2. චතුරනවද්ය සූත්ර වර්ණනාව
දෙවන සූත්රයෙහි අප්පානි යනු ස්වල්ප. සුලභානි යනු පහසුවෙන් ලැබිය යුතු, යම්කිසි තැනකින් හෝ ලබන්නට හැකිවෙයි. අනවජ්ජානි යනු (සිවුපසය සෙවීමට) පැමිණි ආකාරයෙන් පිරිසිදු බැවින් ද කය සැරසීමාදී ක්ලේශවස්තු ඇතිවීමක් නැති බැවින් ද වැරදි නැති, නිදොස්. එහි සුලභ බැවින් සෙවීමේ දුක නැති බව දක්වන ලද්දේ වෙයි. ස්වල්ප බැවින් පරිහරණය කිරීමේ දුක නැති බව දක්වන ලද්දේ වෙයි. නිවැරදි බැවින් නොගැරහිය යුතු බැවින් භික්ෂුවට සුදුසු බව දක්වන ලද්දේ වෙයි. ස්වල්ප බැවින් තැතිගැනීමට කරුණක් නොවන බව ද සුලභ බැවින් ඇලීමට කරුණක් නොවන බව ද නිවැරදි බැවින් ආදීනව (දොස්) වශයෙන් බැහැරවීම (නිස්සරණ) ප්රකටවන කරුණක් බව ද දක්වන ලද්දේ වෙයි. ස්වල්ප බැවින් ලැබෙන පරිද්දෙන් (යථාලාභෙන) සොම්නස නූපදී. සුලභ බැවින් අලාභයෙන් (නොලැබීමෙන්) දොසක් නූපදී. නිවැරදි බැවින් විපිළිසර වීමට (පසුතැවිල්ලට) කරුණක් නැති බැවින් පසුතැවීමට හේතුවක් නොදැනීම නිසා ඇතිවන උපේක්ෂාවක් නූපදී.
පංසුකූලං යනු වීදියක් - සොහොනක් කුණුගොඩක් ආදී යම්කිසි තැනක පස් උඩ සිටි බැවින් ඉහළට නැගුණු අර්ථයෙන් පස්ගොඩක් මෙනි යන අරුතින් පංසුකුල නම් වේ. පස් මෙන් පිළිකුල් බවට යයි යන අරුතින් පංසුකූලයයි මෙසේ ලැබූ නම් ඇති, වීදි ආදියෙහි වැටී ඇති රෙදි කැබලි එක්රැස්කොට සකස් කරන ලද සිවුර. පිණ්ඩියාලොපො යනු කෙණ්ඩා මස්පිඬුවේ බලයෙන් හැසිර ඒ ඒ ගෙයින් පිඬුවක් පිඬුවක් කොට ලබන ලද භෝජනය. රුක්ඛමූලං යනු විවේකයට සුදුසු යම්කිසි ගසක් සමීපය. පූතිමුත්තං යනු ගවයෙකුගෙන් ලබාගන්නා ලද යම් මුත්රා. සිරුර රන්වන් පැහැයෙන් යුක්ත වුවද කුණු කයක්මය. මෙසේ අලුත් මුත්රා වුවද කුණු මුත්රාමය. එහිදී ඇතැමෙක් ගොමුත්රයෙහි යොදන ලද අරළු කැබැල්ලක් පූතිමුත්ත යයි කියති. තවත් අයෙක් වෙළඳසැල් ආදියෙන් කුණු වූ නිසා ඉවත දමන අයිතියක් නැති යම්කිසි බෙහෙතක් පූතිමුත්ත යනුවෙන් අදහස් කරන ලදැයි කියති.
යතො ඛො යනු ප්රථමා විභක්තියෙහි අවධි (පංචමී) විභක්ති වචනයකි. යං ඛො යනුවෙන් කියන ලද්දේ වෙයි. එයින් ‘තුට්ඨො හොති’ යනුවෙන් කියන ලද ක්රියාව ස්පර්ශ කරයි. (අල්ලා ගනියි). තුට්ඨො යනු සතුටු වූයේ. ඉදමස්සාහං යනු යම් මේ සිවුවැදෑරුම් කියන ලද ආකාර ඇති ස්වල්ප වූ සුලභ වූ ප්රත්යයෙන් සතුටක් ඇත්ද මෙය මේ භික්ෂුවගේ සීල සංවරාදීන් අතුරෙන් ශ්රමණභාවය ඇතිකරන්නා වූ පැවිද්ද පිළිබඳ වූ එක්තරා එක් අංගයක් යයි මම කියමි. සතුටු වූ තැනැත්තාගේ චතුපාරිසුද්ධි සීලය සම්පූර්ණ වෙයි. සමථ විපස්සනා භාවනාවෝ ද සම්පූර්ණව වීමට යති. නැතහොත් ආර්ය මාර්ගය සාමඤ්ඤ නම් වේ. කෙටියෙන් බාහිර - අජ්ඣත්තික යයි ඒ ආර්ය මාර්ගයේ අංග දෙකකි. එහි බාහිර වශයෙන් සත්පුරුෂ ආශ්රය ද සද්ධර්ම ශ්රවණය ද අජ්ඣත්තික වශයෙන් යෝනිසෝ මනසිකාරය ද ධර්මානුධර්ම ප්රතිපත්තිය ද වෙයි. ඒ අතරින් යම්හෙයකින් සුදුසු පරිදි ධර්මානුධර්ම ප්රතිපත්තිය වූ එයට අල්පේච්ඡතාව, සතුට, විවේකයට කැමති බව, පුද්ගලයින් සමග නොඇලුණු පැවතුම් ඇති බව, ඇරඹූ වීර්ය ඇති බව යන මේ ආදී ධර්ම මූලකාරණා වේද එහෙයින් ‘ඉදමස්සාහං අඤ්ඤතරං සාමඤ්ඤංගං’ යනුවෙන් කියමියි කියන ලදී.
ගාථාවන්හි සේනාසනමාරම්හ යනු විහාරාදිය, ඇඳපුටු ආදිය යන සේනාසනයක් නිසා (අරබයා). චීවරං පානභෝජනං යනු අඳින සිවුරු ආදියක්, අඹපැන් ආදී පැනයක්, කෑ යුතු අනුභව කළයුතු ආදී වූ අනුභවයට සුදුසු දෙයක් නිසා යයි සම්බන්ධ වෙයි. විඝාතො නැසූ බව, සිතේ දුකක් න හොති නොවෙයි යනුවෙන් යෙදීම වෙයි. මේ එහි කෙටි අර්ථයයි. අසවල් ආවාසයෙහි නම් (සිවුරු ආදී) ප්රත්ය සුලභයයි ලැබිය යුතු තැනට යාමෙන් හෝ මට ලැබෙයි ඔබට නොලැබෙයි කියා විවාදයට පැමිණීමෙන් හෝ අලුත් කර්මාන්ත කිරිම් වශයෙන් හෝ සෙනසුන් ආදිය සොයන්නා වූ නොසතුටට පත් අයට කැමති දේ නොලැබීම් ආදියෙන් සිතේ යම් නැසුණු බවක් (දුකක්) වෙයි ද ඒ දුක ඒ ප්රත්යයන්හි සතුටු වූ තැනැත්තාට නොවෙයි. දිසා නප්පටිහඤ්ඤති යනු සතුටුවීමෙන් සිවුදිසා වශයෙන් දිසා නොගැටෙයි. මේ කාරණය -