. ‘ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො සම්පන්නො සමන්නාගතො’ මේ ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ වෙයි. (උපෙත -පෙ- සමන්නාගත යන වචන හය සමාන අරුත් ඇත) මෙහි සම්පන්න ශබ්දය යුක්ත වූයේ (සමංගීභාව) යන අර්ථ ඇත්තේය. ‘ඉමිස්සො භන්තෙ මහාපඨවියා හෙට්ඨිමං තලං සම්පන්නං සෙය්යථාපි ඛුද්දමධුං අනීලකං එවමස්සාදං’ ස්වාමීනි, මේ මහපොළොවෙහි යට පෙදෙස මිහිරි රසයෙන් සමෘද්ධ වෙයි. පිලවුන් නැති මීවදයක් මෙන් රසවත් වෙයි.’ මෙහි සම්පන්න ශබ්දය මිහිරි (රසවත්) යන අර්ථ ඇත්තේය. මෙහි (මේ සූත්රයෙහි) පරිපූර්ණ අර්ථයෙහිත් යුක්ත බවෙහිත් සුදුසුය. එහෙයින් ‘සම්පන්න සීලා’ යනු පරිපූර්ණ සිල් ඇත්තන් වී සීලයෙන් යුක්ත වූවන් වී යනුවෙන් ද මෙසේ මෙහි අර්ථය දතයුතුය.
එහි ‘පරිපුණ්ණසීලා’ යන මේ අර්ථයෙන් කෙතෙහි දොස් පහවීමෙන් කෙත සම්පූර්ණ වූවාක් මෙන් සම්පූර්ණ වූයේ නම් වෙයි. එහෙයින් කෙතෙහි දොස් පහවීමෙන් කෙත සම්පූර්ණ වූවාක් මෙන් සීලයෙහි දොස් පහවීමෙන් ශීලය සම්පූර්ණ වූයේ යයි කියන ලදී යනුවෙන් කියන ලදී. සීලසමංගිනො යන මේ අර්ථයෙන් සීලයෙන් යුක්ත වූවන් වී එක්වූවන් වී වාසයකරව් යනුවෙන් කියන ලද්දේ වෙයි. එහි ශීල විපත්තියෙහි දොස් දැකීමෙන් ද ශීල සම්පත්තියෙහි අනුසස් දැකීමෙන් ද යන කරුණු දෙකින් ශීලයෙන් යුක්ත බව වෙයි. ඒ දෙකම විසුද්ධිමග්ගයෙහි කියන ලද අයුරින් දතයුතුය. එහි ‘සම්පන්නසීලා’ යන මෙපමණකින් භාග්යවතුන් වහන්සේ චතුපාරිශුද්ධි ශීලය වදාරා ‘පාතිමොක්ඛ සංවර සංවුතා’ යන මෙයින් වැඩිහිටි ශීලය (ජෙට්ඨක සීල) දැක්වූහ යනාදියෙන් මෙහි කිවයුතු දෙය මුලින් කියන ලද්දේමය. කිමස්ස උත්තරිං කරණීයං යනු මෙසේ සීලයෙන් යුක්තව වාසය කරන ඔබ විසින් මත්තෙහි කුමක් කළ යුතුද? පිළිපැදිය යුතුද? යන අර්ථයි.
මෙසේ ‘සම්පන්නසීලා භික්ඛවෙ විහරථ’ යනාදියෙන් සම්පාදන (සපයන) උපාය සමග සීල සම්පදාවෙහි භික්ෂූන් යොදවමින් නොයෙක් පුද්ගලයන් මුල්කොට දේශනාව අරඹා දැන් යම්හෙයකින් එක් පුද්ගලයකු මුල්කර ගැනීම් වශයෙන් පැවතුන ද භාග්යවතුන් වහන්සේ දේශනාව සියල්ලන්ට සාධාරණ බැවින් නොයෙක් පුද්ගලයන් මුල්කොටම වෙයි. එහෙයින් එය එක් පුද්ගලයකු මුල්කර ගැනීම් වශයෙන් දක්වමින් ‘චරතො චෙපි භික්ඛවෙ භික්ඛුනො’ (මහණෙනි, හැසිරෙන්නා වූ ද භික්ෂුවගේ) යනාදිය වදාළහ.
