අග්ගස්මිං දානං දදතං යනු අග්‍ර වූ රත්නත්‍රය කෙරෙහි දන් දෙන්නවුන්ට දිය යුතු දේ දෙන්නවුන්ට. එහි ජීවමාන භාග්‍යවතුන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරන්නෝ පූජා කරන්නෝ සත්කාර කරන්නෝ පිරිනිවි භාග්‍යවතුන් වහන්සේ උදෙසා ධාතු චෛත්‍ය ආදියට උපස්ථාන කරන්නෝ පූජා කරන්නෝ සත්කාර කරන්නෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දන් දෙන්නාහු නම් වෙති. ධර්මයට පූජා කරන්නෙමුයි සිතා ධර්මධර යම් පුද්ගලයන් කෙරෙහි සිවුපසයෙන් උපස්ථාන කරන්නාහු පූජා කරන්නාහු සත්කාර කරන්නාහු ධර්මය බොහෝකල් පැවැත්මට ක්‍රියා කරන්නාහු ධර්මය කෙරෙහි දානය දෙන්නාහු නම් වෙති. එසේ ආර්ය සංඝයාට සිවුපසයෙන් උපස්ථාන කරන්නාහු පූජා කරන්නාහු සත්කාර කරන්නාහු ඒ ආර්ය සංඝයා උදෙසා අනිත් සංඝයා කෙරෙහි ද එසේ පිළිපදින්නාහු සංඝයා කෙරෙහි දානය දෙන්නාහු නම් වෙති.
අග්ගං පුඤ්ඤං පවඩ්ඪති යනු මෙසේ රත්නත්‍රය කෙරෙහි පැහැදුනු සිතින් උදාර පරිත්‍යාග ද උදාර පූජා සත්කාර ද පවත්වන්නවුන් විසින් දිනපතා අග්‍ර වූ උදාර වූ කුසල් රැස්කරනු ලැබේ. දැන් ඒ පිනේ අග්‍ර විපාක ඇති බැවින් අග්‍ර භාවය දැක්වීමට ‘අග්ගං ආයූ’ යනාදිය දේශනා කරන ලදී. එහි අග්ගං ආයු දිව්‍යමය වූ හෝ මානුෂික වූ හෝ අග්‍ර වූ වඩා උදාර ආයුෂයයි. පවඩ්ඪති යනු මතු මත්තෙහි වැඩේ. වණ්ණො යනු රූප සම්පදාවයි. යසො යනු පරිවාර සම්පත්තියයි. කිත්ති යනු ගුණ ඝෝෂාවයි. සුඛං යනු කායික වූ චෛතසික වූ ද සැපයයි. බලං යනු කාය බලය ද ඤාණ බලය ද වෙයි.
අග්ගස්ස දාතා යනු අග්‍ර වූ රත්නත්‍රයට පරිත්‍යාග කරන්නා වූ නැතහොත් අග්‍ර වූ දාන වස්තුව (දෙය්‍ය දර්මය) දීම උසස්කොට එහි පින පවත්වන්නායි. අග්ගධම්ම සමාහිතො යනු අග්‍ර වූ ප්‍රසාද ධර්මයෙන් ද දානාදී ධර්මයෙන් ද ‘සමාහිතො’ යුක්ත වූයේ අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ. ඒ පිනෙහි විපාක වූ බොහෝ ජනයාට ප්‍රියමනාප බව ආදී ධර්මවලින් යුක්ත වූයේ. අග්ගප්පත්තො පමොදති යනු යම් සත්ත්ව නිකායක උපන්නේ ඒ ඒ සත්ත්ව නිකායෙහි අග්‍රභාවයට ශ්‍රේෂ්ඨ භාවයට පැමිණියේ, අග්‍රභාවය වූ ලෝකෝත්තර මාර්ගඵලයට පැමිණියේ ‘පමොදති’ අභිරමණය කරයි. විශේෂයෙන් සතුටු වෙයි.
පළමු සූත්‍රයයි.
