13. ලෝකාවබෝධ සූත්‍ර වර්ණනාව
දහතුන්වන සූත්‍රයෙහි ලොකො යනු කැඩෙන බිඳෙන අර්ථයෙන් ලෝක නම් වේ. අර්ථ වශයෙන් පළමු ආර්ය සත්‍ය (දුක්ඛ-සමුදය) දෙකයි. මෙහි වනාහි දුක්ඛ ආර්ය සත්‍යය දතයුතුය. එය මේ සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යනුවෙන් විභාග වශයෙන් ද ස්වරූප වශයෙන් ද මුලදී කියන ලද්දේය. එහෙත් ස්කන්ධ ලෝකය ආදී වශයෙන් ලෝකය නොයෙක් ආකාරය ඒ මෙසේය -
ලෝක යනු ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, විපත්තිභව ලෝකය, විපත්ති සම්භව ලෝකය, සම්පත්ති භවලෝකය, සම්පති සම්භව ලෝකයයි. සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙති යනු එක් ලෝකයකි. නාමය ද රූපය ද ලෝක දෙකකි. තුන් වේදනාව ලෝක තුනකි. ආහාර සතර ලෝක සතරකි. පංචඋපාදානස්කන්ධය ලෝක පහකි. ආධ්‍යාත්මික ආයතන හය ලෝක හයකි. විඤ්ඤාණට්ඨිති හත ලෝක හතකි. අෂ්ට ලෝක ධර්මය ලෝක අටකි. සත්වාවාස නවය ලෝක නවයකි. ආයතන දහය ලෝක දහයකි. ආයතන දොළස ලෝක දොළසකි. ධාතු දහඅටක ලෝක දහඅටකි යනුවෙන්
මෙසේ බෙදන ලද ලෝකය පංච උපාදානස්කන්ධයන්හිම සංග්‍රහයට, එක්වීමට යයි. උපාදානස්කන්ධයෝ ද දුක්ඛ ආර්ය සත්‍යය, ජාතිය දුකය -පෙ- කෙටියෙන් පංච උපාදානස්කන්ධය දුකය’ නම් වෙයි. එහෙයින් අර්ථ වශයෙන් පළමු ආර්ය සත්‍ය දෙකයි. මෙහි වනාහි දුක්ඛ ආර්ය සත්‍යය දතයුතුය’යි කියන ලදී. කැඩෙන බිඳෙන අර්ථය විශේෂයක් නැතිව පංචස්කන්ධයන්හි නොලැබේද? ඇත්තයි, ලැබේ. යමක් නොකැඩි යයි ගන්නා ලද ද එය එසේ නොවේ. ඒකාන්තයෙන්ම යමක් කැඩෙයි ද බිඳෙයි ද එය ලෝකයයි. උපාදාන ස්කන්ධයන්හිම ලෝක ශබ්දය ආරෝපණය කරන ලද්දේ යයි දතයුතුය. එහෙයින් ලොකො යනු දුක්ඛ ආර්ය සත්‍යයමය.
ඉදින් මුලින් තථාගත සූත්‍රයෙහි දී තථාගත ශබ්දයට නොයෙක් නොයෙක් ක්‍රමයෙන් විස්තර වශයෙන් අර්ථ බෙදා දක්වනු ලැබුවද මේ පාළියෙහි අර්ථ වර්ණනා ක්‍රමයෙන් අපට පැහැදිලි කිරීමයි. අභිසම්බුද්ධො යනු ‘අභිඤ්ඤෙය්‍යතො පරිඤ්ඤෙය්‍යතො’ යනුවෙන් පෙර කියන ලද බෙදීමෙන් හෝ විශේෂයක් නැතිව ආසය-අනුසය චරියා-අධිමුත්ති ආදී භේද වශයෙන් හෝ කුසල-අකුසල ආදි විභාග වශයෙන් හෝ වට්ට-පමණා-සණ්ඨාන ආදි භේද වශයෙන් හෝ විශේෂ වශයෙන් වනාහි මෙය ශාස්වත ආසයය මෙය උච්ඡේද ආසය යනාදී වශයෙන් ද කර්කශ ලක්‍ෂණයෙන් පඨවි ධාතුවය වැගිරෙන ලක්‍ෂණයෙන් ආපෝ ධාතුවය ආදී වශයෙන් ද අති විශිෂ්ට වූ තමාගේම ඤාණයෙන් මනාව නොවෙන යම් යම් අර්ථයක් යම් යම් ආකාරයකින් අවබෝධ කළ යුතු ද ඒ ඒ ආකාරයෙන් අවබෝධ කරන ලද්දේය, දැනගන්නා ලද්දේය තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේය යන අරුතින් අභිසම්බුද්ධ නම් වේ.
