8. බහුකාර සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයෙහි බ්‍රාහ්මණ ගහපතිකා යනු බ්‍රාහ්මණයෝ ද ගෘහපතියෝ ද. බමුණන් හැර ගිහිගෙයි වාසය කරන යම්කෙනෙක් වෙත් ද ඔවුහු මෙහි ගෘහපතියෝ යයි දතයුතුය. යෙ යනු අනියමයෙන් නිර්දේශය (විස්තර කිරීම) ස්පර්ශ කිරීමයි. තෙ යනු උපයෝග (දුතියා=කර්ම) බහුවචනයයි. මේ වනාහි මෙහි කෙටි අර්ථයයි. මහණෙනි, ඔබලාට යම් බ්‍රාහ්මණ පිරිසක් වෙත් ද ගිහිගෙයි වසන පිරිසක් වෙත් ද ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ ඔබලාට බොහෝ උපකාර ඇත්තාහුය. යම්තැනක අපි විපාකදීම් වශයෙන් ඉහළට (සැපයට) යන්නා වූ උත්පත්ති වශයෙන් ස්වර්ගයට හිත වූ, සැපවිපාක ඇත්තා වූ අග්‍ර වූ දිව්‍ය වර්ණ ආදිය උදාකර දෙන්නා වූ දක්‍ෂිණාව පිහිටවමුයි චීවරාදී ප්‍රත්‍යයෙන් නැවත නැවත උපස්ථාන කරත්.
මෙසේ ආමිසදාන වශයෙන්, ආමිස සංවිභාග වශයෙන්, ආමිස අනුග්‍රහ වශයෙන් ගිහියෝ භික්‍ෂූන්ට උපකාර ඇත්තේ යයි දක්වා දැන් ධර්ම දානයෙන්, ධර්ම සංවිභාගයෙන්, ධර්ම අනුග්‍රහයෙන් භික්‍ෂූන් ද ඔවුන්ට උපකාර ඇති බව දක්වන්නට ‘තුම්හෙපි භික්‍ඛවෙ’ යනාදිය කියන ලදී. එය කියන ලද අයුරින්මය.
මෙයින් කුමක් කියන ලද ද? පිණ්ඩාපචායනය (පිණ්ඩපාතයට ගරුකිරිම) කියන ලදී. මේ මෙහි අදහසය. මහණෙනි, යම්හෙයකින් මේ බ්‍රාහ්මණ ගෘහපතියෝ ඔබලාගේ ඤාතීහු නො වෙත්ද, මිත්‍රයෝ නොවෙත් ද, ණයකරුවෝ නොවෙත් ද එසේම මේ ශ්‍රමණයෝ මනා වූ මාර්ගයෙහි යන්නෝ වෙති. මනාව පිළිපදින්නාහු වෙති. උන්වහන්සේලා කෙරෙහි කරනු ලබන අපගේ පූජාවෝ මහත්ඵල වන්නාහ, මහානිසංස වන්නාහ යනුවෙන් ඵල විශේෂය කැමැත්තාහු ඔබලාට චීවරාදියෙන් උපස්ථාන කරති. එහෙයින් ඔවුන්ගේ ඒ අදහස සම්පූර්ණ කරමින් අප්‍රමාදීව කටයුතු කරව්. (මෙසේ මනා වූ පිළිවෙත් ඇතිව කරනු ලබන) ඔබලාගේ ධර්ම දේශනාව ද ඔවුන්ට ප්‍රයෝජනවත්ය. ඔවුන් (දායකයන්) විසින් භාරගත යුත්තක් ද වෙයි. (භික්‍ෂූන් නොවන) අන් අයගේ ධර්ම දේශනාව එසේ නොවේයයි මෙසේ මනා වූ ප්‍රතිපත්තියෙහි අප්‍රමාදව කටයුතු කළ යුතුය.