2. ජීවිකා සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රය කරුණක් ඇතිවිම් වශයෙන් දේශනා කරන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවාසය කරන කල්හි භික්‍ෂූහු ආගන්තුක භික්‍ෂූන්ට සෙනසුන් පනවමින් පාත්‍රා සිවුරු තැන්පත් කරමින් සිටින කල්හි සාමණේරයෝ ද සංඝයාගේ (සිවුරු පිරිකර ආදී) ලාභ බෙදන ස්ථානයෙහි දී පැමිණි නොපැමිණි භික්‍ෂූන්ගේ ලාභ ගනිමින් උස්හඬින් මහා හඬින් කථාකරන්නෝ වූහ. එය අසා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් නෙරපූහ. ඒ සියල්ලෝම මේ ධර්ම විනයට අලුත පැමිණි නවකයෝය. මහා බ්‍රහ්මයා එය දැන අවුත් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා පිළිගනිත්වා. ඒ නෙරපූ භික්‍ෂූන් සඳහා සමාව දෙන ලෙස යාඥා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අවකාශ දුන්හ. ඉක්බිති බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ විසින් මම කරන ලද අවකාශ ඇත්තේ වෙමියි සිතා භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්මුණේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා ආපසු පැමිණේවායි ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ බව දැක්වූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් කැඳවන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ තැතිගත් ස්වභාවය ඇතිව එකත්පසෙක හිඳගත්හ. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලාට ගැලපෙන දේශනාවක් විමසමින් මොවුහු ආමිෂ හේතුවෙන් නෙරපූහ. පිණ්ඩියාලෝප ධර්ම දේශනාව ඔවුන්ට ගැලපේ යයි සිතා ‘අන්තමිදං භික්‍ඛවෙ’ යන මේ දේශනාව දේශනා කළහ.
එහි මේ අන්ත ශබ්දය ‘සන්ති භික්‍ඛවෙ එකෙ සමණ බ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො’ ‘මහණෙනි, පූර්වාන්ත කල්පික වූ (අතීත ආත්මභාව සංඛ්‍යාත ඉක්මගිය ස්කන්ධ පරම්පරා කොටස තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වරදවා ගත්) ඒ අතීත ස්කන්ධ පරම්පරා කොටස අනුව පහළ කොටගත් දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත්තාහ.’ යනාදියෙහි කොට්ඨාස අර්ථයෙහි ආයේය. ‘අන්තමකාසි දුක්‍ඛස්ස’ ‘දුක් කෙළවර කළේය’, ‘අන්තවා අයං ලොකො පරිවටුමො’ ‘මේ ලෝකය අන්තයක් ඇති එකකි, හාත්පසින්ම වටය’ යනාදියෙහි වෙන්කිරීම් (පරිච්ඡේද ) අර්ථයෙහි ආයේය. ‘හරිතන්තං වා පථන්තං වා සෙලන්තං වා’ ‘හරිත (වන) කෙළවර හෝ මාර්ගය කෙළවර හෝ ගල් පර්වතය කෙළවර හෝ යනාදියෙහි සීමා අර්ථයෙහි ආයේය. ‘අන්තං අන්තගුණං’ ‘බඩවැල, කුඩා බඩවැල’ යනාදියෙහි ශරීර අවයව යන අර්ථයෙහි ආයේය. ‘චරන්ති හෙකෙ පරිවාර ඡන්නා අන්තො අසුද්ධා බහි සොභමානා’ ‘ඇතැමෙක් පිරිවරින් වැසී ඇතුළතින් අපිරිසිදුව පිටතින් ශෝභමානව හැසිරෙත්’ යනාදියෙහි සිත යන අර්ථයෙහි ආයේය. ‘අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසිනී’ ‘ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ සුදුපියුම් හෝ වේද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලයෙන් උඩට නොනැගුණා වූ ජලයෙහි ගැලී පෝෂණය වන්නා වූ යනාදියෙහි අභ්‍යන්තර අර්ථයෙහි ආයේය.
මිගානං කොත්‍ථුකො අන්තො පක්‍ඛීනං පන වායසො
එරණ්ඩො අන්තො රුක්‍ඛානං තයො අන්තා සමාගතා
‘සිවුපාවුන් අතරින් සිවලා ලාමකය. පක්‍ෂීන් අතරින් කපුටා ලාමකය. ගස් අතරින් එරඬු ගස ලාමකය. ලාමක වූ තුනක් එක්රැස් විය.’
