5. දුශ්චරිත සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයෙහි නපුරු චරිත හෝ දුෂ්ට චරිත = දුච්චරිතානි. කයින් කරන දුසිරිත හෝ කයින් පැවති දුසිරිත = කාය දුච්චරිතං. ඉතිරි ඒවාහි ද ඒ ක්‍රමයමයි. මේ දුසිරිත පැණවීම් වශයෙන් හෝ කර්මපථ වශයෙන් හෝ කිවයුතුය. එහි පළමුකොට පැණවීම් වශයෙන් (මෙසේය.) කායද්වාරයෙහි පණවන ලද ශික්‍ෂාපද ඉක්මවීම කාය දුශ්චරිතයයි. වචී ද්වාරයෙහි පනවන ලද ශික්‍ෂාපද ඉක්මවීම වචී දුශ්චරිතයයි. දෙකෙහිම පනවන ලද ශික්‍ෂාපද ඉක්මවීම මනෝ දුශ්චරිතයයි. මේ ප්‍රඥප්ති කථාවයි. ප්‍රාණඝාත ආදී චේතනා තුන කායද්වාරයෙහි උපන් කාය දුශ්චරිතයයි. එසේ මුසාවාද ආදී චේතනා සතර වචී දුශ්චරිතයයි. අභිධ්‍යා, ව්‍යපාද මිථ්‍යා දෘෂ්ටි යන චේතනා සමග යෙදුණු ධර්ම තුන මනෝ දුශ්චරිතය යන මෙය කර්මපථ කථාවය.
ගාථාවෙහි - කර්මපථ බවට පත් වූම පාප ධර්මය කාය දුශ්චරිතාදි භාවයෙන් කියන ලදී. එයින් අන්‍ය වූ පාපධර්මය ඇතුළත් කරන්නට ‘යඤ්චඤ්ඤං දොස සංහිතං’ යනුවෙන් දෙසන ලදී. එහි දොස සංහිතං යනු රාගාදී කෙලෙස් සහිත වූ. ඉතිරිය මනාව දතහැක්කේමය.
පස්වන සූත්‍රයයි.
6. සුචරිත සූත්‍ර වර්ණනාව
හයවන සූත්‍රයෙහි - යහපත් චරිත හෝ සුන්දර චරිත = සුචරිතානි. කයින් කරන සුචරිතය හෝ කයින් පැවති සුචරිතය = කාය සුචරිතං. ඉතිරි ඒවාහිද ඒ ක්‍රමයමයි. මෙහි ද ප්‍රඥප්ති වශයෙන් ද කර්මපථ වශයෙන්දැයි කථාව දෙපරිදිය. එහි කාය ද්වාරයෙහි පණවන ලද ශික්‍ෂාපද නො ඉක්මවීම කාය සුචරිතං කාය සුචරිතයයි. වචීද්වාරයෙහි පනවන ලද ශික්‍ෂාපද නො ඉක්මවීම වචී සුචරිතං වචී සුචරිතයයි. මේ ද්වාර දෙකෙහිම පනවන ලද ශික්‍ෂාපද නොඉක්මවීම මනෝ සුචරිතං මනෝ සුචරිතයයි. මෙය ප්‍රඥප්ති කථාවයි. ප්‍රාණඝාත ආදියෙන් වෙන්වන්නහුට උපන් විරති චේතනා තුන කාය සුචරිතයයි. මුසාවාද ආදියෙන් වෙන් වන්නහුට උපන් විරති චේතනා සතර වචී සුචරිතයයි. අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මා දිට්ඨි යන චේතනා සමග යෙදුණු ධර්ම තුන මනෝ සුචරිතය යන මෙය කර්මපථ කථාවය. ඉතිරිය කියන ලද පරිදිය.
හයවන සූත්‍රයයි.
