5. ප්‍රථම එෂණා සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයෙහි එසනා යනු ගවේෂණයයි. පර්යේෂණයයි. සෙවීමයි. එය විභාග වශයෙන් දක්වන්නට ‘කාමෙසනා’ යනාදිය කියන ලදී. එහි කාමෙසනා යනු කාමයන් සෙවීම හෝ කාම කොටස් සෙවීම හෝ කාමෙසනාව ය. මේ කාරණය මෙසේ කියන ලදී :
‘තත්‍ථ කතමා කාමෙසනා? යො කාමෙසු කාමච්ඡන්‍දො කාමරාගො කාම නන්‍දි කාම සිනෙහො කාම පිපාසා කාම මුච්ඡා කාමජ්ඣොසානං අයං වුච්චති කාමෙසනා’ ‘එහි කාමේසනාව යනු කුමක් ද? කාමයන්හි යම් කාමච්ඡන්‍දයක් වේද කාමරාගයක් වේද කාම නදියක් වේද කාම ස්නේහයක් වේද කාම පිපාසයක් වේද කාම මූර්ඡාවක් වේද කාමජ්ඣොසානයක් (කාමයට බලවත් ඇල්මක්) වේද මෙය කාමේසනාව යයි කියනු ලැබේ.’
එහෙයින් කාමරාගය කාමේසනාව යයි දතයුතුය. භවේසනාවෙහි ද මේ ක්‍රමයම ය. මේ කාරණය ද මෙසේ කියන ලදී -
‘තත්‍ථ කතමා භවෙසනා? සො භවෙසු භවච්ඡන්‍දො -පෙ භවජ්ඣොසානං අයං වුච්චති භවෙසනා’ ‘එහි භවේසනාව යනු කුමක් ද? භවයන්හි යම් භවච්ඡන්‍දයක් වේද - පෙ- භවජ්ඣොසානයක් වේද මෙය භවේසනාව යයි කියනු ලැබේ.’
එහෙයින් භවය සොයන රාගය රූප අරූප භව පැතීම භවේසනාව යයි දතයුතුය. බ්‍රහ්මචරිය පිළිබඳ සෙවීම බ්‍රහ්මචරියෙසනා නම් වේ.
‘එහි බ්‍රහ්මචරිය පිළිබඳ සෙවීම යනු කුමක් ද? ලෝකය ශාස්වතය කියා හෝ ලෝකය අශාස්වතය කියා හෝ ලෝකය අන්තවත්ය කියා හෝ ලෝකය අනන්තවත්ය කියා හෝ ආත්මයත් ශරීරයත් එකකැයි කියා හෝ ආත්මය අනිකකි, ශරීරය අනිකකි කියා හෝ සත්ත්වයා මරණින් පසු වෙයි කියා හෝ සත්ත්වයා මරණින් පසු නොවෙයි කියා හෝ සත්ත්වයා මරණින් පසු වෙයි ද නොවෙයි ද කියා හෝ සත්ත්වයා මරණින් පසු නොවෙයි, නොවන්නේ නොවෙයි කියා හෝ මෙබඳු වූ යම් (අසත්‍ය ලෙස දැකීම් අරුතින්) දෘෂ්ටියක්, (දෙසැටක් දෘෂ්ටිවලට) ඇතුළත් හෙයින්) දෘෂ්ටිගතයක් (වනගහනයක් මෙන් ඉක්මවීමට අපහසු හෙයින්) දෘෂ්ටි ගහනයක්, (සොරුන් ඇති, ජලය නැති කාන්තාරයක මෙන් සැක බිය ඇති හෙයින්) දෘෂ්ටි කාන්තාරයක්, (සම්මා දිට්ඨියෙන් විනිවිද දැකීමට විරුද්ධ අර්ථයෙන්) දෘෂ්ටි විසූකයක්, (දෘෂ්ටියෙන් විරූප ලෙස සෙලවුණු හෙයින්) දෘෂ්ටි විස්ඵන්දිතයක්, (අනිත්‍ය දේ නිත්‍යය ආදී වශයෙන් දැඩි ලෙස ගැනීම වූ) දෘෂ්ටි අභිනිවේශයක්, (අනිත්‍ය දේ නිත්‍යය ආදී වශයෙන් ගැනීම වූ) පරාමාසයක්, (වැරදි මගට බැසගත් හෙයින්) කුම්මග්ගයක්, (වැරදි මාර්ගයක් හෙයින්) මිච්ඡාපථයක්, (බොරු බවක් හෙයින්) මිච්ඡත්තයක්, (දෘෂ්ටි උපදින තැනක් හෙයින්) තිත්‍ථායතනයක්, (වැරදි ලෙස ගැනීමක් හෙයින්) විපරියෙසගාහයක් වේද බ්‍රහ්මචරියෙසනාව යයි කියනු ලැබේ.
