3. නිඃශරණිය සූත්‍ර වර්ණනාව
තුන්වන සූත්‍රයෙහි නිස්සරණීයා ඉවත්වීම හා බැඳුණු. ධාතුයො යනු සත්ත්ව වශයෙන් ශුන්‍ය භාව. කාමානං යනු කෙලෙස් කාමයන්ගේද වස්තු කාමයන්ගේ ද නැතහොත් ‘කාමානං’ යනු කෙලෙස් කාමයන්ගේ, කෙලෙස් කාමයෙන් ඉවත්වීම වස්තුකාමයෙන් ඉවත්වීමම වෙයි. අන් අයුරකින් නොවේ. මේ කාරණය,
න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සංකප්පරාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ
අථෙත්‍ථ ධීරා විනයන්ති ඡන්‍දං’
ලෝකයෙහි විසිතුරු වූ රූපාදී අරමුණු ඇද්ද ඒවා ‘කාම’ නොවේ. පුරුෂයාගේ අදහස් කරන ලද රාගය කාමයයි. ලෝකයෙහි විසිතුරු වූ රූපාදී අරමුණු එසේම සිටී. එහෙයින් පණ්ඩිතයෝ මේ අරමුණුවල ඡන්‍දරාගය දුරුකරති.
නිස්සරණං යනු ඉවත්වීම. නෙක්‍ඛම්මං යනු ප්‍රථම ධ්‍යානය, විශේෂ වශයෙන් ඒ අශුභාරම්මණය දතයුතුය. යමෙක් වනාහි ඒ ධ්‍යානය පාදකකොට සංස්කාරයන් විමසා බලා තුන්වන මාර්ගයට පත්ව අනාගාමි මාර්ගයෙන් නිවන ප්‍රත්‍යක්‍ෂ කරයි. ඔහුගේ සිත අතිශයින්ම කාමයන්ගෙන් ඉවත්කරන ලදැයි යන මෙය ඉතා උසස් මට්ටමින් කාමයන්ගේ ඉවත්වීම දතයුතුය. රූපානං යනු රූපධර්මයන්ගේ, විශේෂයෙන් අරමුණු සමග කුසල-විපාක-කිරිය භේදයෙන් සියලුම රූපාවචර ධර්මයන්ගේ, ආරුප්පං යනු අරූපාවචර ධ්‍යානය. ඇතැමෙක් වනාහි ‘කාමානං’ යන පදයට සියලුම කාමාවචර ධර්මයන්ගේ යන අර්ථය කියති. ‘නෙක්‍ඛම්මං’ යනු ද රූපාවචර ධ්‍යාන පහ යනුවෙන් කියති. එය අට්ඨ කථාවන්හි නැත. යෙදෙන්නේ ද නැත. භූතං යනු උපන්. සංඛතං යනු එක්රැස්ව ප්‍රත්‍යවලින් කරන ලද. පටිච්ච සමුප්පන්නං යනු කාරණයකින් උපන්. පද තුනෙන්ම (කාම-රූප-අරූප යන) භූමි තුනට අයත් ධර්මයන් ඉතිරි නොකර ගනියි. නිරොධො යනු නිවනයි. මෙහි ද ප්‍රථම ධාතුවෙන් කාමයන් පිළිබඳ විශේෂ දැනීම කියන ලදී. දෙවන ධාතුවෙන් රූපයන් පිළිබඳ විශේෂ දැනීම කියන ලදී. තෙවන ධාතුවෙන් සියලු සංඛත ධර්මයන් පිළිබඳ විශේෂ දැනීම සියලු භවයන්ගෙන් නික්මීම කියන ලදී.
ගාථාවන්හි - කාමනිස්සරණං ඤත්‍වා යනු ඉදං කාමනිස්සරණං කාමයෙන් වෙන්වීම මෙසේය්යි දැන, මෙය කරණකොට ඉක්මවයි යන අරුතින් ඉක්මවීම වෙයි. (එනම්) ඉක්මවන උපායයි. ඒ අතික්කමං අරූපාවචර ධ්‍යානය දැන. මෙහි දී සියලු සංස්කාර සන්සිඳෙයි යන අරුතින් සියලු සංඛාර සමථය (සබ්බ සංඛාර සමථො) එනම් නිවන ය. එය ඵුසං ස්පර්ශ කරන්නා වූ. (ලබන්නා වූ) ඉතිරිය මුලින් කියන ලද අයුරින්මය.
තෙවන සූත්‍රයයි.
