3. ආස්රවක්ෂය සූත්ර වර්ණනාව
තෙවන සූත්රයෙහි ජානතො යනු දන්නා තැනැත්තාට. පස්සතො යනු දක්නා තැනැත්තාට. එසේ වුවත් මේ පද දෙකම එක අර්ථ ඇත්තේය. අකුරු පමණක් වෙනස්ය. මෙසේ ඇති කල්හි ද ජානතො (දන්නා තැනැත්තාට) යන්නෙන් ඤාණ ලක්ෂණය ගෙන පුද්ගලයා දක්වයි. දැනගන්නා ලක්ෂණය වනාහි ඤාණයයි. පස්සතො (දක්නා තැනැත්තාට) යන්නෙන් ඤාණ බලය ගෙන පුද්ගලයා දක්වයි. දැකීම් බලය ගෙන ඤාණයෙන් යුක්ත පුද්ගලයා, ඇස් ඇති පුද්ගලයා රූප දකින්නාක් මෙන් ඤාණයෙන් විවෘත වූ ධර්මයන් දකියි. නැතහොත් ‘ජානතො’ යන්නෙන් අනුබෝධ ඤාණයෙන් දන්නා තැනැත්තාට යන අර්ථය ද ‘පස්සතො’ යන්නෙන් ප්රතිවේධ ඤාණයෙන් දක්නා තැනැත්තාට යන අර්ථය ද ප්රතිලෝම වශයෙන් ගත්කල සෝවාන් (දස්සන) මාර්ග ඥානයෙන් දක්නා තැනැත්තාට යන අර්ථය ද භාවනා මාර්ගයෙන් දන්නා තැනැත්තාට යන අර්ථය ද දක්වයි. ඇතැම් කෙනෙක් ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා යන තුන්ආකාර පරිඤ්ඤාවන්ගෙන් දන්නා තැනැත්තාට යන අර්ථය ද මුදුන්පැමිණි විදර්ශනාවෙන් දක්නා තැනැත්තාට යන අර්ථය ද කියති. නැතහොත් දුක, පිරිසිඳ අවබෝධයෙන් දන්නා තැනැත්තාට යයි ද නිරෝධය, ප්රත්යක්ෂ කිරිමෙන් දික්නා තැනැත්තාට යයි ද මේ දෙකම ගත් කල්හි පහාන - භාවනා දෙකෙහි අවබෝධය සිද්ධවූයේම වෙයි යනුවෙන් චතුස්සත්යාවබෝධය කියන ලද්දේ වෙයි. යම්කලක මෙහි විදර්ශනා ඥානය අදහස් කරන ලද ද එකල්හි ‘ජානතො - පස්සතො’ යන පදයන්ගේ හේතු-අර්ථ පැහැදිලි කරන බව දතයුතුය. යම්කලක මාර්ගඥානය අදහස් කරන ලද ද එකල්හි මාර්ග කෘත්ය අර්ථය පැහැදිලි කරන ලද බව දතයුතුය.
