4. සමණබ්රාහ්මණ සූත්ර වර්ණනාව
සතරවන සූත්රයෙහි යෙ හි කෙචි යනු යම් කෙනෙක්. ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානන්ති යනු මේ දුකය, දුක මෙපමණය, මෙයට වඩා නැතැයි නො වෙනස් වූ ස්වභාව ලක්ෂණ, ස්වලක්ෂණ වශයෙන් විදර්ශනා ප්රඥාව සහිත මාර්ග ප්රඥාවෙන් දුක්ඛ සත්යය නො දනිත්. අවබෝධ නොකරත්. ඉතිරි ඒවායෙහි ද මේ ක්රමයමය. ‘න මෙ තෙ භික්ඛවෙ’ යන ආදියෙහි මේ කෙටි අර්ථයයි. මහණෙනි, චතුස්සත්ය කමටහනෙහි නො යෙදෙන්නෝ පැවිදි මාත්රයක් ඇති ශ්රමණයෝ ද ජාතිය පමණක් ඇති බ්රාහ්මණයෝ ද වෙති. මා විසින් ඔවුහු සන්සිඳුවන ලද පාපයක් ඇති ශ්රමණයන් අතර ශ්රමණයා යයි ද බහාතබන ලද පව් ඇති බ්රාහ්මණයන් අතර බ්රාහ්මණයා යයි ද අසම්මතයහ නො අනුදන්නා ලදහ. (අනුමත නොකරන ලදහ.) කුමක් හෙයින්ද? ශ්රමණ කරණ ධර්මයන්ගෙන් ද බ්රාහ්මණ කරණ ධර්මයන්ගෙන් ද තොර හෙයිනි. එහෙයින් ‘න ච පන්තෙ ආයස්මන්තො’ යනාදිය වදාළහ.
එහි සාමඤ්ඤත්ථං යනු පැවිදි බව (සාමඤ්ඤ) නමැති අර්ථය, (සෝවාන් ආදී) පැවිදිඵල (සාමඤ්ඤඵල) සතර යන අර්ථයි. බ්රහ්මඤ්ඤත්ථං යනු එයටම සමාන වචනයකි. අන් අය වනාහි ‘සාමඤ්ඤත්ථං’ යනු සතර ආර්ය මාර්ග ද බ්රහ්මඤ්ඤත්ථං යනු සතර ආර්ය ඵලයයි ද කියති. ඉතිරිය කියන ලද පරිදිමය. කුශල පක්ෂය (සුක්ක පක්ඛො) කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් දතයුතුය. ගාථාවන්හි පෙර නොවූවක් නැත.
සතරවන සූත්රයයි.
5. සීලසම්පන්න සූත්ර වර්ණනාව
පස්වන සූත්රයෙහි - සීලසම්පන්නො යන මෙහි සීලය නම් ක්ෂීණාශ්රවයන් (රහතන්) වහන්සේලාගේ ලෞකික ලෝකෝත්තර සීලයයි. එයින් යුක්තවූවාහු සීල සම්පන්න නම් වෙති. සමාධි පඤ්ඤාවන්හිද මේ ක්රමයමයි. විමුක්තිය වනාහි ඵල විමුත්තියමයි. විමුත්තිඤාණ දස්සනය ප්රත්යවේක්ෂණ ඤාණයයි. මෙසේ මෙහි සීලාදී තුන ලෞකික ලෝකෝත්තරය. විමුත්තිය ලෝකෝත්තරමය. විමුත්ති ඤාණදස්සනය ලෞකිකමය. මෙලොව පරලොව පරමාර්ථයෙන් (උසස් ප්රයෝජනවලින්) සුදුසු පරිදි අනුන්ට අවවාද කරති, අනුශාසනා කරති යන අරුතින් ඔවදකා නම් වෙති. විඤ්ඤාපකා යනු කර්මයත් කර්ම ඵලයත් අවබෝධ කරවන්නෝය. එහිද මේ ධර්ම කුසල්ය, මේ ධර්ම අකුසල්ය, මේවා වැරදිය. මේවා නිවැරදිය යනාදී වශයෙන් කුශලාදි විභාග වශයෙන් හා ස්කන්ධාදි විභාග වශයෙන් ද ස්වලක්ෂණ වශයෙන් ද සාමාන්ය ලක්ෂණ වශයෙන්දැයි ක්රම තුනෙන් ධර්මයන් දන්වන්නෝ අවබෝධ කරවන්නෝ. සන්දස්සකා යනු ඒ ධර්මයන්ම අතින් ගෙන දක්වන්නාක් මෙන් අනුන්ට ප්රත්යක්ෂ වශයෙන් දක්වන්නෝ. සමාපදකා යනු සීලාදියෙහි සමාදන් නොවුනු