6. දෙවෙනි එෂණා සූත්‍ර වර්ණනාව
සයවැනි සූත්‍රයෙහි බ්‍රහ්මචරියෙසනා සහ යනු බ්‍රහ්මචරියෙසනාය සද්ධිං, විභක්ති ලෝපයෙන් මෙය දක්වා ඇත. මෙය කරණ අර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනය හෝ වෙයි. බ්‍රහ්මචරියේසනාව සමග කාමේසනාව භවේසනාවදැයි ඒසනා තුනකි යන මෙය කියන ලද්දේ වෙයි. ඒවා අතරින් බ්‍රහ්මචරියේසනාව ස්වරූප වශයෙන් දක්වන්නට ඉති සච්චපරාමාසො දිට්ඨිට්ඨානා සමුස්සයා යනුවෙන් කියන ලදී. එහි අර්ථය ඉති එවං සච්චන්ති පරාමාසො = ඉතිසච්ච පරාමාසො. මෙයම සත්‍යය, අනිත්වා අසත්‍යයයි දෘෂ්ටිය පැවති ආකාරය දක්වයි. දෘෂ්ටීහුම සියලු අනර්ථයනට හේතුවන බැවින් දිට්ඨිට්ඨාන නම් වෙති. ‘මිච්ඡාදිට්ඨි පරමාහං භික්‍ඛවෙ වජ්ජං වදාමි’ ‘මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය ඉහළම වරදයයි මම කියමි’ යනුවෙන් ඒ කාරණය කියන ලදී. ඒ මිථ්‍යාදෘෂ්ටියම මතු මත්තෙහි වැඩෙමින් ලෝභාදී කෙලෙස් සමූහ වශයෙන් උපදවන්නා වූ මෙම සත්‍යයය අනිත්වා අසත්‍යයයි මිථ්‍යාවට බැසගන්නා වූ සියලු අනර්ථයන්ට හේතු වූ කෙලෙස් දුක් ඉපදවීමට හේතු වූ දෘෂ්ටීහු බ්‍රහ්මචරියේසනාව යයි කියන ලද්දේ වෙයි. මෙයින් පවතින ආකාර වශයෙන් ද ඉපදීම් වශයෙන් ද බ්‍රහ්මචරියේසනාව දක්වන ලදැයි දතයුතුය.
සබ්බරාග විරත්තස්ස යනු සියලුම කාමරාග භවරාගයන්හි නොඇලුණු එහෙයින්ම තෘෂ්ණාව ක්‍ෂය කිරීම නම් වූ නිවනෙහි (නිවන අරමුණු කොට) කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් තණ්හක්‍ඛය විමුත්තිනො තණ්හක්‍ඛය විමුත්ති නම් වූ රහතන් වහන්සේ විසින්. එසනා පටිනිස්සට්ඨා යනු කාමේසනාව ද භවේසනාව ද සියලු ආකාරයෙන් අත්හරින ලදී. පහකරන ලදී. දිට්ඨිට්ඨානා සමූහතා යනු බ්‍රහ්මචරිය ඒසනාව නම් වූ දෘෂ්ටි ද ප්‍රථම (සෝවාන්) මාර්ගයෙන්ම නසන ලදී. එසනානං ඛයා යනු මෙසේ මේ ඒසනා තුන ක්‍ෂය කිරිමෙන්, නැවත නූපදින ලෙස නිරෝධයට පත්කිරීමෙන්. බිඳුණු කෙලෙස් ඇති බැවින් භික්‍ඛු භික්‍ෂුව යයි ද සියලු ආකාරයෙන් ආශාවන් නැති බැවින් නිරාසො ආශා නැත්තෙක් යයි ද (සක්කාය) සමග යෙදුණු කෙසේද කෙසේදැයි යනුවෙන් පැවති සැකය ද කෙසේද යන (සැකය නම් වූ සිතෙහි ඇනුණු) උල ද පහ වූ බැවින් අකථංකථි යයි ද කියනු ලැබේ.
සයවැනි සූත්‍රයයි.
7. ප්‍රථම ආස්‍රව සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි කාමාසවො යනු කාමයන්හි ආසවයයි. නැතහොත් කාම නම් වූ ආසවය = කාමාසවයයි. අර්ථ වශයෙන් වනාහි කාමරාගය ද රූපාදියෙහි ඇල්ම ද කාමාසවය යි. රූප අරූප භවයන්හි ඡන්‍දරාගය ද ධ්‍යානයට ඇති ආශාව ද ශාස්වත දෘෂ්ටි සහගත රාගය ද භව ප්‍රාර්ථනාව ද භවාසවො භවාසවයයි. අවිද්‍යාවම අවිජ්ජාසවො අවිද්‍යාසවයයි.
