4. අධ්ව සූත්ර වර්ණනාව
සතරවන සූත්රයෙහි අද්ධා යනු කාලයයි. ‘අතීතො අද්ධා’ යනාදියෙහි සූත්රාන්ත පරියාය අභිධර්ම පර්යාය යනුවෙන් පර්යාය දෙකකි. එහි සූත්රාන්ත පර්යායයෙන් ප්රතිසන්ධියෙන් පෙර අවස්ථාව අතීත අද්ධය නම් වේ. චුතියෙන් පසුව අනාගත අද්ධය නම් වෙයි. චුති පටිසන්ධි දෙක සමග ඉන් අනතුරුව වර්තමාන අද්ධය නම් වෙයි. අභිධර්ම පර්යායයෙන් උත්පාද - ඨිති - භංග (ඉපදීම - පැවැන්ත - නැතිවීම) යන මේ ක්ෂණ තුනට පැමිණ නිරුද්ධ වූ ධර්ම අතීත අද්ධය (අතීත කාලය) නමි. ක්ෂණ තුනට නොපැමිණි ධර්ම අනාගත අද්ධය තමි. ක්ෂණ තුනෙන් යුක්ත වූයේ වර්තමාන අද්ධය නමි.
වෙනත් ක්රමයක් : මේ අතීතාදී විභාගය අද්ධ - සන්තති - සමය - බණ වශයෙන් සතර ආකාරයකින් දතයුතුය. ඒවා අතරින් අද්ධ විභාගය (කාලය බෙදීම) කියන ලදී. ‘සන්තති’ වශයෙන් සමාන වූ එක් උතුසමුට්ඨානයක් (ඍතුජ රූපයක්) ද එක් ආහාර සමුට්ඨානයක් (ආහාරජ රූපයක්) ද පෙරපසු වශයෙන් පවත්නේ වර්තමානයයි. එයින් පෙර වූ අසමාන වූ උතු - ආහාර යන සමුට්ඨාන අතීතය, එයින් පසු වූ ඒවා අනාගතය. එක් චිත්ත වීථියක, එක් ජවන් වාරයක, එක් සමාපත්ති වාරයක සමුට්ඨාන වන (උපදින්නා වූ,) චිත්තජ රූප වර්තමානය, එයින් පෙර අතීත යයි ද එයින් පසු අනාගත යයි ද කියනු ලැබේ. කම්ම සමුට්ඨාන (කර්මයෙන් උපදින) රූපයන්ගේ පරම්පරා වශයෙන් වෙන් වෙන් වූ අතීතාදී භේදයක් නැත. ඒ ඍතු-ආහාර-චිත්ත යන මේවායින් උපදින රූපයන්ට උපකාර වශයෙන් ඒ කර්ම සමුට්ඨානයේ අතීතාදී බව දතයුතුය. ‘සමය’ වශයෙන් (කාල වශයෙන්) එක් මොහොතක, පෙරවරුව, සවස, රාත්රිය, දවල් යන කාලවල සන්තාන (පරම්පරා) වශයෙන් පවත්නාවූ රූප ධර්ම ඒ ඒ සමයෙහි වර්තමාන නමි. එයින් පෙර අතීතය, එයින් පසු අනාගතය. පළමුකොට මේ රූප ධර්මයන්හි ක්රමයයි.
අරූප ධර්මයන්හි වනාහි - ක්ෂණ වශයෙන් උත්පාද ආදී ක්ෂණ තුනට ඇතුළත් වූ අරූප ධර්ම වර්තමානය. එයින් පෙර අතීතය, එයින් පසු අනාගතය. තව ද හේතු ප්රත්යයන්ගේ කටයුතු ඉක්මවන ලද ධර්ම අතීතය, හේතූන්ගේ කටයුතු නිමවන ලද ධර්ම ද ප්රත්යයන්ගේ කටයුතු නො නිමි ධර්ම ද වර්තමානය. මේ කටයුතු දෙකටම නොපැමිණි ධර්ම අනාගතය. තමාගේ (ඒ අරූප ධර්මයන්ගේ) කටයුතු සිදුවන මොහොතෙහි වර්තමානය, එයින් පෙර අතීතය, එයින් පසු අනාගතය. මෙහි ද ක්ෂණ ආදී කථාව නිප්පරියාය (ප්රධාන) වෙයි. අනිත්වා පරියාය (අප්රධාන) වෙයි. මේ අතීත ආදී භේදය ඇත්තේ (රූප-අරූප) ධර්මවලට මිස කාලයට නොවෙයි. අතීතාදී භේද ඇති මේ ධර්ම සලකාගෙන පරමාර්ථ වශයෙන් කාලය අවිද්යාමාන වුවද මෙහිදී ඒ ව්යවහාරයෙන් අතීත ආදී වශයෙන් කියන ලදැයි දතයුතුය.