තැනැත්තා එහි සමාදන් කරවන්නෝ. සමුත්තෙජකා යනු මෙසේ කුසල ධර්මයන්හි පිහිටියවුන්ට මතු අධි චිත්තයෙහි (සමථයෙහි) යෙදවීම් වශයෙන් විශේෂ අධිගමයක් ඇතිවන පරිදි මැනවින් සිත උනන්දු කරවන්නෝ, මෙසේ ඇසීම් වශයෙන් පිරිසිදු කරවන්නෝ. සම්පහංසකා යනු ලැබුවා වූ ද මතු ලැබිය යුතු වූ ද ගුණ විශේෂයෙන් දැක්වීමෙන් ඔවුන්ගේ සිත මනාව සතුටු කරන්නෝ, ලබන ලද ආශ්වාද වශයෙන් මනාව සතුටු කරන්නෝ. අලං සමක්ඛාතාරො කී දෙය නොපිරිහෙළා මැනවින් අනුග්රහ අදහසින් කීමෙහි දක්ෂ වූවෝ.
නැතහොත් : ‘සන්දස්සකා’ යනු දහම් දෙසමින් පැවැත්ම නැවැත්ම ස්වභාව ලක්ෂණ - ස්වලක්ෂණ වශයෙන් මැනවින් දක්වන්නෝ. ‘සමාදපකා’ යනු සිතෙහි පිහිටුවීම් වශයෙන් ඒ අර්ථයම ගන්වන්නෝ. ‘සමුත්තෙජකා’ යනු ඒ අර්ථය ගැනීමෙහි උත්සාහ ඇතිකිරිමෙන් මැනවින් පිරිසිදු කරවන්නෝ බබළවන්නෝය. ‘සම්පහංසකා’ යනු ඒ අර්ථයෙන් ප්රතිපත්තියෙහි අනුසසුත් දැක්වීමෙන් මනාව සතුටු කරන්නෝ, ‘අලං සමක්ඛාතාරො’ යනු දක්ෂයන් වී කියන ලද ආකාරයෙන් ප්රකාශ කරන්නෝ. සද්ධම්මස්ස යනු ප්රතිවේධ සද්ධර්මය හෝ ත්රිවිධ සද්ධර්මයම හෝ දේශනා කරන්නෝ.
දස්සනම්පහං යනු දස්සනම්පි අහං. ඒ මේ දර්ශනය ඇසින් දැකීම (චක්ඛුදස්සන) නුවණින් දැකීම (ඤාණ දස්සන) යයි දෙපරිදිය. එහි - ප්රසන්න ඇස්වලින් ආර්යයන් වහන්සේලාගේ දැකීම ඇසින් දැකීමයි. ආර්යභාවය ඇතිකරන දහම්ද ආර්යභාවය ද විදර්ශනා-මාර්ග ඵලයන්ද අවබෝධ කිරීම නුවණින් දැකීමයි. මේ අර්ථයෙහි (මෙහි) ඇසින් දැකීම අදහස් කරන ලදී. පැහැදුනු ඇස්වලින් ආර්යයන් වහන්සේලාගේ දැකීමද සත්ත්වයන්ට බොහෝ උපකාර වේමයි. සවණං යනු අසවල් රහතන් වහන්සේ අසවල් රටෙහි, හෝ අසවල් ජනපදයෙහි හෝ ගමෙහි හෝ නියමෙහි හෝ විහාරයෙහි හෝ ලෙණෙහි හෝ වාසය කරතියි කියන්නවුන්ගේ හඬ කණින් ඇසීමයි. එය ද බොහෝ උපකාර වේමය. උපසංකමණං යනු දානයක් හෝ දෙන්නෙමි, ප්රශ්නයක් හෝ අසන්නෙමි, ධර්මය හෝ අසන්නෙමි, සත්කාරයක් හෝ කරන්නෙමියි යන මේ ආකාර සිතකින් ආර්යයන් වහන්සේලා වෙත එළඹීමයි. පයිරුපාසනං යනු ප්රශ්න ඇසීමට ඇසුරු කිරීමයි. ආර්යයන්ගේ ගුණ අසා උන්වහන්සේලා වෙත එළඹ ආරාධනා කොට දන් දී හෝ වත් පිළිවෙත් කොට හෝ ස්වාමීනි කුසලය යනු කුමක් ද? ආදී වශයෙන් ප්රශ්න ඇසීම යන අර්ථයි. වතාවත් ආදිය කිරීම පයිරුපාසනයමය. අනුස්සරණං යනු රාත්රී ස්ථානයක, දිවා ස්ථානයක හිඳින තැනැත්තා විසින් දැන් ආර්යයන් වහන්සේලා රුක් ගොමු, ලෙන්, මණ්ඩප ආදියෙහි වැඩසිට ධ්යාන, විදර්ශනා, මාර්ග-ඵල සුවයෙන් කල්ගෙවතියි උන්වහන්සේලාගේ දිව්යවිහාර ආදී ගුණ විශේෂයන් අරමුණු කොට සිහිකිරීමයි. යම් තැනැත්තෙක් උන්වහන්සේලාගේ සමීපයෙන් අවවාද ලබන ලද්දේ වේද ඒ අවවාදය සිහිකොට මෙතැන සීලය කියන ලදී. මෙතැන සමාධිය කියන ලදී, මෙතැන විදර්ශනාව කියන ලදී, මෙතැන මාර්ගය කියන ලදී, මෙතැන ඵලය කියන ලදී යයි මෙසේ සිහිකිරිමයි.
