ගාථාවන්හි : ගෙහ නිස්සිතං යන මෙහි නිවැසියන් විසින් හැර නොදැමූ බැවින් හෝ ගෘහවාසීන්ගේ ස්වභාවය බැවින් හෝ ගෘහධර්මය බැවින් හෝ වස්තුකාමය ගෙයයි කියනු ලැබේ. (ගෙයට වස්තුකාම යයි කියනු ලැබේ) නොහොත් ගෙට බැඳී ඇති බැවින් හෝ ක්ලේශ කාමයන්ට නිවාසස්ථානයක් වූ බැවින් හෝ එය මූලාධාර කොට ඇති බැවින් හෝ කාම විතර්කාදිය ගෙහනිස්සිත නම් වේ. කුම්මග්ගං පටිපන්නො යනු යම්හෙයකින් ආර්ය මාර්ගයට වැරදි මාර්ගයක් වීම් වශයෙන් අභිජ්ඣාදිය ද ඒ හා බැඳී ඇති ධර්ම ද කුම්මග්ගය (වැරදි මාර්ගය) නම් වෙයි. එහෙයින් කාම විතර්කාදිය බහුල පුද්ගලයා වැරදි මාර්ගයට බැසගත්තේ නම් වෙයි. මොහනෙය්‍යෙසු මුච්ඡිතො යනු මෝහයට පැමිණවීමට සුදුසු රූපාදියෙහි මුළාවූයේ මත්වූයේ ගිලගෙන සිටියේ. සම්බොධි යනු ආර්යමාර්ග ඥානය. ඵුට්ඨුං යනු ස්පර්ශ කරන්නට, පැමිණීමට. සො තාදිසො මිථ්‍යා සංකල්ප ගොදුරුකොට ඇති තැනැත්තා කිසිකලෙකත් එයට නො පැමිණෙයි යන අර්ථයි.
විතක්කං සමයිත්‍වාන යනු කියන ලද ආකාර මිථ්‍යා විතර්ක ප්‍රත්‍යවේක්ෂා භාවනා බලයෙන් සංසිඳුවා. විතක්කූපසමෙ රතො යනු නව මහා විතර්කයන් අතිශයින් සන්සිඳුනා වූ අර්හත්වයෙහිම හෝ නිවනෙහිම හෝ අදහස් වශයෙන් ඇලුණේ මනාව ඇලුණේ. භබ්බො සො තාදිසො යනු කියන ලද ආකාර ඇති මනාව පිළිපදින්නා වූ ඒ පුද්ගලයා පූර්ව භාගයෙහි සමථ විදර්ශනා බලයෙන් සුදුසු පරිදි සියලු විතර්කයන් තදංගාදි වශයෙන් සන්සිඳුවා ගෙන සිටියේ විදර්ශනාවට උත්සාහවත් කරවා මාර්ග පිළිවෙළින් අර්හත් මාර්ග ඥාන සංඛ්‍යාත වූද නිර්වාණ සංඛ්‍යාත වූද අනුත්තර වූ සම්බොධිං ථුට්ඨුං සම්බෝධිය ලබන්නට සුදුසු වූවෙක් සමත් වූවෙක් වෙයි.
එකොළොස්වන සූත්‍රයයි.
12. සම්පන්නසීල සූත්‍ර වර්ණනාව
දොළොස්වන සූත්‍රයෙහි සම්පන්න සීලා යන්න මෙහි ‘සම්පන්න’ යන්න පරිපුණ්ණ, සමංගී, මධුර වශයෙන් තුන් ආකාරය. ඒවායින්
සම්පන්නං සාලිකේදාරං සුවා භුඤ්ජන්ති කොසිය
පටිවෙදෙමි තෙ බ්‍රහ්මෙ න නෙ වාරෙතු මුස්සහෙ
කෝසිය, සරුවට වැඩුණු ඇල්වී කෙත ගිරව් අනුභව කරති. එය වළක්වන්නට නොහැක්කෙමි. බමුණ, එය ඔබට දන්වමි.
මෙහි ‘සම්පන්න’ ශබ්දය පරිපූර්ණ වූ අර්ථ ඇත්තෝය. ‘ඉමිනා පාතිමොක්‍ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො සම්පන්නො සමන්නාගතො’ මේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්ත වූයේ වෙයි. (උපෙත -පෙ- සමන්නාගත යන වචන හය සමාන අරුත් ඇත) මෙහි සම්පන්න ශබ්දය යුක්ත වූයේ (සමංගීභාව) යන අර්ථ ඇත්තේය. ‘ඉමිස්සො භන්තෙ මහාපඨවියා හෙට්ඨිමං තලං සම්පන්නං සෙය්‍යථාපි ඛුද්දමධුං අනීලකං එවමස්සාදං’ ස්වාමීනි, මේ මහපොළොවෙහි යට පෙදෙස මිහිරි රසයෙන් සමෘද්ධ වෙයි. පිලවුන් නැති මීවදයක් මෙන් රසවත් වෙයි.’ මෙහි සම්පන්න ශබ්දය මිහිරි (රසවත්) යන අර්ථ ඇත්තේය. මෙහි (මේ සූත්‍රයෙහි) පරිපූර්ණ අර්ථයෙහිත් යුක්ත බවෙහිත් සුදුසුය. එහෙයින් ‘සම්පන්න සීලා’ යනු පරිපූර්ණ සිල් ඇත්තන් වී සීලයෙන් යුක්ත වූවන් වී යනුවෙන් ද මෙසේ මෙහි අර්ථය දතයුතුය.
එහි ‘පරිපුණ්ණසීලා’ යන මේ අර්ථයෙන් කෙතෙහි දොස් පහවීමෙන් කෙත සම්පූර්ණ වූවාක් මෙන් සම්පූර්ණ වූයේ නම් වෙයි. එහෙයින් කෙතෙහි දොස් පහවීමෙන් කෙත සම්පූර්ණ වූවාක් මෙන් සීලයෙහි දොස් පහවීමෙන් ශීලය සම්පූර්ණ වූයේ යයි කියන ලදී යනුවෙන් කියන ලදී. සීලසමංගිනො යන මේ අර්ථයෙන් සීලයෙන් යුක්ත වූවන් වී එක්වූවන් වී වාසයකරව් යනුවෙන් කියන ලද්දේ වෙයි. එහි ශීල විපත්තියෙහි දොස් දැකීමෙන් ද ශීල සම්පත්තියෙහි අනුසස් දැකීමෙන් ද යන කරුණු දෙකින් ශීලයෙන් යුක්ත බව වෙයි. ඒ දෙකම විසුද්ධිමග්ගයෙහි කියන ලද අයුරින් දතයුතුය. එහි ‘සම්පන්නසීලා’ යන මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ චතුපාරිශුද්ධි ශීලය වදාරා ‘පාතිමොක්‍ඛ සංවර සංවුතා’ යන මෙයින් වැඩිහිටි ශීලය (ජෙට්ඨක සීල) දැක්වූහ යනාදියෙන් මෙහි කිවයුතු දෙය මුලින් කියන ලද්දේමය. කිමස්ස උත්තරිං කරණීයං යනු මෙසේ සීලයෙන් යුක්තව වාසය කරන ඔබ විසින් මත්තෙහි කුමක් කළ යුතුද? පිළිපැදිය යුතුද? යන අර්ථයි.