10. දෙවෙනි රාග සූත්ර වර්ණනාව
දසවන සූත්රයෙහි න අතරි තරණය නොකළේය. සමුද්දං යනු සංසාර සාගරය, නැතහොත් චක්ඛායතන ආදී සාගරය. ඒ දෙකම පිරවීමට අපහසුය යන අර්ථයෙන් සමුද්රය වැනි හෙයින් සමුද්රය නම් වේ. නැතහොත් සමුද්දන අර්ථයෙන් සමුද්රය නම් වේ. සත්ත්ව සන්තානයේ කෙලෙස් වෑස්සීමෙන්ය, කෙලෙස් සරණින් (හැසිරිමෙන්) යන අර්ථයි. සවීචිං යනු ක්රෝධය හා උපායාසය (බද්ධ වෛරය) යන රළ සහිත වූයේ සවීචි නම් වේ. ඒ කාරණය ‘වීචිභයන්ති ඛො භික්ඛු කොධූපායාසස්සෙතං අධිවචනං’ ‘මහණ, වීචිභය යන මෙය ක්රෝධ උපායාසයට නමකි’ යනුවෙන් වදාළහ. සාවට්ටං යනු පංචකාම ගුණ නමැති සුළිවලින් සුළි සහිත වූ මේ කාරණය ‘ආවට්ටභයන්ති ඛො භික්ඛු පඤ්චන්තෙතං කාමගුණානං අධිවචනං’ ‘මහණ, ආවට්ට භය යන මෙය පස්කම් ගුණයට වචනයකි’ යනුවෙන් වදාළහ. සග්හං සරක්ඛසං යනු තමාට ගොදුරු වූවන්ට අයහපත උපදවන හෙයින් චණ්ඩ මකරුන්ට මාලුවන්ට දියරකුසන්ට සමාන වූ විසභාග (අසමාන) පුද්ගලයන් සහිත වූයේ ‘සග්හ’ නමි. ඒ බව ‘සග්හං සරක්ඛසන්ති ඛො භික්ඛු මාතුගාමස්සෙතං අධිවචනං’ ‘මහණ, සග්හ සරක්ඛස යන මෙය කාන්තාවට නමකි’ යනුවෙන් වදාළහ. අතරි යනු මාර්ගප්රඥාව නමැති නැවෙන් කියන ලද ආකාර ඇති සාගරයෙන් එතෙර වූයේය. තිණ්ණො යනු තරණය කළේය. පාරගතො යනු ඒ සාගරයේ එගොඩට පරතෙරට නිරෝධයට ගියේය. එලෙ තිට්ඨති යනු එහෙයින්ම සංසාර නමැති සැඩ දියපහර ද කාමාදී සැඩ දියපහර ද ඉක්මවා බහා තබන ලද පව් ඇති බමුණු තෙමේ එගොඩෙහි පරතෙරෙහි නිවනෙහි සිටියේ යයි කියනු ලැබේ.
මෙහි ගාථා ද කුශල පක්ෂය වශයෙන්ම ආයේය. එහි උම්මිභයං (ඌමිභයං) යනු කියන ලද ආකාර ඇති උම්මිභයය. මෙයින් බියවිය යුතුය යන අරුතින් එය උම්මිභය (රළබිය) නම් වේ. දුත්තරං යනු තරණය කිරීමට දුෂ්කර වූ, අච්චතාරි යනු ඉක්මවූයේය.