ආසවානඤ්ච සම්භවං යන මෙහි අයොනිසො මනසිකාරයද (අනුවණින් මෙනෙහි කිරීම) අවිද්‍යාදී කෙලෙස් ද ආසවයන්ගේ හටගැනීමයි. මේ කාරණය මෙසේ කියන ලදී -
‘අයොනිසො භික්‍ඛවෙ මනසිකරොතො අනුප්පන්නා, චෙව ආසවා උප්පජ්ජන්ති උප්පන්නාච ආසවා පවඩ්ඪන්ත’ ‘මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නාගේ නූපන් ආසව ද උපදී. උපන් ආසව ද වැඩෙයි.
‘අවිජ්ජා භික්‍ඛවෙ පුබ්බංගමා අකුසලානං ධම්මානං සමාපත්තියා අන්‍වදෙව අහිරිකං අනොත්තප්පං’ ‘මහණෙනි, අවිද්‍යාව අකුශල ධර්මයන්ගේ පැමිණීමට පෙරටු වෙයි. අහිරික අනොත්තප්පයට ද පෙරටු වෙයි.
මග්ගඤ්ච ඛයගාමිනං යනු ආශ්‍රවයන් ක්‍ෂය කරන්නා වූ ආර්ය මාර්ගය ද, එහි කාමාසවය අනාගාමි මාර්ගයෙන් පහවෙයි. භවාසවය ද අවිද්‍යාසවය ද අර්හත් මාර්ගයෙන් පහවෙයි. කාම උපාදානය මෙන් කාමාසවය ද අග්‍ර (අර්හත්) මාර්ගයෙන් විනාශ කළයුතු යයි ද කියති. ඉතිරිය කියන ලද අයුරින්ම ය.
සත්වන සූත්‍රයයි.
8. ද්විතීය ආස්‍රව සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයෙහි පෙර නො කියන ලද්දක් නැත.
9. තෘෂ්ණා සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයෙහි - තෘෂ්ණා කිරීම් අර්ථයෙන් = තණ්හා නමි. රුපාදි අරමුණට ආශාකරයි යන අරුතින් හෝ තණ්හා නමි. දැන් එය බෙදා දක්වන්නට ‘කාම තණ්හා’ යනාදිය කියන ලදී. එහි පංචකාම ගුණයට අයත් රාගය කාමතණ්හා නමි. රූප අරූප භවයන්හි ඡන්‍දරාගය, ධ්‍යානයට ඇති ආශාව ද ශාශ්වත දෘෂ්ටි සහගත රාගය ද භව වශයෙන් පැතීම ද භවතණ්හා නමි. උච්ඡේද දෘෂ්ටි සහගත රාගය විභව තණ්හා නමි. තවද අවසන් තණ්හා දෙක හැර සෙසු සියලුම තණ්හා කාම තණ්හාමය. එය මෙසේ වදාළහ -
‘එහි භව තණ්හාව යනු කුමක්ද? ශාස්වත දෘෂ්ටි සහගත රාගයක් බලවත් රාගයක්, සිතේ බලවත් රාගයක් වේද මේ භව තණ්හාව යයි කියනු ලැබේ. එහි විභව තණ්හාව යනු කුමක්ද? උච්ඡේද දෘෂ්ටි සහගත රාගයක් බලවත් රාගයක් සිතේ බලවත් රාගයක් වේද, මේ විභව තණ්හාව යයි කියනු ලැබේ. (එයින්) අවශේෂ වූ තණ්හාව කාම තණ්හාවය.
මේ තෘෂ්ණා තුන ද රූප තණ්හා -පෙ- ධම්ම තණ්හා යන අරමුණු භේදයෙන් වෙන් වෙන්ව සයවැදෑරුම් කොට දහඅටක් වෙයි. ඒවා ආධ්‍යාත්මික රූපාදියෙහි දහඅටක් ද බාහිර රූපාදියෙහි දහඅටක්දැයි තිස්හයක් වෙයි. මෙසේ අතීතයට තිස්හයක් ද අනාගතයට තිස්හයක් ද වර්තමානයට තිස්හයක්දැයි විභාග වශයෙන් එකසිය අටක් වෙයි. නැවත (ආපසු) සංග්‍රහ කිරීමේදී කාලභේදය නො සිතා ගන්නා වූ තණ්හාව තිස්හයක් වෙයි. රූපාදිය ආධ්‍යාත්මික බාහිර බෙදීම නොකර ගන්නා වූ තණ්හාව දහඅටක් වෙයි. රූපාදී අරමුණු බෙදීම් මාත්‍රයෙන් ගනු ලබන කල්හි හයක්ම වෙයි. අරමුණු බෙදීම ද නොකොට ගන්නා වූ තණ්හාව තුනක්ම වෙයි.