මෙසේ කෙටියෙන්ම රාගචරිත-විතර්ක චරිත ඇති අයට ගැලපෙන පටිකූල මනසිකාර කායානුපස්සනා වශයෙන් සමථ කර්මස්ථානය ද විදර්ශනා කර්මස්ථානය ද නියමකොට (උගන්වා) දැන් ශුද්ධ විදර්ශනා කර්මස්ථානයම දක්වමින් සබ්බ සංඛාරෙසු අනිච්චානුපස්සී විහරථ සියලු සංස්කාරයන්හි අනිත්‍යානුපස්සීව වාසය කරව් යි කීහ. එහි අනිත්‍යය, අනිත්‍ය ලක්‍ෂණය, අනිත්‍ය අනුපස්සනාව, අනිත්‍ය අනුපස්සී යන මේ සතරේ සමූහය (චතුක්කය) දතයුතුය. ඇතිව නැතිවීම් වශයෙන් උදයව්‍යය (උදයබ්බය = ඇතිව නැතිවීම) යෙදීමෙන් ද තාවකාලික වශයෙන් ද නිත්‍යය ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් ද ස්කන්ධ පංචකය අනිත්‍ය නමි. ඒ ස්කන්ධ පංචකයේ ඇතිව නැතිවන ආකාරයක් වේද එය අනිත්‍ය ලක්‍ෂණය නමි. එය (අනිත්‍ය ලක්‍ෂණය) නිමිති කොට පවත්නා විදර්ශනාව අනිත්‍යානුපස්සනාවයි. එය අනිත්‍යය යනුවෙන් විදර්ශනා කරන තැනැත්තා අනිත්‍යානුපස්සී නමි. මෙහිද එකොළොස් ආකාර අශුභ කථාව ප්‍රථම ධ්‍යානයට පමුණුවා සොළොස් (16) ආකාර ආනාපාන කථාව චතුර්ථ ධ්‍යානයට පමුණුවා විදර්ශනා කථාව විස්තර වශයෙන් කිවයුතුය. ඒ කථාව සියලු ආකාරයෙන් විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. එහි කියන ලද අයුරින්ම දතයුතුය.
දැන් අශුභානුපස්සනාදියෙන් උපදවා ගතයුතු ඵල විශේෂය දක්වන්නට ‘අසුභානු පස්සීනං’ යනාදිය කීහ. එහි සුභාය ධාතුයා යනු ශුභ භාවයෙහි, ශුභ නිමිත්තෙහි යන අර්ථයි. රාගානුසයො යනු ශුභ අරමුණෙහි ඉපදීමට සුදුසු කාමරාග අනුසයයි. සො ඒ කාමරාගානුසය කෙස් ආදිය අතුරින් හෝ උද්ධුමාතක ආදිය අතරින් හෝ අශුභානුපස්සීන්ගේ අශුභ නිමිත්ත ගෙන එහි ප්‍රථම ධ්‍යානය උපදවා එය පදනම් කොට විදර්ශනාව පටන්ගෙන අවබෝධ කරන ලද අනාගාමි මාර්ගයෙන් පහීයති සියලු ආකාරයෙන් සහමුලින් සිඳී යනු ලැබේ යන අර්ථයි. මේ කාරණය ‘අසුභා භාවෙතබ්බා කාමරාගස්ස පහානාය’ ‘කාමරාගයේ පහවීම පිණිස අශුභය වැඩිය යුතුය’ යනුවෙන් කියන ලදී.
බාහිරා යනු බාහිර වස්තු ඇති බැවින් ද අනර්ථය ගෙනදෙන හෙයින් ද බාහිර වූ - පිටත වූ. විතක්කාසයා යනු කාම කල්පනාදී වැරදි විතර්ක. පහනොවූ ආසය අනුව ගිය ඒවා ප්‍රත්‍ය සමවාය (එක්වීම) ඇති කල්හි ඉපදීම් වශයෙන් ‘විතක්කාසයා’යි කියන ලදී. මෙහි කාමරාගය ගැනීමෙන් කාම විතර්කයද ගන්නා ලද්දේය. මෙසේ එයට අවශේෂ වූ විතර්කම කියන ලදැයි දතයුතුය. විඝාත පක්‍ඛිකා යනු දුක් පැත්තෙහි වූ හෝ බලාපොරොත්තු විනාශ කිරීම ඇතිකරන. තෙ න හොන්ති යනු ඒවා පහවෙයි. ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, ඤාති විතර්ක, ජනපද විතර්ක, අමරා විතර්ක, අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්ක, ලාභ සත්කාර සිලොක පටිසංයුත්ත විතර්ක, පරානුද්දයතා පටිසංයුත්ත විතර්ක යන අට කාම විතර්කය සමග නවවිධ මහා විතර්ක අනාපාන සමාධියෙන් ද එය ඇසුරු කොට ඇති විදර්ශනාවේ පූර්ව භාගයෙන් මුල් අවස්ථාවෙන්) ද විෂ්කම්භනය (යටපත් කිරීම) කරන ලදුව එය පදනම්කොට ලබාගත් ආර්ය මාර්ගයෙන් සුදුසු පරිදි ඉතිරි නොකොට ප්‍රහීණ වෙයි. මේ කාරණය ‘ආනාපාන සති භාවෙතබ්බා විතක්කූපච්ඡෙදාය’ යනුවෙන් කියන ලදී.