ආසවානං ඛයං යනු ජානතො අහං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි’ ‘මහණෙනි, මම දන්නා තැනැත්තාට දක්නා තැනැත්තාට ආශ්රවයන්ගේ දුරුකිරීම කියමි’යි මෙසේ ආ තැන්හි, සබ්බාසව සංවර පරියායෙහි ද ‘ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං’ ‘ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්රව වූ චේතෝ විමුත්තිය’ යනාදී සූත්ර පදයන්හි ද ආශ්රවයන්ගේ ප්රහාණය වූ අත්යන්ත ක්ෂයවීම වූ හටනොගැනීම වූ ක්ෂය ආකාර ඇත්තා වූ නැති බව වූ ආශ්රවක්ෂයය කියන ලදී. ‘ආසවානං ඛයා සමණො හොතී’ති ආශ්රවයන්ගේ ක්ෂය වීමෙන් ශ්රමණයා වෙයි යනාදියෙහි ඵලය ද
පරවජ්ජානුපස්සිස්ස නිච්චං උජ්ඣාන සඤ්ඤිනො
ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්ඛයා
ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්ඛයා
‘අනුන්ගේ වැරදි සොයන නිතර දොස් කියන හැඟීම ඇති තැනැත්තාගේ ආශ්රවයෝ වැඩෙති. ඔහු ආශ්රව ක්ෂයයෙන් දුරය’
යනාදියෙහි නිර්වාණය ද
සෙක්ඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො
ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා
තතො අඤ්ඤා විමුත්තස්ස ඤාණං වෙ හොති තාදිනො
ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා
තතො අඤ්ඤා විමුත්තස්ස ඤාණං වෙ හොති තාදිනො
ත්රිවිධ ශික්ෂාවෙහි හික්මෙන්නා වූ සෘජු වූ ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ ශෛක්ෂ පුද්ගලයා හට ආශ්රවයන් ක්ෂය කිරීමෙහි පළමුවන ඤාණය (සෝවාන් මාර්ග ඤාණය) උපදී. ඉන්පසු රහත් බව වෙයි. ඒ අර්හත් මාර්ග ඥානයට අනතුරුව කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ රහතන් වහන්සේට ඒකාන්තයෙන් ප්රත්යවේක්ෂා ඤාණය වෙයි’.
මෙසේ ආවා වූ ඉන්ද්රිය සූත්රයෙහි ද මෙහි ද මාර්ගය ආසවක්ඛය යයි කියන ලදී. එහෙයින් කියන ලද පරිදි දන්නා වූ දක්නා වූ තැනැත්තාට මම ආර්යමාර්ග අවබෝධය කියමි’යි කියන ලද්දේ වෙයි. නො අජානතො නො අපස්සතො යනු යමෙක් නො දනී ද නො දකී ද ඔහුට (ආශ්රවක්ෂය) නො කියමියි යන අර්ථයි. එයින් යම් අය නොදන්නහුට නොදක්නහුට සංසාර ශුද්ධිය කියත් ද (උන්වහන්සේ) ඔවුන් ප්රතික්ෂේප කරති. මුල්පද දෙකෙන් උපාය කියන ලද්දේ වෙයි. මෙයින් වැරදි ආකාරය (අනුපාය) ප්රතික්ෂේපය කියන ලද්දේ වෙයි. කෙටියෙන් මෙහි ඤාණය ආශ්රවයන් ක්ෂය කිරීම ද සෙස්ස එහි පිරිකර (අංග) යයි ද දක්වයි.
දැන් යමක් දන්නා තැනැත්තාට යමක් දක්නා තැනැත්තාට ආශ්රවයන් ක්ෂය වෙයිද එය දක්වන්නට ‘කිඤ්ච භික්ඛවෙ ජානතො’ යනුවෙන් විමසීම ඇරඹූහ. එහි දැනීම් විවිධය. පණ්ඩිතභාවය ඇත්තා වූ ම කිසියම් භික්ෂුවක් කුඩ සාදන්නට දනියි. කිසියම් භික්ෂුවක් සිවුරු පිළිබඳ කඩ කැපීම් හෝ මැසීම් හෝ යනාදී එකක් කරන්නට දනියි. මේ ආකාර කටයුතු වත් ශීර්ෂයෙහි සිට කරන්නා වූ භික්ෂුවගේ ඒ දැනීම මාර්ග ඵලයන්ට ආසන්න හේතුව නොවේයයි නොකිව යුතුය. යමෙක් සසුනෙහි පැවිදිව වෙදකම් ආදිය කරන්නට දනියි ද මෙසේ දන්නා වූ ඔහුගේ ආශ්රවයෝ වැඩෙත්මය. එහෙයින් යමක් දන්නා වූ යමක් දක්වා වූ තැනැත්තාගේ ආශ්රවයන් ක්ෂය වෙයි ද එය ම දක්වමින් ‘ඉදං දුක්ඛං’ යනාදිය වදාළහ. එහි යම් චතුස්සත්ය කර්මස්ථානයක් කිවයුතු ද එය මුල දී යොනිසො මනසිකාර සූත්රයෙහි කෙටියෙන් කියන ලද්දේමය.