4. ශාන්තතර සූත්‍ර වර්ණනාව
සතරවන සූත්‍රයෙහි රූපෙහි යනු රූපාවචර ධර්මයන්ට වඩා සන්තතරා අතිශයින් ශාන්තය. රූපාවචර ධර්ම වනාහි කෙලෙස් මැඩපැවැත්වීමෙන් ද ඕළාරික අංග ප්‍රහාණයෙන් ද සමාධියට භූමිය වන බැවින් ද ශාන්ත නම් වේ. ආරුප්පා අරූපාවචර ධ්‍යාන වනාහි (මුලින් කී) ඒ අංගවලින් ශාන්ත වූ බැවින් ද අරමුණු වශයෙන් ශාන්ත වූ බැවින් ද අතිශයින් ශාන්ත පැවතුම් ඇති හෙයින් රූපාවචර ධ්‍යානයට වඩා ශාන්ත යයි කියන ලදී. නිරොධො යනු නිවනය. අවශේෂ සංස්කාර සියුම් බවට පත්වීමෙන් ද කෙලෙස්දරථ (විඩාව) සන්සිඳුණු හෙයින් ද නිවන අරමුණු වීමෙන් ද සතරවන අරූපාවචර ධ්‍යානයට වඩා ඵලසමාපත්තියම ශාන්තය. සියලු සංස්කාර සන්සිඳීම නම් වූ නිවන ගැන කියනුම කිම. එහෙයින් ආරුප්පෙහි නිරොධො සන්තතරො යි කියන ලදී.
ගාථාවන්හි රූපුපගා යනු රූප භවයට එළඹි, මෙහි රූප භවය රූපයයි කියන ලදී. ‘රූපුප්පත්තියා මග්ගං භාවෙති’ යනාදියෙහි මෙනි. ආරුප්පට්ඨායිනො යනු අරූපාවචර සත්ත්වයෝ. නිරොධං අප්පජානන්තා ආගන්තාරො පුනබ්භවං යන මෙයින් රූපාවචර අරූපාවචර ධර්මවලට වඩා නිරෝධයේ ශාන්තබවම දක්වයි. අරූපෙසු අසණ්ඨිතා අරූප රාගයෙන් අරූප භවයන්හි නොපිහිටියාහු, ඔවුහු ද පිරිසිඳ දන්නාහු යන අර්ථයි. නිරොධො යෙ විමුච්චන්ති යන මෙහි ‘යෙ’ යනු නිපාත මාත්‍රයකි. ඉතිරිය මුලින් කියන ලද පරිදිමය.
සතරවන සූත්‍රයයි.
5. පුත්‍ර සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයෙහි පුත්තා යනු තමාට උපන් එනම් ඖරස පුත්‍රයෝය. නැතහොත් හදාවඩාගත් පුතුන් ආදී අය. සන්තො යනු ඇත්තා වූ. සංවිජ්ජමානා ලොකස්මිං යනු මේ ලෝකයෙහි ලැබෙන්නා වූ. ඇති බැවින් ‘සන්තො’ ය. ප්‍රකට බැවින් ‘විජ්ජමානා’ය. අතිජාතො යනු තමාගේ ගුණවලින් මව්පියන් ඉක්මවා උපන්, මව්පියන්ට වඩා අධික ගුණ ඇත්තා වූ යන අර්ථයි. අනුජාතො යනු ගුණධර්මවලින් මව්පියන්ට අනුරූපව උපන්, ඔවුන්ට සමාන වූ ගුණ ඇත්තේ යන අර්ථයි. අවජාතො යනු ගුණධර්මවලින් මව්පියන්ට අවම ගුණ ඇත්තෙක්ව උපන්, ඔවුන්ට වඩා හීන ගුණ ඇත්තේ යන අර්ථයි. යම් ගුණධර්මවලින් යුක්ත වූ පුත්‍රයා මව්පියන්ගේ ගුණවලට අධික වූයේ ද සම වූයේ ද පහත් වූයේ ද යනුවෙන් අදහස් කරන ලදී. ඒවා බෙදා දක්වන්නට ‘කථඤ්ච භික්‍ඛවෙ පුත්තො අතිජාතො හොති’ යනුවෙන් කියනු කැමැත්තෙන් විමසීම සිදුකොට ‘ඉධ භික්‍ඛවෙ පුත්තස්ස’ යනාදී වශයෙන් නිර්දේශය (විස්තර කොට දැක්වීම) ආරම්භ කරන ලදී.