ගාථාවන්හි අක්ඛෙය්යසඤ්ඤිනො යන මෙහි කියනු ලැබේ, කතාකරනු ලැබේ, පනවනු ලැබේ යන අරුතින් ‘අක්ඛෙය්ය’ නම් වේ. කථාවස්තුය. අර්ථ වශයෙන් රූපාදී පංචස්කන්ධයයි. ඒ කාරණය මෙසේ කියන ලදී -
‘අතීතං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්ය, අනාගතං වා - පච්චුප්පන්නං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්ය’ ‘අතීත කාලය හෝ අරබයා කතා කරන්නේය, අනාගත කාලය හෝ වර්තමාන කාලය හෝ අරබයා කතා කරන්නේය.’
‘තථා යං භික්ඛවෙ, රූපං අතීතං නිරුද්ධං විපරිණතං, ‘අහොසී’ ති තස්ස සංඛා, ‘අහොසී’ති තස්ස සමඤ්ඤා, ‘අහොසී’ති තස්ස පඤ්ඤත්ති, න තස්ස සංඛා ‘භවිස්සතී’ති, න තස්ස සංඛා අත්ථි’ ත’ ‘මහණෙනි, යම් රූපයක් අතීත ද නිරුද්ධ ද විපරිණත ද ‘වූයේය’ යනු ඒ රූපයේ සංඛ්යාවයි. ‘වූයේය’’ යනු ඒ රූපයේ නමයි. ‘වූයේය’ යනු ඒ රූපයේ පැණවීමයි. ‘වන්නේය’ යනු ඒ රූපයේ සංඛ්යාව නොවෙයි. ‘ඇත’ යනු ඒ රූපයේ සංඛ්යාව (ගිණීම, ගණන් ගැනීම) නොවේ.
මෙසේ කියන ලද නිරුක්තිපථ සූත්රයෙන් ද මෙහි අර්ථය පැහැදිලි කරගත යුතුය. මෙසේ කථාවස්තු භාවයෙන් අක්ඛෙය්ය නම් වූ ස්කන්ධ පංචකයෙහි මම යයි ද මගේ යයි ද දෙවියා යයි ද මනුෂ්යයා යයි ද ස්ත්රිය යයි ද පුරුෂයා යයි ද ආදී ලෙස පැවති සඤ්ඤා වශයෙන් අක්ඛෙය්ය සඤ්ඤී වෙති. පංච උපාදාන ස්කන්ධයෙහි සත්ත්ව පුද්ගල ආදී සඤ්ඤා ඇත්තෝය යන අර්ථයි. අක්ඛෙය්යස්මිං පංච උපාදාන ස්කන්ධයෙහි තණ්හා දිට්ඨි ගැනීම් වශයෙන් පතිට්ඨිතා රාගාදී වශයෙන් හෝ අට ආකාරයකින් පිහිටියේය. රාගයෙන් රත් වූ තැනැත්තා රාග වශයෙන් පිහිටියේ වෙයි. ද්වේෂයෙන් දුෂ්ට වූ තැනැත්තා ද්වේෂ වශයෙන් ද මුළා වූ තැනැත්තා මෝහ වශයෙන් ද දැඩිලෙස අල්ලා ගැනීම් ඇති තැනැත්තා දෘෂ්ටි වශයෙන් ද කෙලෙස් තම සිත්හි තහවුරු කොට ඇති තැනැත්තා අනුසය වශයෙන් ද බැඳුණු තැනැත්තා මාන වශයෙන් ද ස්ථිර නිගමනයකට නොගිය තැනැත්තා විචිකිච්ඡා වශයෙන් ද කැළඹුණු සිත් ඇති තැනැත්තා උද්ධච්ච වශයෙන් ද පිහිටියේ වෙයි.