එහෙයින් දෘෂ්ටිගත සම්මතය ඇති බ්‍රහ්මචරිය පිළිබඳ සෙවීම දිට්ඨි බ්‍රහ්මචරියේසනාව යයි දතයුතුය. මෙපමණකින් රාග දෘෂ්ටීහු ඒසනාව යයි දක්වන ලද්දාහු වෙති. හුදෙක් රාග දෘෂ්ටීම ඒසනාව නොවේ. එය හා එක්ව සිටි කර්මය ද ඒසනා නම්වේ. මේ කාරණය මෙසේ කියන ලදී -
‘තත්‍ථකතමා කාමෙසනා? කාමරාගො තදෙකට්ඨං අකුසලං කායකම්මං වචීකම්මං මනොකම්මං අයං වුච්චති කාමෙසනා’ ‘එහි කාමේසනාව කුමක්ද? කාමරාගය ද එය හා එක්ව සිටි අකුශල කාය කර්මය වචී කර්මය මනෝ කර්මය යන මෙය කාමේසනාව යයි කියනු ලැබේ. ‘තත්‍ථ කතමා භවෙසනා? භවරාගො තදෙකට්ඨං අකුසලං කායකම්මං වචීකම්මං මනොකම්මං අයං වුච්චති භවෙසනා’ ‘එහි භවේසනාව කුමක්ද? භවරාගය ද එය හා එක්ව සිටි අකුසල කාය කර්මය වචී කර්මය මනෝ කර්මය යන මෙය භවේසනාව යයි. කියනු ලැබේ.’ ‘තත්‍ථ කතමා බ්‍රහ්මචරියෙසනා? අන්තග්ගාහිකා දිට්ඨි තදෙකට්ඨං අකුසලං කායකම්මං වචීකම්මං මනොකම්මං අයං වුච්චති බ්‍රහ්මචරියෙසනා?’ ‘එහි බ්‍රහ්මචරියේසනාව කුමක් ද? අන්තග්ගාහික දෘෂ්ටිය ද එය හා එක්ව සිටි අකුශල කාය කර්මය වචී කර්මය මනෝ කර්මය යන මෙය බ්‍රහ්මචරියේසනාවයයි කියනු ලැබේ’
යනුවෙන් මෙසේ මේ ඒසනා තුන දතයුතුය.
ගාථාවන්හි - සම්භවං යන මෙහි ඒසනාවන්ගේ උත්පත්තියට හේතු වූ අවිද්‍යාදිය හෝ තණ්හාව හෝ සම්භවයයි. සමුදය හටගැනීම) යන අර්ථයි. යත්‍ථ චෙතා නිරුජ්ඣන්ති යනු බ්‍රහ්මචරිය ඒසනාව ප්‍රථම මාර්ග ඥානයෙන් (සෝවාන් මාර්ග ඥානයෙන්) නිරුද්ධ වෙයි. කාමේසනාව අනාගාමි මාර්ග ඥානයෙන් නිරුද්ධ වෙයි. භවේසනාව අර්හත් මාර්ගයෙන් නිරුද්ධ වෙයි යනුවෙන් දතයුතුය. ඉතිරිය කියන ලද ආකාරයෙන්මය.