ලොකස්මා යනු කියන ලද ආකාර ලෝකයෙන්. විසංයුත්තො යනු සම්බන්ධ නොවූ, ඒ හා බැඳුණු සියලු සංයෝජනයන් මනාව කපා දමන ලද බැවින් එයින් තොර වූයේය යන අර්ථයි. ලොක සමුදයො යනු සූත්‍රාන්ත ක්‍රමයෙන් තෘෂ්ණාවය. අභිධර්ම ක්‍රමයෙන් වනාහි අභිසංස්කාරයන් සමග කෙලෙස් එක්දහස් පන්සියයයි. පහීනො යනු ජයශ්‍රී මහා බෝධි මූලයෙහි දී අර්හත් මාර්ග ඥානයෙන් සහමුලින් සිඳ දැමීම් වශයෙන් වාසනා (සංසාර පුරුදු) සහිතව පහ වූයේ. ලොකනිරොධො යනු නිවනය. සච්ඡිකතො යනු තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ. ලොකනිරොධගාමිනී පටිපදා යනු ශීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගය ලෝක නිරෝධය වූ නිවනට යයි නිවන ලබයි. ඒ සඳහා ආර්යයන් වහන්සේලා විසින් පිළිපදිනු ලැබේ යන අරුතින් හෝ ලෝකනිරෝධගාමිනී පටිපදා යයි කියනු ලැබේ.
මෙපමණකින් ‘තථානි’ නම් වූ චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කරන ලද්දේ තත්වූ පරිද්දෙන් යන ලද්දේ වෙයි යන අරුතින් තථාගත නම් වේ යන මේ අර්ථය දක්වන ලද්දේ වෙයි. චතුරාර්ය සත්‍යය තථානි නම් වේ. එය මෙසේ වදාළහ -
‘චත්තාරිමානි භික්‍ඛවෙ [missing part] තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං’ මෙසේ විස්තරය දතයුතුය.
යළිත් - සත්‍යය පිණිස යන ලද්දේ යන අරුතින් තථාගත නම් වේ. සත්‍යයට යන ලද්දේය යන අරුතින් තථාගත නම් වේ. ‘ගතා’ යනු අවබෝධ කරන ලද්දේ ඉක්මවූයේ, පැමිණියේ, පිළිපන්නේ යන අර්ථයි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මුළු ලෝකය තීරණ පරිඥාවෙන් සත්‍ය ලෙස නොවෙනස් ලෙස අවබෝධ කළාහු ද එහෙයින් තථාගතයන් වහන්සේ විසින් ලෝකය මනාව අවබෝධ කරන ලද්දේය යන අරුතින් තථාගත නම් වෙති. ලෝක සමුදය ප්‍රහාණ පරිඥාවෙන් සත්‍ය ලෙස අවබෝධ කළාහුය ඉක්මවූවාහුය යන අරුතින් තථාගත නම් වෙති. ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සත්‍ය ලෙස අවබෝධ කළාහුය, (ලෝක නිරෝධයට) පැමිණියාහුය යන අරුතින් තථාගත නම් වෙති. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව සත්‍ය ලෙස නොවෙනස් ලෙස අවබෝධ කළාහුය, (එයට) පිළිපන්නාහුය යන අරුතින් තථාගත නම් වෙති යන මෙය කියන ලද්දේ වෙයි. මෙසේ මේ පාළියෙහි භාග්‍යවතුන් වහන්සේගේ තථාගතභාවය පැහැදිලි කිරීම් වශයෙන් අර්ථය දතයුතුය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම් වශයෙන් තමන් වහන්සේගේ තථාගතභාවය ප්‍රකාශකොට දැන් දක්නා ලද්දාදිය අවබෝධ කිරීම් වශයෙන් ද එය දැක්වීමට ‘යං භික්‍ඛවෙ’යනාදිය චදාළහ. අංගුත්තර අට්ඨක නිපාත අට්ඨකථාවේ දී වනාහි ‘චතූහි සච්චෙහි අත්තනො බුද්ධභාවං කථෙත්‍වා’ චතුරාර්ය සත්‍යයෙන් තමන්වහන්සේගේ බුදුබව කියා’ යනාදිය කියන ලදී. ඒ තථාගත ශබ්දයේ බුද්ධ ශබ්දයේ අර්ථ වශයෙන් නොයෙක් ආකාර නැතිබව දැක්වීමට කියන ලදී. පාළියෙහි පැවැත්ම එසේය.
එහි දිට්ඨං යනු රූපායතනයයි. සුතං යනු සද්දායතනයයි. මුතං යනු පැමිණ ගතයුතු බැවින් ගන්ධායතනය ද රසායතනය ද ඵොට්ඨබ්බායතනය ද වේ. විඤ්ඤාතං යනු සුඛ දුක්ඛ ආදී ධර්මාරම්මණයයි. පත්තං යනු සොයා හෝ නො සොයා හෝ ලබන ලද. පරියෙසිතං ලැබූවක් හෝ නොලැබූවක් හෝ සොයන ලද. අනුවිචරිතං මනසා යනු සිතෙන් සලකන ලද. කවරකු විසින් සලකන ලද මනසින් ද? ‘සදෙවකස්ස -පෙ- සදෙවමනුස්සාය’ යනුවෙන් සම්බන්ධ විය යුතුය. එහි දෙවියන් සහිත වූයේ යන අරුතින් සදෙවක නම් වේ. ඒ සදෙවකස්ස ලොකස්ස දෙවියන් සහිත වූ ලෝකයා විසින්. සෙසු පදයන්හිද ඒ ක්‍රමයයි.