අනුපබ්බජං යනු ආර්යයන් වහන්සේලා කෙරෙහි සිත පහදවා ගිහිගෙයින් නික්ම උන්වහන්සේලා සමීපයෙහි පැවිදිවීමය. ආර්යයන් වහන්සේලා කෙරෙහි සිතපහදවා උන්වහන්සේලා සමීපයෙහිම පැවිදිව උන්වහන්සේලාගේම අවවාද අනුශාසනා බලාපොරොත්තුවෙන් හැසිරෙන තැනැත්තාගේ පැවිද්ද අනුපබ්බජ්ජා (අනුව පැවිදිවීම) නම් වේ. අන්යයන් සමීපයෙහි අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමින් හැසිරෙන තැනැත්තාගේ පැවිද්ද ද අනුපබ්බජ්ජා නම් වේ. ආර්යයන් වහන්සේලා කෙරෙහි පැහැදීමෙන් අන්තැනක පැවිදිව ආර්යයන් වහන්සේලා සමීපයෙහි අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමින් හැසිරෙන තැනැත්තාගේ පැවිද්ද අනුපබ්බජ්ජාවමය. අන්යයන් කෙරෙහි පැහැදීමෙන් අන්යයන් වෙත පැවිදිව අන් අයගේ අවවාද අනුශාසනා බලාපොරොත්තු වන තැනැත්තාගේ අන් පැවිද්ද අනුපබ්බජ්ජා නම් නොවේ. කියන ලද ආකාරයෙන් පැවිදි වූවන් අතර මහාකාශ්යප තෙරුන් වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ලක්ෂයක් පමණ වූහ. එසේම උන්වහන්ගේ සද්ධිවිහාරික (ශිෂ්ය) චන්දගුත්ත තෙරුන් වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ද ලක්ෂයක් පමණ වූහ. උන්වහන්සේගේ සද්ධිවිහාරික සුරියගුත්ත තෙරුන් වහන්සේන්ගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ද ලක්ෂයක් පමණ වූහ. උන්වහන්ගේ සද්ධිවිහාරික අස්සගුත්ත තෙරුන් වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ද ලක්ෂයක් පමණ වූහ. උන්වහන්සේගේ සද්ධිවිහාරික යෝනක ධම්මරක්ඛිත තෙරුන් වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ ද ලක්ෂයක් පමණ වූහ. අසෝක රජුගේ මල්ලී වූ තිස්ස තෙරුන් වහන්සේ යෝනක ධම්මරක්ඛිත තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික වූහ. උන්වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූවෝ කෝටි දෙකහමාරක් පමණ වූහ. දීප ප්රසාදක මහා මහින්ද තෙරුන්වහන්සේගේ පැවිද්ද අනුව පැවිදි වූ අයගේ ගණන සීමාවක් නැත. අද දවස තෙක් ලක්දිව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පැවිදි වන්නෝ මහා මහින්ද තෙරුන් වහන්සේගේම පැවිද්ද අනුව පැවිදි වෙති.