සංගාතිගො යනු රාගාදී සංග පහ ඉක්ම වූ බැවින් පහ වූ බැවින් සංගාතිග නම් වේ. අත්ථංගතො සො න පමාණමෙති යනු මෙසේ වූ ඒ රහතන් වහන්සේ රාගාදී ප්රමාණකර ධර්මයන් අතිශයින්ම අස්තයට දුරුකිරීමට ගිය බැවින් අත්ථංගත නම් වෙති. එහෙයින්ම සීලාදී ධර්මස්කන්ධ සම්පූර්ණ කිරීමෙන්ද යුක්ත වූ මෙබඳු පුද්ගලයා සීලයෙන් සමාධියෙන් ප්රඥාවෙන්දැයි මෙසේ කිසිවකු විසින් ප්රමාණ කරන්නට (මනින්නට) නොහැකි වූයේ ප්රමාණයකට නො එයි. නැතහොත් අනුපාදිසේස නිවන නම් වූ අයට (නිමාවට) ගියා වූ ඒ රහතන් වහන්සේ (දෙව් මිනිස් ආදී) මෙනම් ගතියෙහි සිටියාහු ද මෙබඳු වූ නාම ගෝත්රයෙන් සිටියාහු යනුවෙන් ද ප්රමාණ කරන්නට නොහැකි බැවින් ප්රමාණයකට නො එති. නො එළඹෙති. එහෙයින්ම අමොහයී මච්චුරාජං ඒ මාරයා විසින් ලුහුබඳින්නට නොහැකි වන්නාහුයයි කියමි. මෙසේ අනුපාදිසේස නිබ්බාණ ධාතුවෙන්ම දේශනාව නිමකළ සේක. මෙසේ මේ වර්ගයෙහි පළමු පස්වන හයවන සූත්රවල දී සසර කියන ලදී. දෙවන සත්වන අටවන සූත්රවල නිවන කියන ලදී. ඉතිරි සූත්රවල දී සසර හා නිවන කියන ලදැයි දතයුතුය.
දසවන සුත්රයයි.
දෙවන වර්ග වර්ණනාව නිමියේය.
තෙවෙනි වර්ගය
1. මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන සූත්ර වර්ණනාව
තුන්වන වර්ගයෙහි පළමු සූත්රයෙහි දිට්ඨා මයා යනු ම විසින් දක්නා ලදී. මගේ සර්වඥතා ඥානයෙන් (සමන්ත චක්ඛුනා) ද දිවැසින් ද යන මේ දෑසින් දක්නා ලදී යන ප්රත්යක්ෂ වශයෙන් දන්නා ලදී. එයින් අනුන්ගෙන් අසාගෙන කීම (අනුස්සවාදිං) ප්රතික්ෂේප කරති. මේ අර්ථය (මෙතැන්හිම) දැන්මම පාළියෙහි එන්නේය. කාය දුච්චරිතෙන සමන්නාගතා යනු කාය දුශ්චරිතයෙන් යුක්ත වූ. අරියානං උපවාදකා යනු බුද්ධාදී ආර්යයන්ට යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහි අයට ද ගුණ නැසීමෙන් බොරු චෝදනා කිරීමෙන්, දොස් කියන්නා වූ ආක්රෝශ කරන්නා වූ ගරහන්නා වූ සත්ත්වයෝ. මිච්ඡාදිට්ඨිකා (ඇත්ත ඇති සැටියෙන් නොව) වෙනත් අයුරින් (විපරිතව) දකින්නා වූ සත්ත්වයෝ. මිච්ඡාදිට්ඨිකම්ම සමාදානා යනු මිථ්යා දර්ශනය හේතුවෙන් පිළිගත් නානාවිධ කර්ම ඇති සත්ත්වයෝම මිථ්යා දර්ශනය මුල්කොට ගත් කාය කර්මාදියෙහි අන්යයන්ද සමාදන් කරවත්. මෙහි වචී-මනෝ දුශ්චරිත ගැනීමෙන්ම අරියූපවාදය, මිථ්යා දෘෂ්ටිය ද ගත්කල්හි (එම අරියූපවාද ආදිය) නැවත කීම (ඒවා) මහාසාවද්ය බව දැක්වීම පිණිසය. ඒවා අතරින් ආර්ය උපවාදය මහාසාවද්යය ආනන්තරිය සමානය. ඒ බව -
‘සෙය්යථාපි සාරිපුත්ත හික්ඛු සීල සම්පන්නො සමාධි සම්පන්නො පඤ්ඤා සම්පන්නො දිට්ඨෙව ධම්මෙ අසඤ්ඤං ආරාධෙය්ය එවං සම්පදමිදං සාරිපුත්ත තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨි අප්පටිනිස්සජ්ජිත්වා යථාභූතං නික්ඛිත්තො එවං නිරයෙ’ ‘සාරිපුත්ත, යම්සේ භික්ෂුව ශීල සම්පන්න වූයේ සමාධි සම්පන්න වූයේ ප්රඥා සම්පන්න වූයේ මේ ජීවිතයේදීම නිවන ලබාගනීද සාරිපුත්ත, මේ කාරණයද මෙසේයයි කියමි. ඒ කීම අතනොහැර ඒ සිත අතනොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් නරකයෙහි උපදින්නේ වෙයි’ යනුවෙන් මෙසේ වදාළහ.