7. සෞචෙය සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි සොචෙය්‍යානි යනු පිරිසිදුකම්ය. කායසොචෙය්‍යං යනු කාය සුචරිතය. වචී සොචෙය්‍ය යනු වචී සුචරිතයමය. මනෝ සොචෙය්‍ය යනු මනෝ සුචරිතයමය. එහෙයින් ‘තත්‍ථ කතමං කාය සොචෙය්‍යං? පාණාතිපාතා වේරමණී’ ‘එහි කයේ පිරිසිදුකම කුමක් ද? සතුන් මැරීමෙන් වැළකීම’ යනාදිය දෙසන ලදී.
ගාථාවෙහි - සහමුලින් දුරු වූ සියලු ම කාය දුශ්චරිත ඇති බැවින් කයින් පිරිසිදුය යනුවෙන් කායසුචි නමි. සොචෙය්‍යසම්පන්නං යනු සන්සිඳුවන ලද කෙලෙස් ඇති බැවින් සුපිරිසිදු වූ පිරිසිදුකමින් යුක්ත වූ. ඉතිරිය කියන ලද ක්‍රමයෙන්ම ය.
සත්වන සූත්‍රයයි.
8. මෞනෙය සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයෙහි මොනෙය්‍යාති යන මෙහි මෙලොව ද පරලොව ද තමාගේ යහපත ද අනුන්ගේ යහපත ද දනී යන අරුතින් මුනි නම් වේ. කල්‍යාණ පෘථග්ජනයා සමග ශෛක්‍ෂ (හික්මෙන) පුද්ගලයන් සත්දෙනා ද රහතන් වහන්සේ ද මුනි නම් වෙයි. මෙහි වනාහි රහතන් වහන්සේ අදහස් කරන ලදී. මුනිවරයාගේ ස්වභාවය (පැවැත්ම) මුනිභාවයයි (එනම් මොනෙය්‍යයි). රහතන් වහන්සේගේ කාය-වවී මනෝ සමාචාරයන්ය.
නැතහොත් මුනිභාවය ඇතිකරන මොනෙය්‍ය ප්‍රතිපදා ධර්ම මොනෙය්‍ය නමි. මේ ඒවායේ විස්තරය යි -
එහි කාය මොනෙය්‍ය යනු කුමක්ද? ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගේ ප්‍රහාණය කාය මොනෙය්‍යය. ත්‍රිවිධ කාය සුචරිතය කාය මොනෙය්‍යය. කය අරමුණු කොට (අනිත්‍යාදී වශයෙන්) පැවති ඤාණය කාය මොනෙය්‍යය. කය පිරිසිඳ දැනීම කාය මොනෙය්‍යය. කය පිරිසිඳ දැනීම සමග එකට යෙදුණු මාර්ගය කාය මොනෙය්‍යය. කයෙහි ඡන්‍දරාගය දුරුකිරීම කාය මොනෙය්‍යය. කාය සංස්කාර (ආශ්වාස-ප්‍රශ්වාස) නිරෝධයෙන් ලබන චතුර්ථධ්‍යාන සමාපත්තිය කාය මොනෙය්‍යය.
එහි වචී මොනෙය්‍ය යනු කුමක් ද? සිවු වැදෑරුම් වචී දුශ්චරිතයන්ගේ ප්‍රහාණය වචී මොනෙය්‍යය. සිවුවැදෑරුම් වචී සුචරිතය වචී මොනෙය්‍යය. වචනය අරමුණු කොට (අනිත්‍යාදි වශයෙන්) පැවති ඤාණය වචී මොනෙය්‍යය. වචනය පිරිසිඳ දැනීම වචී මොනෙය්‍යය. වචනය පිරිසිඳ දැනීම සමග එකට යෙදුණු මාර්ගය වචී මොනෙය්‍යය. වචනයෙහි ඡන්‍දරාගය දුරුකිරීම වචී මොනෙය්‍යය. වචී සංස්කාර (විතක්ක-විචාර) නිරෝධයෙන් ලබන ද්විතීය ධ්‍යානය වවී මොනෙය්‍යය.