යනාදියෙහි ලාමක අර්ථයෙහි ආයේය. මෙහිද ලාමක අර්ථයෙහිම දතයුතුය. එහෙයින් අන්තමිදං භික්‍ඛවෙ ජීවිකානං යනු මහණෙනි, ජීවත්වීම සඳහා කරන ක්‍රියාවන් අතරින් මෙය (පිඩුසිඟීම) අන්තය, පශ්චිමය, ලාමකය, සියල්ලට පහත් ජීවිතය යන අර්ථයි. යදිදං පිණ්ඩොල්‍යං යනු යම් මේ පිණ්ඩපාතය සොයා යාමෙන් භික්‍ෂාව සොයා හැසිරීමෙන් ජීවිකාව කරන්නවුන්ගේ ජිවිතය. මේ වනාහි මෙහි පදාර්ථයයි: පිඬු පිණිස හැසිරෙයි යන අරුතින් පිණ්ඩොල නම් වේ. (පිණ්ඩාය උලතීති = පිණ්ඩොලො) පිඬුසිඟා යන්නහුගේ ක්‍රියාව පිණ්ඩොල නම් වේ. පිණ්ඩ පරියේෂණයෙන් කරන ජීවිකාව යන අර්ථයි.
අභිසාපො යනු ආක්‍රෝශයයි. කිපුණු මිනිස්සු තමාගේ සතුරාට රෙදි කැබැල්ලක් හැඳ කබලක් ගත් අත් ඇතිව පිඬු (ආහාර) සොයමින් හැසිරෙන්නෙහි යයි ආක්‍රෝශ කරති. නැතහොත් ඔබට නොකළයුතු දෙයක් ඇද්ද? ඒ ඔබ මෙසේ බලයෙන් හා වීර්යයෙන් යුක්ත වූයේ හිරි ඔතප් දුරුකොට පාත්‍රයක් ගත් අත් ඇතිව දිළිඳු වූ (පහත් වූ) පිඬු සිඟීමෙහි හැසිරෙන්නෙහි යයි මෙසේත් ආක්‍රෝශ කරත්මය. තඤ්ච ඛො එතං යනු ඒ මේ ආක්‍රෝශයට සමාන පිඬුසිඟා හැසිරීම. කුලපුත්තා උපෙන්ති අත්‍ථවසිකා යනු මගේ ශාසනයෙහි ජාති (උපතින්) කුලපුත්‍රයෝ ද ආචාර (මනා හැසිරිමෙන්) කුලපුත්‍රයෝ ද, ‘අත්‍ථවසිකා’ (ලෞකික ලෝකෝත්තර අර්ථ සිද්ධිය නමැති) කාරණයට වසඟ වූ කුලපුත්‍රයෝ කරුණක් නිසා එළඹෙත්.
‘රාජාභිනීතා’ යනාදියෙහි රජු සන්තක දේ අනුභවකොට රජු විසින් බන්ධනාගාර ගතකරවන ලද යමෙක් (ඉන්) පලාගොස් පැවිදි වෙත් ද ඔවුහු රජු විසින් බන්ධනාගාරයට පමුණුවන ලද්දෝ රාජාභිනීතා නම් වෙති. යමෙක් වනාහි සොරුන් විසින් වනයෙහි දී අල්ලාගෙන ඔවුන් අතරින් ඇතැමෙකු මරනු ලබන කල්හි ඇතැමෙක් ස්වාමීනි, අපි ඔබලා විසින් මුදාහරින ලදුව ගෘහවාසය නොකොට (ගිහි ජීවිතය ගත නොකොට) පැවිදි වන්නෙමු. ඒ ඒ තැනදී යම් යම් බුද්ධපූජාදී පිනක් කරන්නෙමු ද ඒ ඒ තැන සිට ඔබලාට පින් අනුමෝදන් කරන්නෙමුයි කියා සොරුන් විසින් මුදාහරින ලද්දාහු පැවිදි වෙති. ඔවුහු චොරාභිනීතා නම් වෙති. සොරුන් විසින් මැරිය යුතු තැනැත්තා නෙරපා හැරිය බැවිනි. යමෙක් වනාහි ණය ගෙන ආපසු දීමට නොහැකි වන්නාහු පලාගොස් පැවිදි වෙති. ඔවුහු ඉණට්ඨා නම් වෙති. ‘තඤ්ච ඛො එතං පිණ්ඩොල්‍යං කුලපුත්තා මම සාසනෙ නෙව රාජාභිනීතා -පෙ- න ආජීවපකතා උපෙන්ති, අපි ච ඛො ඔතිණ්ණමහා ජාතියා -පෙ පඤ්ඤායෙථා ති උපෙන්ති’ යනු පද සම්බන්ධයයි.