එහි මෙය කරණකොට දැඩිසේ ආශා කරයි යන අරුතින් අභිජ්ඣා නම් වෙයි. අනුන්ගේ භාණ්ඩවලට දැඩිසේ ආශා කරන ලක්ෂණය ඇති ලෝභයට මෙය වචනයකි. මෙය කරණකොට සිත කෝපයට පත්වෙයි. කුණුවෙයි යන අරුතින් ඛ්යාපාද නම් වෙයි. ‘මට අනර්ථය පිණිස හැසිරුණේය’ ආදී ක්රමයෙන් පැවති දහනවයක් වූ ආඝාත වස්තුවලට විෂය වූ ද්වේෂයට මෙය වචනයකි.
එහි කාමච්ඡන්දය යනු කුමක්ද? කාමයන් පිළිබඳ කාමයට යම් කැමැත්තක් වේද (කාමච්ඡන්ද) කාමයට සෙනෙහසක් වේද (කාමසිනෙහො) කාමයට පිපාසයක් වේද (කාම පිපාසා) කාමයන් ගැන දැවිල්ලක් වේද (කාම පරිළාහො) කාමයෙන් සිහි නැති වේද (කාමමුච්ඡා) කාමය ගිලගැන්මක් වේද (කාමජ්ඣොසාන) යනුවෙන් ද එසේම ලෝභයක් ලෝභ ආකාරයක්, ලෝභ බවක්, ඇලීමක්, ඇලෙන ආකාරයක්, ඇලුණු බවක්, අභිධ්යාවක්, ලෝභ නම් වූ අකුසල මූලයක් යනාදී වශයෙන් ද, ‘ද්වේෂයක්, ද්වේෂ ආකාරයත්, ද්වේෂ බවක්, ප්රකෘතිය (සාමාන්ය ස්වභාවය) හැරදැමීමක්, ප්රකෘතිය හැරදමන ආකාරයක්, ප්රකෘතිය හැරදමන බවක්, විරෝධයක්, ප්රතිවිරෝධයක්, චණ්ඩ බවක්, අසම්පූර්ණ වචන ඇති බවක් සිතේ නොසතුටු බවක්’ ආදී වශයෙන් ද මේ දෙක ගැන ම විස්තර දතයුතුය. විගතො හොති යනු මේ අභිධ්යාව ද මේ ව්යාපාදය ද ඉවත් වූයේ වෙයි. පහවූයේය යන අර්ථයයි. මෙපමණකින් කාමච්ඡන්ද නීවරණයේ ද ව්යාපාද නීවරණයේද පහවීම දක්වන ලද්දේ වෙයි.
ථිනමිද්ධං යනු ථිනය ද මිද්ධය ද වෙයි. ඒ අතරින් සිතේ වැඩට නුසුදුසු බව ථීන යයි අලසබවට මෙය වචනයකි. වේදනාදී ස්කන්ධ තුනේ (වේදනා-සංඥා-සංඛාර) වැඩට නුසුදුසු බව මිද්ධය යි. නිදාවැටෙන බවට මේ වචනයකි. එහි ථීනය යනු කුමක්ද? සිතේ යම් අදක්ෂ බවක්, වැඩට නුසුදුසු බවක්, පසුබැසීමක්, සැඟවුණු බවක් වේද, ‘එහි මිද්ධය යනු කුමක් ද? (චෛතසික නම් වූ) කයේ යම් අදක්ෂ බවක් වැඩට නුසුදුසු බවක්, වෙළීමක්, හාත්පසින් වසා තැබීමක් වේද ආදී ක්රමයෙන් මේ දෙක ගැනම විස්තර දතයුතුය.
උද්ධච්ච කුක්කුච්චං යනු උද්ධච්චය ද කුක්කුචය ද වෙයි. එහි උද්ධච්චය නම් සිතේ නොසන්සුන් ආකාරයයි. කුක්කුච්චය නම් නොකළ යහපත ගැන කළ පාපය ගැන ඒ හේතුවෙන් විපිළිසර වීම. එහි උද්ධච්චය යනු කුමක්ද? සිතේ යම් උඩඟු බවක්, නොසන්සිඳුණු බවක් සිතේ විසිරුණු බවක් සිතේ භ්රාන්ත (කම්පා වූ) බවක් යනාදී වශයෙන් විස්තරය ද ‘ඒකාන්තයෙන් මා විසින් යහපතක් නොකරන ලදී. කුසලයක් නොකරන ලදී. බිය දුරුකිරීමක් නොකරන ලදී. පාපයක් කරන ලදී. නපුරක් කරන ලදී. දරුණු ක්රියාවක් කරන ලදී’ ආදී වශයෙන් මේ දෙක ගැනම පැවති ආකාරය දතයුතුය.