යා අවිජ්ජා සා පහීයති යනු සත්‍ය ස්වභාවය වසන්නා වූ සියලු අනර්ථකාරි සියලු සංසාර දුකට මුල් වූ යම් අවිද්‍යාවක් වේද, අනිත්‍යනුපස්සීව වාසය කරන්නවුන්ගේ එය සහමුලින් සිඳෙයි. මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය ආකාරයෙන් නැගී සිටි ශුෂ්ක විදර්ශක ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේගේ වශයෙන් කියන ලදී. මේ එහි කෙටි අර්ථයයි. භූමි තුනට අයත් සියලු සංස්කාරයන් අතරින් අනිත්‍යදී වශයෙන් විමසා බැලීම පටගෙන අනිත්‍යයයි පවත්නා වූ වුට්ඨානගාමිනී විදර්ශනා මාර්ගයෙන් උත්සාහ කෙරේද, අනුක්‍රමයෙන් අර්හත් මාර්ගය උපදී. ඒ අනිත්‍යානුපස්සීව වාසය කරනවුන්ගේ අවිද්‍යාව ඉතිරි නැතිව පහවෙයි. අර්හත් මාර්ග විද්‍යාව උපදී. ‘අනිච්චානුපස්සීනං විහරතං’ යන මෙය ඔවුන්ට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට බැවින් අනිත් ලක්‍ෂණ දෙක ගැනීමේ උපාය බැවින් හෝ කියන ලදී. එකම ලක්‍ෂණයක් අනුපස්සනා කිරිම් වශයෙන් නොවේ. මේ කාරණය ‘යදනිච්චං තං දුක්‍ඛං යං දුක්‍ඛං තදන්නතා’ යමක් අනිත්‍ය ද එය දුකය, යමක් දුක ද එය අනාත්මය’ යනුවෙන් කියන ලදී. ‘අනිච්චසඤ්ඤිනො හි මෙඝිය අනත්තසඤ්ඤා සණඨාති, අනත්තසඤ්ඤී අස්මිමාන සමුග්ඝාතං පාපුණාති’ ‘මෙඝිය අනිත්‍ය සංඥාව ඇත්තාට අනත්තසඤ්ඤාව පිහිටයි. අනත්ත සඤ්ඤාව ඇති තැනැත්තා අස්මිමානය සහමුලින් නැසීමට පැමිණෙයි’ යනුවෙන් අනිකක් ද කියන ලදී.
ගාථාවන්හි ආනාපානෙ පතිස්සතො යන මෙහි ආනාපාන නිමිත්තෙහි එළඹි එළඹි සිහි ඇති, එළඹි සිහිය යන අර්ථයි. පස්සං යනු ආශ්‍රවයන් ක්‍ෂය කරන ඤාණ ඇසින් සංස්කාර සන්සිඳීම වූ නිවන දකින්නා වූ. ආතාපී සබ්බදා යන අතරතුර කෙළවර කිරීමකට නොපැමිණ අශුභානුපස්සනා ආදියෙහි නිතර කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සුදුසු පරිදි යෙදෙන, එහෙයින්ම යතො වෑයම් කරමින්, නැතහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වෑයම් කරමින්, තත්‍ථ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම වූ නිවනෙහි අරහත්ඵල විමුක්තියෙන් මිදෙයි. ඉතිරිය කියන ලද ක්‍රමයමය.
හයවන සූත්‍රයයි.
7. ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි - ධම්මානුධම්ම පටිපන්නස්ස යන මෙහි ධම්ම නම් නවවිධ ලෝකෝත්තර ධර්මයයි. ඒ ධර්මයේ අනුධර්මය (එනම්) ශීල විශුද්ධි ආදී පූර්වභාග ප්‍රතිපදා ධර්මයයි. ඒ ධර්මානුධර්මයට පිළිපන් ඒ ධර්මානුධර්මය ලබන්නට පිළිපදින්නා වූ (භික්‍ෂුවට) අයමනුධම්මො හොති යනු මේ සුදුසු ස්වභාවය, යෝග්‍ය ස්වභාවය වෙයි. වෙය්‍යාකරණාය යනු කීම පිණිස. ධම්මානුධම්ම පටිපන්නො යං ‘යං’ යනු කරණාර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනයයි. යම් අනුධර්මයකින් ඔහු ඒ ධර්මානුධර්මයට පිළිපන්නේ යයි කියන්නේ ද එය මනාකොට කියන්නේ නම් වෙයි. ඒ හේතුවෙන් ඔහු නුවණැත්තන් විසින් ගැරහිය යුතු නොවන්නේය යන මෙය කියන ලද්දේ වෙයි. ‘යං’ යනු ක්‍රියා පරාමර්ශනය හෝ වෙයි. එයින් මේ ධර්මයම කීම, ධර්ම විතර්කයම විතර්ක කිරිම, ඒ දෙක නැති කල්හි ඥාන උපේක්ෂාවෙන් යුක්ත වීම ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්‍ෂුවට මොහු මෙසේ යයි කීමට අනුරූප හේතු, සුදුසු කාරණයයි (දක්වයි). භාසමානො ධම්මංයෙව භාසෙය්‍ය යනු ඉදින් කථා කරන්නේ දසකථා වස්තු ධර්මයම කථා කරන්නේය. එයට ප්‍රතිවිරුද්ධ මහිච්ඡාතාදි අධර්මයක් කථා නොකරන්නේය. මේ කාරණය :