4. දෙවෙනි වේදනා සූත්ර වර්ණනාව
සතරවන සූත්රයෙහි දුක්ඛතො දට්ඨබ්බා යනු සැප වේදනාව විපරිනාම දුක්ඛ (වෙනස්වන දුක්) වශයෙන් දුකයයි නුවණැසින් දැකිය යුතුය. සල්ලතො දට්ඨබ්බා යනු ඉවතට ගැනීමට අපහසු අර්ථයෙන් ඇතුළත අනින (විදින) අර්ථයෙන් පෙළන අර්ථයෙන් දුක් බැවින් දුක්වේදනාව ශල්යයක් (උලක්) යයි දැකිය යුතුය. අනිච්චතො යනු ඇති වී නැතිවන බැවින් උදයව්යය වන බැවින් ද තාවකාලික බැවින් ද නිත්යයට ප්රතිවිරුද්ධ බැවින් ද අදුක්ඛමසුඛ වේදනාව අනිත්යයයි දතයුතුය. ඒකාන්තයෙන් මෙහි සියලු වේදනා අනිත්ය වශයෙන් දැකිය යුතුය. අනිත්ය දර්ශනයෙන් වනාහි අතිශය අනිත්යයෙන් විරාගයට නිමිති වූ දුක දැකීම යන මේ අර්ථය දක්වමින් ශාස්තෲන් වහන්සේ ‘සුඛා භික්ඛවෙ වෙදනා දුක්ඛතො දට්ඨබ්බා, දුක්ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බා’යි වදාළහ. නැතහොත් පෘථග්ජනයෝ යම්තැනෙක සැපයෙහිම ඇලුණාහු ද එහි කලකිරවනු පිණිසත් එසේ කියන ලදී. එයින් මේ සංඛාර දුක්ඛතාවයෙන් දුක්ඛව දක්වන ලදී. ‘යදනිච්චං තං දුක්ඛං’ ‘යමක් අනිත්යනම් එය දුකයි’ යන විපරිනාම දුක් බව නිසා ‘සුඛා භික්ඛවෙ වෙදනා දුක්ඛතො දට්ඨබ්බා’ යනුවෙන් වදාරා මෙබඳු සැපයක් දුක ද නැතිනම් කෙබඳුදැයි සිතන්නවුන්ට දුක්ඛදුක්ඛතාවෙන් ‘දුක්ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බො’යි වදාළහ. අනික වනාහි සංඛාර දුක්ඛතාවෙන්ම දුකයයි දක්වමින් ‘අදුක්ඛමසුඛා වෙදනා අනිච්චතො දට්ඨබ්බා’යි වදාළහ.
මෙහි ද ‘සුඛා වෙදනා දුක්ඛතො දට්ඨබ්බා’ ‘සැප වේදනාව දුක් වශයෙන් දතයුතුය’ යන මෙයින් රාගය සහමුලින් නසන උපාය දක්වන ලද්දේය. සැපවේදනාවෙහි වනාහි රාග අනුසය අත්නොහැර පවතී. ‘දුක්ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බා’ දුක්වේදනාව උලක් ලෙස දතයුතුය’ යන මෙයින් ද්වේශය සහමුලින් නසන උපාය දක්වන ලද්දේය. දුක්වේදනාවෙහි වනාහි පටිඝානුසය අතනොහැර පවතී. ‘අදුක්ඛමසුඛා වෙදනා අනිච්චතො දට්ඨබ්බා’ අදුක්ඛමසුඛ වේදනාව අනිත්ය වශයෙන් දතයුතුය’ යන මෙයින් මෝහය සහමුලින් නසන උපාය දක්වන ලද්දේය. අදුක්ඛමසුඛ වේදනාවෙහි වනාහි අවිද්යා අනුසය අතනොහැර පවතී.