පස්වන සූත්‍රයයි.
6. දෙවෙනි එෂණා සූත්‍ර වර්ණනාව
සයවැනි සූත්‍රයෙහි බ්‍රහ්මචරියෙසනා සහ යනු බ්‍රහ්මචරියෙසනාය සද්ධිං, විභක්ති ලෝපයෙන් මෙය දක්වා ඇත. මෙය කරණ අර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනය හෝ වෙයි. බ්‍රහ්මචරියේසනාව සමග කාමේසනාව භවේසනාවදැයි ඒසනා තුනකි යන මෙය කියන ලද්දේ වෙයි. ඒවා අතරින් බ්‍රහ්මචරියේසනාව ස්වරූප වශයෙන් දක්වන්නට ඉති සච්චපරාමාසො දිට්ඨිට්ඨානා සමුස්සයා යනුවෙන් කියන ලදී. එහි අර්ථය ඉති එවං සච්චන්ති පරාමාසො = ඉතිසච්ච පරාමාසො. මෙයම සත්‍යය, අනිත්වා අසත්‍යයයි දෘෂ්ටිය පැවති ආකාරය දක්වයි. දෘෂ්ටීහුම සියලු අනර්ථයනට හේතුවන බැවින් දිට්ඨිට්ඨාන නම් වෙති. ‘මිච්ඡාදිට්ඨි පරමාහං භික්‍ඛවෙ වජ්ජං වදාමි’ ‘මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය ඉහළම වරදයයි මම කියමි’ යනුවෙන් ඒ කාරණය කියන ලදී. ඒ මිථ්‍යාදෘෂ්ටියම මතු මත්තෙහි වැඩෙමින් ලෝභාදී කෙලෙස් සමූහ වශයෙන් උපදවන්නා වූ මෙම සත්‍යයය අනිත්වා අසත්‍යයයි මිථ්‍යාවට බැසගන්නා වූ සියලු අනර්ථයන්ට හේතු වූ කෙලෙස් දුක් ඉපදවීමට හේතු වූ දෘෂ්ටීහු බ්‍රහ්මචරියේසනාව යයි කියන ලද්දේ වෙයි. මෙයින් පවතින ආකාර වශයෙන් ද ඉපදීම් වශයෙන් ද බ්‍රහ්මචරියේසනාව දක්වන ලදැයි දතයුතුය.
සබ්බරාග විරත්තස්ස යනු සියලුම කාමරාග භවරාගයන්හි නොඇලුණු එහෙයින්ම තෘෂ්ණාව ක්‍ෂය කිරීම නම් වූ නිවනෙහි (නිවන අරමුණු කොට) කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් තණ්හක්‍ඛය විමුත්තිනො තණ්හක්‍ඛය විමුත්ති නම් වූ රහතන් වහන්සේ විසින්. එසනා පටිනිස්සට්ඨා යනු කාමේසනාව ද භවේසනාව ද සියලු ආකාරයෙන් අත්හරින ලදී. පහකරන ලදී. දිට්ඨිට්ඨානා සමූහතා යනු බ්‍රහ්මචරිය ඒසනාව නම් වූ දෘෂ්ටි ද ප්‍රථම (සෝවාන්) මාර්ගයෙන්ම නසන ලදී. එසනානං ඛයා යනු මෙසේ මේ ඒසනා තුන ක්‍ෂය කිරිමෙන්, නැවත නූපදින ලෙස නිරෝධයට පත්කිරීමෙන්. බිඳුණු කෙලෙස් ඇති බැවින් භික්‍ඛු භික්‍ෂුව යයි ද සියලු ආකාරයෙන් ආශාවන් නැති බැවින් නිරාසො ආශා නැත්තෙක් යයි ද (සක්කාය) සමග යෙදුණු කෙසේද කෙසේදැයි යනුවෙන් පැවති සැකය ද කෙසේද යන (සැකය නම් වූ සිතෙහි ඇනුණු) උල ද පහ වූ බැවින් අකථංකථි යයි ද කියනු ලැබේ.