‘එවමිදං භික්‍ඛවෙ’ යනාදියෙහි මේ කෙටි අර්ථයයි: මහණෙනි, මෙසේ මේ කියන ලද ආකාරයෙන් ගිහියන් විසින් පැවිද්දන් විසින් ආමිසදාන ධර්මදාන වශයෙන් ඔවුනොවුන් ඇසුරුකොට ඔඝස්ස නිත්‍ථරණත්‍ථාය කාමාදී වශයෙන් සතරාකාර ඔඝය දුරුකරනු පිණිස සියලු සසර දුක් කෙළවර කිරීම පිණිස උපෝසථ සීල, චතුපාරිසුද්ධි සීලාදී වශයෙන් ද බ්‍රහ්මචරියං මේ සාසන බ්‍රහ්මචරියාවෙහි ද මාර්ග බ්‍රහ්මචරියාවෙහි ද වුස්සති වසනු ලැබේ.
ගාථාවන්හි - සාගාරා යනු ගිහියෝය. අනගාරා යනු ගිහිගෙය අත්හළ පැවිද්දෝය. උභො අඤ්ඤොඤ්ඤනිස්සිතා යනු ඒ දෙපිරිසම ඔවුනොවුන් ඇසුරුකොට, ගිහියෝ පැවිද්දන්ගේ ධර්මදානය ඇසුරු කිරීමෙන් ද පැවිද්දෝ ගිහියන්ගේ (චීවරාදි) ප්‍රත්‍ය දානය ඇසුරු කිරීමෙන්ද ආරාධයන්ති සිදුකරත්, සම්පාදනය කරත්. සද්ධම්මං යනු ප්‍රතිපත්ති සද්ධර්මය ද ප්‍රතිවේධ සද්ධර්මය ද. එහි යමක් උතුම් ද එය දක්වන්නාහු යොගක්‍ඛෙමං අනුත්තරං යනුවෙන් රහත් බව ද නිවන ද වදාළහ. සාගාරෙසු යනු ගිහියන්ගෙන්, මෙය අවධි අර්ථයෙහි සත්තමී විභක්ති වචනයයි. (නිස්සක්කේ භුම්මවචනං) ගිහියන් සමීපයෙහි හෝ. පච්චයං යනු කියා ඉතිරි වූ පිණ්ඩපාතය හා බෙහෙත් යන ප්‍රත්‍ය දෙකයි. පරිස්සය විනොදනං යනු ඍතුවලින් ඇතිවන හිරිහැර ආදී හිරිහැර දුරුකරන විහාරාදී ආවාස. සුගතං මනාව පිළිපන්නා වූ කල්‍යාණ පෘථග්ජනයා සමග අටවැදෑරුම් ආර්ය පුද්ගලයා, මෙහි ශ්‍රාවකයා ‘සුගත’ යනුවෙන් අදහස් කරන ලදී. ඝරමෙසිනො යනු ඝරං එසිනො, ගෙයි සිට ගෙයි වාසය කරමින් භෝග උපකරණ ද ගිහි සීලාදිය ද සොයන ස්වභාවය ඇත්තෝ යන අර්ථයි. සද්දහානො අරහතං යනු අර්හත් වූ ආර්යයන්ගේ වචනය හෝ උන්වහන්සේලාගේ මනා වූ පිළිවෙත හෝ අදහන්නා වූ, ඒකාන්තයෙන් මුන්වහන්සේලා මනාව පිළිපන්නාහුය, මුන්වහන්සේලා කියන ආකාරයට පිළිපදින අයට ඒ ප්‍රතිපත්තිය ස්වර්ග මෝක්‍ෂ සම්පත් පිණිස පවතී යනුවෙන් අදහන්නා වූ යන අර්ථයි. ‘සද්ධාතා’ යනු ද පාඨයකි. අරියපඤ්ඤාය යනු සුවිසුද්ධි ප්‍රඥාවෙන්. ඣායිනො යනු අරමුණ සිහිකිරීම් වශයෙන් ලක්‍ෂණ සිහිකිරීම් වශයෙන් යන දෙයාකාර ධ්‍යානයෙන් ධ්‍යාන කරන්නා වූ.