එසේම පළමුවැන්නෙන් සුඛාස්වාදයට හේතුවන බැවින් තෘෂ්ණා සංක්ලේශයේ ප්රහාණය දක්වන ලදී. ඇති තතු දුක නොදන්නාහු එය පවත්වාගැනීම පිණිස දුසිරිතෙහි හැසිරෙති. (එහෙයින්) දෙවැන්නෙන් දුශ්චරිත සංක්ලේශයේ ප්රහාණය දක්වන ලදී. අනිත්ය වශයෙන් දකින්නහුගේ දෘෂ්ටි සංක්ලේශය අභාවයෙන් ද දෘෂ්ටි සංක්ලේශයට අවිද්යාව නිමිති වන බැවින් ද අදුක්ඛමසුඛ වේදනාව අවිද්යාව නිමිතිකොට ඇති බැවින් ද තෙවැන්නෙන් දෘෂ්ටි සංක්ලේශයේ ප්රහාණය දක්වන ලදී. පළමුවැන්නෙන් විපරිණාම දුක්ඛ පරිඤ්ඤාව හෝ චෙයි. දෙවැන්නෙන් දුක්ඛදුක්ඛ පරිඤ්ඤාව ද තෙවැන්නෙන් සංඛාර දුක්ඛ පරිඤ්ඤාව ද වෙයි. (නැතහොත්) පළමුවැන්නෙන් ඉෂ්ටාරම්මණ පරිඤ්ඤාව (පිරිසිඳ දැනීම) ද දෙවැන්නෙන් අනිෂ්ටාරම්මණ පරිඤ්ඤාව ද තෙවැන්නෙන් මධ්යස්ථාරම්මණ පරිඤ්ඤාව ද වෙයි. තදාරම්මණ ධර්මයන්හි නොඇලුණු කල්හි අරමුණු ද නොඇලුණේම වෙයි. නැතහොත් පළමුවැන්නෙන් රාග ප්රහාණය ප්රකාශ කිරිමෙන් දුක්ඛානුපස්සනාවෙන් අප්පණිහිත විමොක්ඛය දක්වන ලද්දේය. දෙවැන්නෙන් දෝෂ ප්රහාණය ප්රකාශ කිරීමෙන් අනිත්යානුපස්සනාවෙන් අනිමිත්ත විමෝක්ඛය ද තෙවැන්නෙන් මෝහ ප්රහාණය ප්රකාශ කිරීමෙන් අනත්තානුපස්සනාවෙන් සුඤ්ඤත විමොක්ඛය ද දක්වන ලද්දේ යයි දතයුතුය.
යතො යනු යම්කලෙක හෝ යම්හෙයකින් අරියො යනු කෙලෙසුන්ගෙන් දුර සිටියේ, පිරිසිදු වූයේ. සම්මද්දසො යනු සියලු වේදනාවන් හෝ චතුසත්යය නොවෙනස් ලෙස දකින්නා. අච්ඡෙච්ඡි තණ්හං යනු වේදනාවට මුල් වූ තණ්හාව අග්ර (අර්හත්) මාර්ගයෙන් සින්දේය. අනවසේස වශයෙන් සහමුලින් සින්දේය. වාවත්තයී සංයොජනං යනු දසවිධ සංයෝජන පෙරළා හැරියේය. මුල් නැති කළේය. සම්මා යනු හේතුවෙන්, කාරණයෙන්. මානාභිසමයා යනු මානයේ දර්ශන අභිසමය හෝ ප්රහාණ අභිසමය. අර්හත් මාර්ගය වනාහි කෘත්ය වශයෙන් මානය දකියි. මේ ඔහුගේ දස්සන අභිසමයයි. එයින් (අර්හත් මාර්ගයෙන්) දක්නා ලද එය (මානය) වනාහි ඍද්ධිමත් නාගයන් දැකීම නිසා ඇතිවන විස කරණකොට එම නාගයන් දක්නා ලද සත්ත්වයන්ගේ ප්රාණය (ජීවිතය) නිරුද්ධ වන්නාක් මෙන් (දිට්ඨි විසෙන දිට්ඨසත්තානං ජීවිතං විය) එකෙණෙහිම ප්රහීණ වෙයි. මෙය ඔහුගේ ප්රහාණ අභිසමයයි.
අන්තමකාසි දුක්ඛස්ස යනු මෙසේ අර්හත් මාර්ගයෙන් මානය දක්නා ලද බැවින් ද ප්රහීණ වූ බැවින් ද සියලුම සංසාර දුක්ඛයාගේ කෙළවර නම් වූ අන්තය පිරිසිඳීම වටකිරීම කළේය. දුක අන්තිම ශරීරයට පමණක් ඉතිරි කළේයයි කියන ලද්දේ වෙයි.