එහි වනාහි ‘යොනිසො භික්ඛවෙ භික්ඛු මනසිකරොන්තො අකුසලං පජහති, කුසලං භාවෙති’ ‘මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නා වූ භික්ෂුව අකුසල් දුරුකරයි. කුසල් වඩයි’ යනුවෙන් ආ බැවින් මේ දුකයයි නුවණින් මෙනෙහි කරයි යනාදී වශයෙන් අර්ථ පැහැදිලි කිරීම කරන ලදී. මෙහි ‘ඉදං දුක්ඛන්ති භික්ඛවෙ ජානතො පස්සතො ආසවානං ඛයො හොති’ ‘මහණෙනි, මේ දුකයයි දන්නා වූ දක්නා වූ තැනැත්තාගේ ආශ්රවයන් ක්ෂය වෙයි’ යනුවෙන් ආ බැවින් පිරිසිඳ ප්රතිවේධ කිරීම් වශයෙන් පිරිසිඳ අවබෝධ කිරිම් වශයෙන් මාර්ග ඥානයෙන් දන්නා වූ දක්නා වූ තැනැත්තාට ආශ්රවයන්ගේ ක්ෂය වීම වෙයි යනාදී ක්රමයෙන් යෙදිය යුතුය. ආශ්රවයන් අතුරෙන් ප්රථම (සෝවාන්) මාර්ගයෙන් දිට්ඨි ආසවය ක්ෂය වෙයි. තුන්වන (ආනාගාමි) මාර්ගයෙන් කාම ආසවය ද සතරවන (අර්හත්) මාර්ගයෙන් භව ආසවය ද අවිද්යා ආශ්රවය ද ක්ෂය වෙයි යනුවෙන් දතයුතුය.
ගාථාවන්හි - විමුත්ති ඤාණං යනු විමුක්තියෙහි නිවනෙහි ද ඵලයෙහි ද ප්රත්යවේක්ෂණ ඤාණයයි. උත්තමං යනු උතුම් වූ ධර්මය අරමුණු වූ බැවින් උතුම් වූ. ඛයෙ ඤාණං යනු ආශ්රවයන්ගේ ද සංයෝජනයන්ගේ ද ක්ෂය වීමෙහි ක්ෂය කිරීමෙහි ඇතිවන ආර්යමාර්ග ඥානයයි. ‘ඛීණා සංයොජනා ඉති ඤාණං’ ‘සංයෝජනයෝ ක්ෂය වූවාහුය යන ඥානය’ යන්න ගෙනවුත් මෙහි ද සම්බන්ධ කළ යුතුය. එයින් පහ වූ කෙලෙස් ප්රත්යවේක්ෂණය දක්වයි. මෙසේ මෙහි ප්රත්යවේක්ෂණ ඥාන සතරම කියන ලද්දේ වෙයි. අර්හත්ඵලාවබෝධය අදහස් කළ බැවින් ඉතිරි වූ කෙලෙස් ප්රත්යවේක්ෂණයක් මෙහි නැත. යම්සේ මෙහි ‘ජානතො පස්සතො’ යනුවෙන් නිර්වාණාධිගමයෙන් සම්යක් දෘෂ්ටි කෘත්යය අධික කොට කියන ලද ද මෙසේ සම්යක් ප්රධාන කෘත්යය ද අධික කොටම කැමතිවිය යුතුයයි දක්වමින් ‘නත්ටෙවිදං කුසීතෙන’ යන අවසාන ගාථාව වදාළහ.