අක්ඛෙය්යං අපරිඤ්ඤාය යනු ඒ පංච උපාදාන ස්කන්ධය, (කාම-රූප-අරූප) යන ත්රෛභූමික ධර්ම ත්රිවිධ පරිඤ්ඤාවන්ගෙන් පිරිසිඳ නොදැන ඒ පිළිබඳ නොදැනීම් හේතුවයි. යොගමායන්ති මච්චුනො යනු මරණයේ යෙදීමට මරණය සමග සංයෝගයට එළඹෙත්. විසංයෝග නොවේ යන අර්ථයි.
නැතහොත් ‘යොගං’ යනු උපායයි. එයින් යොදන ලද අතුරන ලද මරසෙනගට සුදුසු අනර්ථ ජාලයට ක්ලේශජාලයට යති යනුවෙන් කියන ලද්දේ වෙයි.
‘න හි නො සංගරං තෙන මහා සෙනෙන මච්චුනා’ ‘ඒ මහා සේනාවක් ඇති මාරයා සමග අපගේ ගනුදෙනුවක් නැත’ යනුවෙන් කියන ලදී.
මෙපමණකින් සසර දක්වා දැන් නිවන දක්වන්නට අක්ඛෙය්යඤ්ච පරිඤ්ඤාය යනාදිය කියන ලදී. එහි ‘ච’ ශබ්දය අතිරේක අර්ථයෙහිය. (එහි අර්ථයක් නැත). ඒ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැනීමෙන් ලැබිය යුතු දෙය කියමින්ම විශේෂය හෙළිකරයි. පරිඤ්ඤාය යනු විදර්ශනාව සහිත මාර්ග ප්රඥාවෙන් (මේ) දුකයයි පිරිසිඳ (වෙන්කොට) දැන එය හා බැඳුණු කෙලෙස් පහකිරීමෙන් හෝ එය (පිරිසිඳ දැනීම) ඉක්මවා පරිඤ්ඤාවන් තුනේම කටයුතු මුදුන් පමුණුවා. අක්ඛාතාරං න මඤ්ඤති යනු සියලු ආකාරයෙන් (සත්ත්ව පුද්ගල ආදී) හැඟීම් සංඥා පහ වූ බැවින් ක්ෂීණාශ්රවයන් වහන්සේ (තිස්ස ආදී වශයෙන්) කිවයුතු පුද්ගලයකු (ඇතැයි) නොහඟිති. කාරක (කරන්නන්) ආදි භාවයක් කිසියම් ආත්මයක් (ඇතැයි) නොපිළිගනිති යන අර්ථයි.
ඵුට්ඨො විමොක්ඛො මනසා සන්තිපදමනුත්තරං යනු යම්හෙයකින් සියලු සංඛතයන්ගෙන් මිදුණු බැවින් විමොක්ඛ යනුවෙන් ද සියලු කෙලෙස් තැවීම් සන්සිඳුවන ස්ථානය වන බැවින් සන්තිපද යනුවෙන් ද ලබන ලද නම් ඇති නිර්වාණ ධර්මය ස්පර්ශ කරන ලද්දේ ද අවබෝධ කරන ලද්දේ ද එහෙයින් කියයුතු පුද්ගලයකු (ඇතැයි) නොහඟී. නැතහොත් ‘පරිඤ්ඤාය’ යන පදයෙන් දුක්ඛ සත්යයේ පිරිසිඳ දැනීම ද සමුදය සත්යයේ දුරුකිරිම ද කියා ‘ඵුට්ඨො විමොක්ඛො මනසා සන්තිපද මනුත්තරං’ යන මෙයින් මාර්ග - නිරෝධ සත්යයන් භාවනාවෙන් ප්රත්යක්ෂ කිරීම ප්රකාශ කරයි. එහි අර්ථය : සහමුලින් නැතිකිරිම් වශයෙන් සියලු කෙලෙසුන් කෙරෙන් මිදෙයි යන අරුතින් විමොක්ඛ නමි. (එනම්) ආර්ය මාර්ගයයි. ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේ වනාහි උන්වහන්සේගේ මාර්ග සිතෙන් ස්පර්ශ කරන ලද්දේ භාවිත කරන ලද්දේ ද උන්වහන්සේ විසින්ම අනුත්තර වූ ශාන්තපදයයි කියන ලද නිවන ස්පර්ශ කරන ලදී. ප්රත්යක්ෂ කරන ලදී.