3. ඉන්ද්‍රිය සූත්‍ර වර්ණනාව
තුන්වන සූත්‍රයෙහි ඉන්‍ද්‍රියානි යනු අධිපති බව යන අර්ථයෙන් ඉන්‍ද්‍රිය නම් වේ. එකට උපන් ධර්ම කෙරෙහි අධිපතියන් බවට පත්වූවාක් මෙන් ඒ එකට උපන් ධර්ම විසින් අනුව පැවතිය යුතු යම් දෙයක් ඇත්නම් ඒවා ඉන්‍ද්‍රිය නම් වේ. තවද භාග්‍යවතුන් වහන්සේ ඉන්‍ද්‍රය, ධම්මිස්සරය (ධර්මයට අධිපතිය), උසස් වූ චිත්ත අධිපති බවෙන් යුක්ත වූහ. ඒ ඉන්‍ද්‍රයන් වහන්සේ විසින් සියල්ලට පළමුව දුටු බැවින් අවබෝධ කළ බැවින් අනුන් විසිනුත් දක්නා ලද බැවින් දේශනා කරන ලද බැවින් පුරුදු කරන ලද බැවින් අරමුණ වැඩීමෙන් සේවනය කිරීමෙන් දක්නා ලද බැවින් ද ඉන්‍ද්‍රිය වේ. මාර්ගාවබෝධයට හේතු වූ පුණ්‍යකර්මය හෝ ඉන්‍ද්‍රය. එහි ලිංග ද ඉන්‍ද්‍රිය වේ.
අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියං යනු මුලක් නොපෙනෙන (අනමතග්ග) සසරෙහි නොදන්නා ලද අවබෝධ නොකරන ලද නිවන නොහොත් චතුස්සත්‍ය ධර්මය දැනගන්නෙමියි කියා පිළිපදින තැනැත්තාට මෙයින් මුල් අවස්ථාවෙහි උපන් ඉන්‍ද්‍රිය, සෝතාපත්ති මාර්ග ප්‍රඥාවට මේ වචනයකි. අඤ්ඤින්‍ද්‍රියං යනු ආජානන ඉන්‍ද්‍රියයි. මේ එහි වචනාර්ථයයි: ‘ආජානාති’ (යනු) ප්‍රථම මාර්ග ඥානයෙන් දක්නා ලද සීමාව නොඉක්මවාම දැනගනියි යන අරුතින් අඤ්ඤා නම් වේ. යම්සේ ප්‍රථම මාර්ග ප්‍රඥාව දුක් ආදියෙහි පිරිසිඳ අවබෝධ කිරීම් ආදී වශයෙන් පවතී එසේම මෙය ද පවතී. මෙසේ ‘අඤ්ඤා’ වූයේ ද එයමය. කියන ලද අර්ථයෙන් ඉන්‍ද්‍රිය වූයේ ද එයමය යනුවෙන් අඤ්ඤින්‍ද්‍රිය නම් වේ. දැනගන්නා අර්ථයෙන්ම දැනගත් ආර්ය පුද්ගලයාගේ ඉන්‍ද්‍රියය යන අරුතින් හෝ අඤ්ඤින්‍ද්‍රිය නම් වේ. සෝතාපත්ති ඵලයෙහි පටන් (රහත් මාර්ගය තෙක් ඇති) ස්ථාන හයෙහි පවතින ඤාණයට මෙය නමකි. අඤ්ඤාතාවින්‍ද්‍රියං යනු චතුස්සත්‍ය විෂයෙහි නිම වූ ඥාන කෘත්‍යය ඇති සම්පූර්ණයෙන් දැනගන්නා ලද ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේට ඉපදීම් වශයෙන් ද ඉන්‍ද්‍රිය අර්ථය හටගැනීම් වශයෙන් ද ‘අඤ්ඤාතාවින්‍ද්‍රිය’ නම් වේ. මෙහි ද පළමු හා අවසාන (පළමු හා තෙවන) ඉන්‍ද්‍රියයන් ප්‍රථම මාර්ගය (සෝවාන් මාර්ගය) වශයෙන් එක් ස්ථානයකට ද සතරවන ඵලය (අර්හත් ඵලය) වශයෙන් එක් ස්ථානයකට ද සම්බන්ධය. අනික (දෙවන ඉන්‍ද්‍රියය) අනිත් මාර්ගඵල වශයෙන් ස්ථාන හයකට සම්බන්ධ යයි. දතයුතුය.