මනෝ මොනෙය්‍ය යනු කුමක් ද? ත්‍රිවිධ මනෝ දුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනෝ මොනෙය්‍යය. ත්‍රිවිධ මනෝ සුචරිතය මනෝ මොනෙය්‍යය. මනස අරමුණුකොට (අනිත්‍යදී වශයෙන්) පැවති ඤාණය මනෝ මොනෙය්‍යය. මනස පිරිසිඳ දැනීම මනෝ මොනෙය්‍යය. මනස පිරිසිඳ දැනීම සමග එකට යෙදුණු මාර්ගය මනෝ මොනෙය්‍යය. මනසෙහි ඡන්‍දරාගය දුරුකිරීම මනෝ මොනෙය්‍යය. චිත්ත සංස්කාර (සඤ්ඤා-වේදනා) නිරෝධයෙන් ලබන සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තිය මනෝ මොනෙය්‍යය.
නිද්ධොත පාපකං යනු අංග අටකින් යුත් මාර්ග ඵලයෙන් මනාව සෝදාහළ පව්මල ඇති.
අටවන සූත්‍රයයි.
9. ප්‍රථම රාග සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයෙහි යස්ස කස්සචි යනු අනියම් වචනයකි. එහෙයින් යම්කිසි ගිහි පුද්ගලයෙකුගේ හෝ පැවිදි පුද්ගලයෙකුගේ. රාගො අප්පහීනො යනු සිත් අලවන අර්ථයෙන් රාගය සහමුලින් පහ නොවූයේ මාර්ගයෙන් නූපදින ස්වභාවයට නොපමුණුවන ලද්දේ. දෝස මෝහ දෙකෙහිද මේ ක්‍රමයමයි. එහි අපාය ගමනට සුදුසු රාග දෝස මෝහ ප්‍රථම (සෝවාන්) මාර්ගයෙන් ද ඕලාරික (ගොරෝසු) කාමරාග-දෝස දෙවන (සකෘදාගාමි) මාර්ගයෙන් ද ඒවාම ඉතිරි නොකොට තෙවන (අනාගාමි) මාර්ගයෙන්ද භවරාගයද ඉතිරි වූ මෝහය ද සිවුවන (අර්හත්) මාර්ගයෙන් ද පහවෙයි. මෙසේ මේවා පහවන කල්හි ඒ හා සමග යෙදුණු සියලුම කෙලෙස් පහවන්නේමය. මෙසේ මේ රාගාදිය යම්කිසි භික්‍ෂුවකගේ හෝ භික්‍ෂුණියකගේ හෝ උපාසකයෙකුගේ හෝ උපාසිකාවකගේ හෝ මාර්ගයෙන් පහ නොවූයේ. ඛන්‍ධො මාරස්ස යනු කෙලෙස් මාරයා විසින් බඳින ලද්දේ යයි කියනු ලැබේ. යම් මොහොතක කෙලෙස් මාරයා විසින් බඳින ලද ද එතැන් පටන් අභිසංඛාර ආදී මාරයන් විසින් ද බඳින ලද්දේ වෙයි. පටිමුක්කස්ස මාරපාසො යනු පටිමුක්කො අස්ස, මේ පහ නොවූ කෙලෙස් ඇති පුද්ගලයා විසින් ඒ පහනොවූ කෙලෙස් ඇති බැවින්ම මාරපාසය නම් වූ ක්ලේශය තමාගේ චිත්ත සන්තානයෙහි ඇතුල් කරන ලද්දේය. ඒ ක්ලේශය විසින් තමා බන්දවන ලද්දේය යන අර්ථයි. නොහොත් මොහු විසින් මාරපාසය ඇතුල්කරන ලද්දේ වන්නේය. කුශල පක්‍ෂයෙහි ඔමුක්කස්ස යනු මොහු විසින් ඇතුල් නොකරන ලද්දේ මුදන ලද්දේ ඉවත්කරන ලද්දේ වෙයි. ඉතිරිය කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් දතයුතුය.