ගාථාවන්හි - සික්‍ඛමානස්ස යනු අධිශීල ශික්‍ෂා ආදියෙහි හික්මෙන්නා වූ ඒවා වඩන්නා වූ. උජුමග්ගානුසාරිනො යනු අන්ත දෙක දුරුකළ බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සෘජු මාර්ගයයි කියනු ලැබේ. ඒ ආර්ය මාර්ගය සිහිකිරීම් සිහි කිරීම් වශයෙන් (එහි ගමන කිරීම් වශයෙන්) ‘උජුමග්ගානුසාරිනො’ වෙයි. පිළිවෙළින් (සෝවාන් ආදී) මාර්ග උපදවන්නා වූ තැනැත්තාට යන අර්ථයි. ඛයස්මිං යනු ඉතිරි නොකොට කෙලෙස් දුරුකිරීම් වශයෙන් ඛය නම් වූ අග්‍ර (අර්හත්) මාර්ගයෙහි ඤාණය පඨමං පළමුවම උපදී. තතො අඤ්ඤා අන්නතරා යනු ඒ මාර්ග ඥානයෙන් අනතුරුව (අතරක් නැතිව) අර්හත්ඵලය (අරහත්තං) උපදී. නැතහොත් උජුමග්ගානුසාරිනො යනු ලීන (නම් වූ සිතෙහි මැලිබව), උද්ධච්ච (නම් වූ සිතේ නොසන්සුන් බව), පතිට්ඨාන (නම් වූ සසර සයුරෙහි පිහිටා සිටීම) ආයූහන (නම් වූ කර්ම රැස්කිරීම) ආදිය දුරුකොට සමථ- විදර්ශනා දෙක (සෝවාන් මාර්ගයට පත්වීමට මුලින් කරන භාවනාවක් නිසා සමථ විදර්ශනා දෙක එක්වර නොව එකක් වඩා අනික වැඩීම් වශයෙන්) යුගනද්ධ කොට වැඩීම් වශයෙන් පැවති පූර්වභාග මාර්ගය සිහිකරන, අනුව යන, පිළිපදින තැනැත්තාගේ ගෝත්‍රභූ ඤාණයට අනතුරුව (සක්කාය) දිට්ඨිය සමග යෙදෙන කෙලෙසුන් ගෙවාදැමීම් වශයෙන් ඛයස්මිං සෝතාපත්ති මාර්ගයෙහි පඨමං ඤාණං (පළමු ඤාණය වන) අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය උපදී.
තතො අඤ්ඤා අනන්තරා යනු ‘තතො’ පළමු ඤාණයෙන් ‘අනන්තරා’ - අනතුරුව පටන්ගෙන අග්‍ර මාර්ගය (අර්හත් මාර්ගය) තෙක් ‘අඤ්ඤා’ - අඤ්ඤින්‍ද්‍රිය උපදී. තතො අඤ්ඤා විමුත්තස්ස යනු ‘තතො අඤ්ඤා’ - අඤ්ඤින්‍ද්‍රියෙන් පසු අර්හත් මාර්ග ඥානයට අනතුරුව අර්හත්ඵල නම් වූ ප්‍රඥා විමුක්තියෙන් හෙවත් අඤ්ඤාතාවින්‍ද්‍රියෙන් ‘විමුත්තස්ස’ මිදුණා වූ. ඤාණං වෙ හොති තාදිනො යනු අර්හත් ඵලයට පත්වීමෙන් පසු කාලයෙහි ඉටු අනිටු ආදී අරමුණුවල නොවෙනස් වූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂණ ඥානය උපදී. කෙසේ උපදී ද? අකුප්පා මෙ විමුත්තීති මගේ අර්හත්ඵල විමුක්තිය වෙනස් නොවෙයි. (එසේ වෙනස් නොවන අයුරින් උපදින බව) කීහ. භවසඤ්ඤො ජනක්‍ඛයා යනුවෙන් ඒ වෙනස් නොවන බවට කාරණය දක්වයි.
දැන් එබඳු වූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේට ස්තුති කරමින් (ප්‍රශංසා කරමින්) ‘සවෙ ඉන්‍ද්‍රිය සම්පන්නො’ යනුවෙන් තෙවන ගාථාව වදාළහ. එහි ඉන්‍ද්‍රිය සම්පන්නො යනු කියන ලද පරිදි ලෝකෝත්තර ඉන්‍ද්‍රිය තුනෙන් යුක්ත වූ, එහෙයින් පිරිසිදු වූ සන්සිඳීම ලබන ලද ශ්‍රද්ධාදී ඉඳුරන්ගෙන් යුක්තවූ පරිපූර්ණ වූ. එහෙයින්ම මනාව සන්සිඳුනා වූ (කෙලෙස් වශයෙන්) ඇසුරු නොකරන. චක්ඛු (ඇස) ආදී ඉඳුරන්ගෙන් යුක්ත වූ. එහෙයින් සන්තො යනුවෙන් කීහ. සියලු කෙලෙස් දාහයන් සන්සිඳීමෙන් උපශාන්ත වූ යන අර්ථයි. සන්තිපදෙ රතො යනු නිවනෙහි ඇලුණා වූ. මෙහි ද ‘ඉන්‍ද්‍රිය සම්පන්නො’ යන මෙයින් ඔහුගේ භාවිත කරන ලද මාර්ගය ඇති බව ද පිරිසිඳ දැනගන්නා ලද ස්කන්ධ ඇති බවද දක්වන ලදී. ‘සන්තො’ යන මෙයින් පහවූ කෙලෙස් ඇති බව ද ‘සන්තිපදෙ රතො’ යන මෙයින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද නිරෝධය (නිවන) ඇති බව ද දක්වන ලදී. සෙස්ස කියන ලද ක්‍රමයෙන් ම දතයුතුය.
තෙවන සූත්‍රයයි